සංගීතේ ටෙලි නිර්මාණයේ කා අතරත් කතාබහට ලක් වන දේශපාලන චරිතය වන සුරංජිත් ඇමැතිගේ චරිතයට පණ පොවන ඔහු නමින් මේනුක ප්‍රේමරත්න යි. ඩග්ලස්, ජයශාන්ත, සහන් ප්‍රනාන්දු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙස ද ඔහු මේ දිනවල පුංචි තිරයෙන් ඔබ හමුවේ පෙනී සිටියි. නම මේනුක වුවද බොහෝ දෙනා ඔහු හඳුනන්නේ සුරංජිත් ඇමැති ලෙසිනි. සුරංජිත් ඇමැති ඒ තරමටම මිනිසුන් අතරට ගිය චරිතයක් බව ඔහුට ලැබෙන අසීමිත ප්‍රතිචාරවලින්ම පැහැදිලි වෙයි. සංගීතේ, මා, හිරිපොද වැස්ස, ආලවන්තී සහ යොවුන් වසන්තේ මෙගා ටෙලි නිර්මාණවලට රංගන දායකත්වය ලබා දෙන මේනුක ඉදිරියේදී විකාශය වීමට නියමිත තවත් ටෙලි නිර්මාණ දෙකක රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියි. දැඩි කාර්යබහුලත්වය හමුවේ වුවද අප හා කතාබහට එක්වූ ඔහු සිය අත්දැකීම් අප හා බෙදාගත්තේය.
මේනුක කියන්නෙ මේ දිනවල ඉතාම කාර්යබහුල චරිතයක් කියලයි අපට දැනගන්නට තියෙන්නෙ?
ඉතාම කාර්යබහුලයි. මේ දිනවල මං රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ පහක් නාළිකා කිහිපයකම විකාශය වෙනවා. මේ ටෙලි නිර්මාණ පහම සතියේ දිනවල විකාශය වන මෙගා ටෙලි නිර්මාණ වීමත් විශේෂත්වයක්. ඊට අමතරව සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ බැමි සහ අලුත්ම අධ්යක්ෂවරයෙක් වන අලංක ටී. කළුආරච්චිගේ ටෙලි නිර්මාණයකත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා.
බොහෝ දෙනෙක් ඔබව දන්නේ සුරංජිත් ඇමැති විදිහට. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
සංගීතේ සුරංජිත් ඇමැති තමයි මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. දැන් අවුරුදු හයක වෙලේ ඉඳන්ම මං සුරංජිත් ඇමැති. ඒක කළු චරිතයක් වුණත් ගොඩක් මිනිස්සු අතරට ගියා. සමහරු අහනවා මේක මගේ පළවෙනි රංගනය ද කියලත්. සාරංග මෙන්ඩිස් එක්ක මං පළමුවෙන්ම වැඩ කළේ ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලි නිර්මාණයේ. ඒකෙ මං පොලිස් නිලධාරියෙක්. ඒකෙ පාතාලයේ අය මාව හැඳින්නුවේ ‘ආර්එෆ්ඩී ලොක්කා‘ කියලා. ගොඩක් ජනප්‍රිය වුණු චරිතයක්. සාරංග මෙන්ඩිස් සංගීතේ ටෙලි නාට්‍යයේ ඇමැති චරිතයකට මාව තෝරගන්න හේතුවත් ඒක. සාරංගට මාව හඳුන්වලා දෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. ඒ පටන්ගැන්ම මං ආදරයෙන් සිහිපත් කරනවා.
මේ දිනවල ඔබ බොහෝ පැතිකඩ ඔස්සේ ප්‍රේක්ෂක සිත් ග්‍රහණයට අරන් තියෙනවා නේද?
ඔව්. සංගීතේ ගත්තොත් ඇමැතිවරයෙක්. ඒක මිනිස්සුන්ගෙන් ගොඩක් බැණුම් අහන චරිතයක්. ඒ වගේම මේ දවස්වල ගොඩක්ම කතාබහට ලක්වෙන්නේ ‘මා’ ටෙලි නිර්මාණයේ ජයශාන්තගේ චරිතය. ඒ දෙක ගත්තොත් අහසට පොළොව වගේ. සුරංජිත් නූගත් දේශපාලනඥයෙක්. ජයශාන්ත උගත්, බුද්ධිමත් චරිතයක්. එකම කාල වකවානුවේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. මට ලැබෙන හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ආලවන්තී ටෙලිනාට්‍ය යේ සහන් ප්‍රනාන්දු. ඒක අලුතින් එකතු වුණු තවමත් සැඟවුණු රහස්වලින් පිරුණු චරිතයක්. ඊට අමතරව හිරිපොද වැස්සේ ඩග්ලස් කියන්නෙත් ප්‍රධාන විලන් චරිතයේ පියා. යොවුන් වසන්තේ ගත්තොත් ව්‍යාපාරිකයකුගේ ‘පාට්නර්‘ කෙනෙක්. මේ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මේ දවස්වල රූගත කෙරෙන අලුත් නිර්මාණ දෙක ගත්තත් එහෙමයි.
ඔය චරිත පහ අතරින් ඔබට වඩාත්ම අභියෝගයක් වුණු චරිතය මොකක්ද කියල ඇහුවොත්?
‘මා’ ටෙලි නිර්මාණයේ ජයශාන්ත. ඒකට එක හේතුවක් වෙන්නේ ‘මා’ කියන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිරපිටපතක්. ඔහුගේ තිරපිටපතක් කියන්නේ හැමෝටම වගේ අභියෝගයක් තමයි. ඔහුත් එක්ක මං වැඩ කරන පළමුවැනි අවස්ථාවත් මේක. ඒ නිසා අභියෝගයක් නොවුණා කියන්නත් බැහැ. මං මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 18ක් වෙනවා. නාලන් මෙන්ඩිස්, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු වගේ අධ්යක්ෂවරු එක්ක වැඩ කරලා තිබුණු එක මට පහසුවක් වුණා. ස්ක්‍රිප්ට් එකටම වැඩකරන අත්දැකීම මං ඔවුන්ගෙන් ලබලා තිබුණා. ඒ නිසා මං මේ වැඩේ හරියට අල්ල ගත්තා. ඕනෙම චරිතයක් මුලින්ම මැවෙන්නේ රචකයාගේ හිතේ. එතැනදී මම ‘මමම‘ වෙලා වැඩක් නෑනෙ. මම සම්පූර්ණයෙන්ම රචකයාගේ චරිතය බවට පත්වෙන්න ඕන. මං හිතනවා මං ජයශාන්තට සාධාරණයක් කළා කියලා. අනිත් අතට ජයශාන්ත කියන්නේ දේශපාලන පළිගැනීමකට ලක්වෙලා කකුල් කඩලා කිහිලිකරුවලින් ඇවිදින චරිතයක්. මං ගොඩක් වෙහෙස මහන්සියෙන් කරපු චරිතයක්. ගොඩක් පුරුදු වෙන්න වුණා. සමහර වෙලාවට කිහිලිකරු නැතුව ඇවිදින කොටත් ඒ හුරුව එනවා.
සහන් ප්‍රනාන්දු කියන්නේ ආලවන්ති ටෙලි නිර්මාණයට අලුතින් එකතු වන චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?
ආලවන්තී ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. මං සිවා අයියා එක්ක වැඩ කරන්නේ අවුරුදු දොළහකට පස්සේ. ඒකත් විශේෂත්වයක්. මුලින්ම මං ඔහු එක්ක වැඩ කළේ ‘පිනි වැස්ස’ ටෙලි නිර්මාණයේ. ඊට පස්සේ අවස්ථා ලැබුණත් කාර්යබහුලත්වය නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. සිවා අයියත් එක්ක ආයෙම වැඩකට සම්බන්ධ වෙන්න මං හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.
මේ හැම නිර්මාණයක්ම ගත්තොත් එකිනෙකට වෙනස් චරිත. ඒ අතින් ඔබ වාසනාවන්තයි නේද?
ඇත්තටම ඔව්. හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ වගේම මේ හැම නිර්මාණයකදීම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක මට වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඒකත් වාසනාවක්.
ඔබ ක්ෂේත්රයට පිවිසි අතීතයත් සිහිපත් කරමුද?
මං කලාවට සම්බන්ධ වෙන්නේ 2005දී දෙරණ නාළිකාවෙන් නිර්මාණය කළ කොලොම්පුරේ ශ්‍රියා ටෙලි නිර්මාණයෙන්. ඒක දෙරණ නාළිකාවෙන් කළ පළමු ටෙලි නිර්මාණය වගේම මං රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණය. මේ වෙද්දි ටෙලි නිර්මාණ පනහකට විතර දායක වෙලා තියෙනවා. සිනමාවට නම් ලොකුවට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් බොහොම කැමැත්තෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිනමාවට සම්බන්ධ වෙනවා කියන්නේ ඕනෑම කෙනෙකුගේ සිහිනයක්නේ. මටත් ඒ සිහිනය ඒ විදිහටම තියෙනවා.