හර්ෂි මධූ කියන්නේ පුංචි තිරය හරහා විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන නවක රංගන ශිල්පිනියක්. මේ දිනවලත් ඇය නිර්මාණ කිහිපයක් ඔස්සේම පුංචි තිරයෙන් දැක ගන්නට ලැබෙනවා. ආදරේ නිසා ජීවිත කොයි තරම් වෙනස් වෙනවද? ආලේ නාට්‍යය හරහා කතා වෙන්නේ ඒ ආදරේ ගැන.
හර්ෂි කොහොමද ජීවිතේ?
ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා. මේ ටිකේ රංගන වැඩ කටයුතු සමඟ තමයි වැඩිපුරම කාලය ගත වෙන්නේ.
මේ දිනවල කලා කටයුතු මොනවද?
ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සති’ ඩ්‍රාමා එකේ නන්දනීගේ තරුණ කාලය නිරූපණය කරනවා. ඒ වගේම සිරස ටීවී තුළින් සතියේ දිනවල රාත්‍රි 8ට විකාශනය වන ‘ආලේ’ ඩ්‍රාම එකට රංගනයෙන් දායක වෙනවා.
සති නාට්‍යය ගැන අපි මුලින්ම කතා කළොත්?
කෙටියෙන්ම කිවුවොත් සති කියන්නෙ කාලාත්‍රයේ ගැහැනිය. ශාන්ති දිසානායකගේ අඳුන්ගිර නවකතාව ඇසුරෙන් ටෙලි පිටපත රචනා කරන්නේ සමන්ත කුමාර ගමගේ. ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. නිමල් අබේවර්ධනගේ නිෂ්පාදනයෙන්, ඉන්දික ලක්මාල්ගේ කැමරාකරණයෙන්, ප්‍රියන්ත වන්නිනායකගේ අංගරචනයෙන් හැඩවෙන නිර්මාණයක්. සති ඩ්‍රාමා එකට මට කතා කළේ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක අයියා. මීට අවුරුදු 3කට විතර කලින් තමයි රූගත කිරීම් ආරම්භ වුණේ. මාදනී අක්කාගේ තරුණ කාලේ තමයි මට නිරූපණය කරන්න තිබුණේ. වලව්කාර චරිතයක්. මේ හැමදෙයක්ම මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මම ඒ අභියෝගය සතුටින් භාර ගත්තා. සති ඩ්‍රාමා එකේ වැඩ කරන සියලු දෙනාගෙම සහයෝගය නිසා මම ඒ අභියෝගය ජයගත්තා කියල මම හිතනවා.
ආලේ නාට්‍යයට ඇරියුම් ලැබුණේ කොහොමද?
ආලේ නාට්‍යය රචනා කරන සිමෙත් අයියායි අධ්‍යක්ෂ ඉන්දික අයියයි කතා කරලා මගේ චරිතේ ගැන කිවුවම මම ආසාවෙන් භාරගත්තා. මොකද මේක වෙනස්ම චරිතයක්. ඉතින් ස්තුති කරන්න ඕනේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාට සහ රචක සිමෙත් කවීජට මේ වගේ ලස්සන වෙනස් වැඩකට මට ආරාධනා කළාට.
චරිතේ ගැනත් කෙටියෙන් කියමු?
ආලෙට ආලේ කරන්න ගිහින් මානසික ලෙඩෙක් වෙන චරිතයක්. ඒ වගේම තාත්තා කෙනෙක් දුවෙක් වෙනුවෙන් කරන අපරිමිත කැප කිරීම ඉදිරියේදී බලාගන්න පුළුවන්.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ගැන මට ඇත්තටම සතුටුයි. ටිකක් බැණුම් අහනවා. ඒ ප්‍රතිචාරයටත් මම සතුටු වෙනවා. මොකද ඒ චරිතෙ මම මට පුළුවන් උපරිමෙන් කළානේ කියලා දැනෙන නිසා. කෙසේ වෙතත් මට ආදරේ කරන මට බණින ප්‍රේක්ෂකයින්ට මම එදත්, අදත්, හෙටත් එක වගේම ආදරෙයි. මට පුළුවන් හැම අවස්ථාවකම මම ඔවුන් එක්ක කතාබහ කරනවා.
චරිතයක් භාර ගන්න කලින් මොනවද බලන්නෙ?
මුලින්ම පිටපත කියවලා බලනවා. බලලා මට ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක සහ මට ඒ චරිතෙට වෙනස් දෙයක් දෙන්න පුළුවන්ද කියන එක බලනවා. එකම විදිහේ චරිතවල රැඳිලා ඉන්නවාට වඩා වෙනස් වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න මම කමැතියි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
තව නිර්මාණ දෙකක් එන්න තිෙයනවා. ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු.
නිළියක් නොවුණා නම් කවුරු වෙන්න තිබුණද?
චිත්‍ර කලාවෙන් ඉදිරියට යන්න තමයි පුංචී කාලේ ඉඳන් ආසාව තිබුණේ. දැනටත් මම පෙන්සිල් ආට්, මෙහෙන්දි ආට්, වෝල් ආට් කරනවා. ඒත් මට හරි වයස එද්දි මම තේරුම් ගත්තා මගේ මානසික සතුට මගේ ගමන තියෙන්නේ රංගනය පැත්තට කියලා. ඒ නිසා දැන් මුල් තැන දෙන්නේ රංගනයට.
ආදරේ දකින්නෙ කොහොමද?
ආදරේ කියන වචනේ දන්න මනුස්සයෙක්ට ආදරේ කළොත් ආදරේ ලස්සනයි. තමන් තමන්ට ආදරේ කරන තරමටම අනිත් අයටත් ආදරේ කරන්න පුළුවන් නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙයි කියලා මං හිතනවා.
ආදරවන්තියක්ද?
තවම මම ආදරවන්තියක් නෙවෙයි. ආදරේට ආදරේ කරන කෙනෙක් ලැබුණොත් මමත් ආදරේ කරනවා.
දිගටම රඟපාන්නද කැමැත්ත?
ඔව්. මම කැමැතියි මගේ දක්ෂතා එක්ක ඉදිරියට යන්න.
කලාවට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
කුරුල්ලෙක් වගේ නිදහසේ පියඹලා මගේ වැඩ කරගන්න මට පුළුවන් උපරිමෙන් මගේ අම්මායි තාත්තායි සහයෝගය දෙනවා. අම්මා තාත්තා කියන්නෙ මගේ එකම හයිය. මම හැම තැනම කියනවා වගේ මට අඬන්න පුළුවන් මාතෘකාවක් තමයි මගේ අම්මයි තාත්තයි කියන්නේ. එයාලා ගැන වචනෙන් දෙකෙන් ලියලා ඉවර කරන්න බැහැ. එයාලගේ සහයෝගය ආරක්ෂාව මට උපරිමෙන්ම ලැබෙනවා.
හර්ෂි කියන්නේ මොන වගේ චරිතයක්ද?
හර්ෂි මධු… කියන්නේ ආදරණීය නිහතමානි චරිතයක් වගේම ඉක්මනට තරහා ගිහින් ඉක්මනින් හිත උණුවෙන කෙනෙක්. සරලව අඳින්න, පලඳින්න කැමැති සරලව ජීවත් වෙන හිතෙන හිතෙන වෙලාවට ඇවිදින්න යන, ඕනම දෙයක් දරාගන්න පුළුවන්, ඕන ගේමකට ඕට්ටු කෙල්ලෙක් කියලා මම හිතනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
රංගන ජීවිතේ ඉදිරියටම ගිහින් සම්මානනීය රංගන ශිල්පිනියක් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව.