මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන ලසිත කාරියවසම්ගේ තත්පර 60ක් ටෙලි නිර්මාණයේ මුතුමිණී ලෙසින් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන සිටින්නෙ ජාතික තරුණ සේවා සභාවෙන් රංගනය පිළිබඳ හදාරා කලාවට පිවිසි කාංචනා කාන්ය. ප්‍රවීණයන් ඇසුරෙන් අත්දැකීම් ලබමින් සෙමින් එහෙත් ස්ථාවර ගමනක් යන ඇය නුදුරේදීම මුදා හැරෙන ගීත රූප රචනයක සුවිශේෂී රංගනයක නිරත වන්නීය. තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකටම රංගන දායකත්වය සපයා ඇති කාංචනා ලෙසින් බොහෝ පැසසුම් ලබමින් සිටින අතරතුර අප හා කතාබහට එක්වූවාය.
‘මුතුමිණී‘ නිසා ඔබ බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා කිවුවොත්.?
ඔව්, ඒ කතාව හරි. තත්පර 60 ටෙලි නිර්මාණයේ මුතුමිණීට මේ වෙද්දි සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා. තත්පර 60 කියන්නේ ලසිත කාරියවසම්ගේ අධ්‍යක්ෂණයක්. තිරපිටපත අජිත් මෙන්ඩිස්ගේ. කැමරා දායකත්වය එච්. ඩී. ආරියවංශගේ. මුතුමිණී කියන්නේ ප්‍රධාන චරිතය හා නිතර ගැටෙන උප ප්‍රධාන චරිතයක් කිවුවත් හරි. අම්මත් නැතිව පවුලේ බර කරට ගත්ත දියණියක්. පවුලේ කතාවක් කිවුවත් හරි.
තාත්තා බීමත්කමට ඇබ්බැහි වෙලා. ආච්චි අම්මා තමයි රොටි පුච්චලා එයාලව රකින්නෙ. මේ තත්ත්වය උඩ පවුලේ වැඩිමහල් දියණිය විදිහට පවුලේ බර කරට අරන් මුතුමිණී ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට යනවා. පියා පාලනය කරගෙන මල්ලිලා දෙන්නකුගේ වගකීමත් කර මතට ගත්ත මුතුමිණී බොහෝ දුක්ගැහැටවලට මුහුණ දෙන තරුණියක්. විවාහ වන වයස පහුවෙලාත් ඒ අවශ්‍යතාව තිබුණත් ගෙදර යුතුකම් හා වගකීම් අතරේ ඇය දෝලනය වනවා. අද සමාජයේත් මේ වගේ තරුණියන් ඕන තරම් ඉන්නවා. තත්පර 60ක් හරහා කතාබහට ලක් කරන්නේ අද සමාජයේම පවතින ගැටලු.
හෙමින් ගමනක් යන රංගන ශිල්පිනියක් විදිහටයි බොහෝ දෙනා ඔබ ගැන කියන්නෙ. මෙතෙක් ආ ගමනේ අභියෝගයක් වුණු චරිතත් ඇති?
ඔව්. මේ ළඟදි මං පෝය නාට්‍යයක් කළා ‘මුසාවේ නිමාව‘ කියලා. අධ්‍යක්ෂණය නිමල් ප්‍රේමචන්ද්‍ර, ඉදිරියේදී රූපවාහිනියේ විකාශය වේවි.
සැමියාට බොරු කිරීම නිසා සැමියා අතින් මරණයට පත්වෙන කාන්තාවක්. මරණින් පස්සේ හොල්මනක් වෙලා ඇවිත් ඇය සැමියාට කරදර කරනවා. පළවෙනි වතාවට මං හොල්මන් චරිතයක් කළේ. හිතාගන්න බැරි තරම් අපූරුවට මාව මේකප් කළේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කොස්තා අයියා. මේ චරිතයේදී මගේ කොණ්ඩයත් ගොඩක් උදවු වුණා. ඒ වගේම කැත හිනාවකුත් තිබුණා. මේ චරිතය තමයි මට අභියෝගයක් වුණේ. එක දර්ශනයක් තියෙනවා මගේ සැමියා හිරේ ඉඳන් ඇවිත් භාවනා කරන අවස්ථාවක්.
ඒ වෙලාවේ මට තියෙන්නෙ ඔහු ඉස්සරහට ඇවිත් දත් විළිස්සගෙන ඔහු දිහා බලාගෙන ඉන්න. එතනදි ඇහිපිල්ලන් නොගහා දිගු වෙලාවක් බලන් ඉන්න වුණා. තව තැනක් තියෙනවා කෑගහගෙන දත් විළිස්සා ගෙන ඔහුගේ ඇඟට පනින්න. චරිතයේ රිදම් එක බිඳෙන නිසා මේ අවස්ථා එක දිගටම කරන්න වුණා. ඒව තමයි අභියෝග බවට පත්වුණේ. අධ්‍යක්ෂ නිමල් අයියාගෙන් පවා ප්‍රශංසා ලැබුණා ඔයා ඒක හොඳටම කළා නංගි කියලා. ඊට අමතරව හිරු නාළිකාවේ ටෙලි ෆිල්ම් එකකටත් සම්බන්ධ වුණා. පුංචි පුතෙකුගේ අම්මා කෙනෙකුගේ චරිතයක්.
ඔබ මියුසික් වීඩියෝ රංගනයේ අත්දැකීම් බහුල චරිතයක්. ඒ ගැන කතා කළොත්?
ඔව්. මං ක්ෂේත්‍රයට ආපු අලුතම තමයි අතුල ශ්‍රී ගමගේ අයියගේ මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණේ. ඔහු අද ජීවතුන් අතර නැති වුණත් ආදරයෙන් සිහිපත් කරනවා. ඩිරෙක්ටර්ට යවපු මගේ පොටෝ එක දැකලා ඔහු තමයි මාව තෝරගෙන තිබුණේ. මං දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 16ක් විතර වෙනවා. මේ වෙද්දි මියුසික් වීඩියෝ රැසකට සම්බන්ධ වෙලා තියෙනවා. පහුගිය දවස්වල යශෝධා විමලධර්ම අක්කත් එක්ක අපූරු අත්දැකීමක් ලැබුවා. ඇය වගේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. නුවන් සම්පත්ගේ ගායනයට රූප රචනය කරන්නේ දිනේෂ් ඇන්තනී. සරසවියක කතාවක් කියවෙන්නේ. සරසවියෙදි යශෝධා අක්ක ආදරය කළ කෙනා එක්ක තමයි මං විවාහ වෙන්නේ. අපිට දුවෙකුත් ලැබෙනවා. අන්තිමට ඇය අපේ ගෙදර හොයාගෙන එන්නේ ඔහුගේ රැකියා අවස්ථාව ඇයට පිරිනැමීමට කෘතගුණ සැලකීමේ අදහසින්. නමුත් ඒ වෙද්දි ඔහු දිවියෙන් සමුඅරන්. මගේ චරිතය ගොඩක් වයසට යනකල් දිවෙනවා. රූගත කිරීම අවසානයේ යශෝධා අක්කා මගේ අත්දෙක අල්ලගෙන නංගි ඔයා හරිම දක්ෂයි. හොඳ අනාගතයක් තියෙනවා කියලා මට සුබ පැතුවා. ඇය වගේ අත්දැකීම් බහුල ප්‍රවීණ ශිල්පිනියකගෙන් එවන් ප්‍රතිචාරයක් ලබන්න තරම් මං වාසනාවන්ත වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.
කාංචනා කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මං ජාතික තරුණ සේවා සභාවේ රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. ඩග්ලස් සිරිවර්ධන සර් තමයි මාව තෝරගත්තේ. මං රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණයක් විදිහට මුලින්ම විකාශය වෙන්නේ නිරාවරණය. ඊට පස්සේ ටෙලි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණා. ලාල් ප්‍රියදේව අයියගේ ‘මේක පුදුම කතාවක්’ සිනමාපටයට ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.
ටෙලි නාට්‍ය පැත්තට වඩා සිනමාවේ මට ලොකු ඉඩක් ලැබුණේ ඊට පස්සේ. සුනිල් ප්‍රේමරත්නගේ ‘අමුතු තුනක්’ චිත්‍රපටය, ගාමිණී හේවාවිතාරණගේ ‘මොනර කිරිල්ලී’ ඇතුළු එක දිගට චිත්‍රපට හතර පහක්ම ලැබුණා. ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට තුනක් තියෙනවා. මේ වෙද්දි ආපු දුර දිහා බැලුවහම මට ලොකු සතුටක් දැනෙනවා. කොහොමත් මං නිහඬව හෙමින් ගමනක් යන කෙනෙක්. ප්‍රවීණයන්ගෙන් උකහා ගන්න දේවලුත් මගේ ගමනට පන්නරයක් කර ගන්නවා.