දරුවන් තිදෙනකුගේ මවක් වූ ඇය , කටසැර, තරමක් සංකර වූ ගැහැනියක්. ඕනෑම කෙනකුගේ විස්තර දන්නා ඇය, ‘නාලි’ය. නාලි අපට හමුවෙන්නේ මේ දිනවල විකාශය වන ‘මා’ ටෙලිනාට්‍යයෙනි. නාලිට ජීවය දෙන සකුජා රත්නායක එම චරිතය ගැනත්, සිය නිර්මාණ දිවිය ගැනත් කතාකරන්න ‘රසඳුන’ හා මෙසේ එක්වූවාය.
‘නාලි’ විදිහට මේ දවස්වල සකුජාව අපි දකිනවා.?
ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන, මහේෂ් රත්සර මද්දුමආරච්චි රචනා කරන ‘මා’ ටෙලිනාට්‍යයේ ‘නාලි’ කියන්නේ වෙනස්ම ආරක චරිතයක්. ‘නාලි’ මට ලොකු අත්දැකීමක් කියා සිතනවා. දරුවො තුන්දෙනෙක් ඉන්න, වැල්ලේ හැදෙන, කටකාර, සංකර වූ ගැහැනියක් ‘නාලි’ කියන්නේ. අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත චරිතය ගොඩනඟනවා කියන තැන මම ඉන්නවා.
කොහොමද ‘නාලි’ට ආරාධනා ලැබුණේ?
‘අප්පච්චි’ වේදිකා නාට්‍යයේ නිර්මාතෘ ප්‍රභාත් ජයසිංහ මහතා තමයි මේ අවස්ථාව සම්බන්ධ කරදුන්නේ. ජනක දූවගේ නිෂ්පාදන කළමනාකරු තමයි ‘මා’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කළේ.
අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර එක්ක කලින් වැඩකර නැහැ නේද?
ඔව්, ඉරේෂ් ලොකුබණ්ඩාර මහතා යටතේ රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මේක. ඒත් මම ඔහුව කලින් ඉඳන්ම හඳුනනවා. ඇත්තටම ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ විදිහට , මේ විදිහට විය යුතුයි, වැරදුණත් හරි ක්‍රමය හොඳින් කියාදෙනවා. ඇගයීමක් තියෙනවා.
සකුජාව මේ දවස්වල දකින්න පුළුවන් නිර්මාණ මොනවද?
‘මා’ ටෙලිනාට්‍යයට අමතරව ‘අප්පච්චි’ වේදිකා නාට්‍යය වේදිකාගත වෙනවා. ඊට අමතරව අලුත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා.
රංගනයට පැමිණි ආකාරය මතක් කළොත් ?
මේ ක්ෂේත්‍රයට එන්න මට ආරාධනා ලැබෙන්නේ 2012දී. ඒත් ඒ වෙද්දි යම් හැදැරීමක් තිබුණේ නැහැ. රංගනය ගැන ප්‍රාමාණික දැනුමක් නොතිබුණු නිසා 2012 ලැබුණු ආරාධනය මම ප්‍රතික්ෂේප කළා. 2019 දී විතර රංගනය සහ මෝස්තර නිරූපණය ගැන මම හදාරනවා. ඉන්පසු තමයි රංගනයට එන්නේ. සුරේෂ් කුමාරසිංහ මහතාගේ පෝය ටෙලිනාට්‍ය කිහිපයකින් තමයි රංගනයට ආවේ. සහන් මනුදුල් අයියා තමයි මාව මේ ක්ෂේත්‍රයේ හරි දිශානතියකට මෙහෙයවමින් ගෙන ආවේ.
මුලින්ම කැමරාවකට මුහුණ දෙද්දී බයක් දැනුණේ නැද්ද?
රංගනයෙන් කැමරාවකට මුහුණ දෙන්න කලින් මම නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙස පෙනී සිටියා. පාසල් අවධියේ සිටම බයක් කියා දෙයක් මට තිබුණේ නැහැ. මම සෑම මොහොතකම නව අත්දැකීමකට මුහුණදෙන්න කැමැති කෙනෙක්. ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක පළමුවෙන්ම ඉදිරිපත් වෙන්න කැමැති කෙනෙක් මම. ඒනිසා කැමරාව ඉදිරියේ පවා චකිතයක්, බයක් දැනුණේ නැහැ.
රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් තියෙනවාද?
එහෙම එක චරිතයක් කියලා නැහැ. වෙනස්ම චරිත නිරූපණයට මම ආසයි. එකිනෙකට වෙනස් චරිතවලින් ලැබෙන අත්දැකීම් ද එකිනෙකට වෙනස්. එහෙත් හිතේ තියෙනවා ආරක්ෂක අංශයට සම්බන්ධ රඟපෑමක් ලැබුණොත් හොඳින් කරාවි කියලා.
අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?
සනෝජා බිබිලේ මහත්මියගේ ‘Silver Screen’ සංගමයට බැඳෙන්න ලැබුණා. ඒක ජීවිතය පුරාවටම අමතක නොවෙන මතකයක් එක් කරන තැනක් කිව්වොත් හරි. එසේම Room nu: 106 චිත්‍රපටයේ අමිත්ත වීරසිංහ අයියා සමඟ මුහුණට මුහුණ සැමියා හා බිරිඳ ලෙස රඟපාන්න ලැබුණු අවස්ථාව වගේම ‘Mr & Mrs’ චිත්‍රපටයේ මිහිර සිරිතිලක අයියා එක්ක රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. එහි ඔහු ප්‍රහසන රංගනයේ යෙදෙද්දි මට රෞද්‍ර පෙනුමක් ගන්න තියෙන්නේ. එහිත් අමතක නොවෙන සිදුවීම් රැසක එකතුවක් තියෙනවා
වේදිකාව සකුජාට නුහුරු තැනක් නෙවෙයි නේද?
ඔව්, වේදිකාව මට නුහුරු තැනක් නෙවේ. මගේ මුල්ම අඩිතාලම ලෙසත් වේදිකාව හඳුන්වනවා. වේදිකාව යනු හැදෑරීමක් කළ හැකි තැනක්. නිතර වෙනස් වෙන දේ තුළින් වගේම වේදිකාවෙන් ප්‍රේක්ෂකයා අතර රැඳෙන්න පුළුවන්. මගේ මුල්ම වේදිකා නාට්‍යය අනූෂා දිල්රුක්ෂිගේ ‘මැඩම් යමලෝ’. මේ දවස්වල ඉතා ජනප්‍රිය, අනුර වරාගොඩ මහතාගේ ‘අප්පච්චි’ වේදිකා නාට්‍යයේ ‘තිලකා’ චරිතය මම ආසාවෙන් රඟපාන චරිතයක්. වේදිකාව කියන්නේ මට මනස සැහැල්ලු කරන, ආසාවෙන් වැඩකරන තැනක්.
සමාජ සේවා කටයුතුත් කරනවා කියලත් දැනගන්නට තියෙනව?
කලා ක්ෂේත්‍රයට එන්න කලින් සිටම සමාජ සේවා කටයුතු කර තිබෙනවා. ඒවා කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. එකිනෙකාට අපි උදව් කරගත්තොත් තමයි ජීවිතය අපට සතුටින් ගතකරන්න පුළුවන් වෙන්නේ. පිටරට ඉන්න මගේ යාළුවෝත් සම්බන්ධ කරගෙන ’80 දශකය’ නමින් සමූහයක් නිර්මාණය කරගෙන, අපි සමාජ සේවා වැඩ බොහෝ කළා. ගැබිනි මවුවරුන්ට ආහාර, ඔවුන්ට අවශ්‍ය පැකේජය, පාසල්වලට අවශ්‍ය උපකරණ, නිල ඇඳුම්, පොත්පත්, සපත්තු, ආහාර ද්‍රව්‍ය ලබාදී තියෙනවා. ඒ වැඩ මම හරි ආසාවෙන් දැනටත් කරගෙන යනවා.
ඉදිරි නිර්මාණ ගැන කීවොත්?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. චරිත් අබේසිංහ මහතාගේ ‘Mr & Mrs’, සුරංග අල්විස් මහතාගේ ‘ Room nu: 106’ , ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘ සූරිය සුළඟ’ චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.
පවුලේ විස්තර හා ඔවුන්ගෙන් ලැබෙන සහාය මොන වගේද කීවොත්?
මගේ අම්මා, නංගි, මල්ලි, අයියා, මම තමයි පවුලේ ඉන්නේ. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. මල්ලි, අයියා විවාහකයි. ඔවුන්ට දරුවෝත් ඉන්නවා. ඊට අමතරව මට දෙවැනි පවුලක් ඉන්නවා. ඒ මගේ කලාදිවියට සම්බන්ධව. ඔවුන්ගේ සහායෙන් තමයි මේ ගමන මම යන්නේ. ඔවුන් මා ගැන හොඳින් සොයාබලනවා. අම්මාගේ ආශීර්වාදය සහ නංගිගේ වචනවල ශක්තිය මගේ ගමනට ශක්තියක්.