මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන හර්ෂ උඩකන්දගේ ‘මං ආදරෙයි‘ ටෙලි නිර්මාණය බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන්නක්. එහි ආරාධනාගේ චරිතයට ජීවය දෙන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක වන පබුදී කවීෂායි. අද අපේ කතාබහ ඇය සමඟින්.
‘මං ආදරෙයි‘ හි ආරාධනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍යය බලනවා. ඒ නිසා ලොකු සතුටක් තියෙනවා.
ආරාධනා වෙන්න ඇරයුම් ලැබෙන්නේ කොහොමද?
මට ආරාධනා කළේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද සර්මයි. මුලින්ම මම රඟපෑවේත් හර්ෂ සර්ගෙම ‘ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ. ඒ හරහා තමයි මට ‘මං ආදරෙයි’ ටෙලි නිර්මාණයේ ආරාධනාගේ චරිතය ලැබුණේ.
මුල් නිර්මාණය ගැනත් අපි මතක් කරමුද?
‘ප්‍රාර්ථනා’ තමයි මගේ මුල්ම ටෙලි නිර්මාණය. ඒක ගොඩක් අහිංසක, දුප්පත් ගැහැනු ළමයකුගේ කතාවක්. ගොඩක් අය මාව හඳුන ගත්තේ පූර්ණිමා කියන චරිතයෙන්.
දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාව ජිවිතේ කොයිතරම් වෙනස්කම් කරපු තැනක් වුණා ද ?
little star වේදිකාව මගේ ජීවිතේ කඩයිම කිව්වත් හරි. මට රඟපාන්න, නටන්න මේ හැමදේටම ශක්තිය, ආශීර්වාදය වගේම අවස්ථාවන් ලැබුණෙත් little star වේදිකාව නිසා. මම හරිම ආඩම්බරයෙන් කියනවා මම little star තරුවක් කියන එක.
පබුදීගේ පවුලේ විස්තර මොනවද?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. අපි හතර දෙනා තමයි ඉන්නේ.
තාමත් උසස් පෙළ හදාරන නිසා කලාවට යොමු වෙද්දී ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
කොහෙත්ම නැහැ. මම හිතන්නේ මම ගොඩක් වාසනාවන්ත දරුවෙක්. මොකද මාව තේරුම් ගන්න පුළුවන් ගොඩක් හොඳ මවුපියන් දෙපළක් මට ඉන්නවා. මගේ ජීවිතේ මට අධ්‍යාපනය, නර්තනය, රඟපෑම මේ සියලු දේ කරන්න නිදහසක් දීලා තියෙනවා වගේම අම්මටයි තාත්තටයි පුළුවන් උපරිම දේ එයාලා මං වෙනුවෙන් කරනවා. ඒ නිසා කවදාවත්ම මට මේ ගමන එන්න අපහසු වුණේ නැහැ. බාහිරෙන් මොනතරම් හිත් රිදීම් ආවත් මේ ක්ෂේත්‍රය තුළදී මගේ අම්මයි, තාත්තයි මට මාරම හයියක් වෙනවා. කවදාවත් මොනම හේතුවක් නිසාවත් මට වැටෙන්න දෙන්නේ නෑ. ඉතින් මේ ලෝකේ වාසනාවන්තම දරුවා මම කියලා මම හැමවෙලාවෙම හිතනවා.
පොඩි කාලේ ඉඳන්ම ලිට්ල් ස්ටාර් වේදිකාවේ ජනප්‍රිය වුණු කෙනෙක් විදිහට ජනප්‍රියත්වය කියන දේ දකින්නේ කොහොමද?
ඇත්තටම මට නර්තන ශිල්පිනියක් විදිහට ලොකු ‘ෆෑන් බේස්‘ එකක් තියෙනවා. ඒ නිසා ජනප්‍රියත්වය කියන එක පොඩි කාලේ ඉඳලම මම අත්විඳලා තියෙන දෙයක්. ඉතින් ප්‍රාර්ථනා සහ ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍ය දෙක හරහා මගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා කියලයි මට හිතෙන්නේ. ඒ ගැන ගොඩක් සතුටක් දැනෙනවා.
නිර්මාණයකට ඇරයුම් ලැබුණාම මුලින්ම ඒ ගැන කියන්නේ කාටද?
මම මගේ ජීවිතේ හැම දෙයක්ම බෙදා ගන්නේ මගේ අම්මයි, තාත්තයි, මල්ලියි එක්ක. ඉතින් එයාලට තමයි මුලින්ම කිව්වේ සහ කියන්නෙත්.
රංගනයේදී අමතක නොවන මතකයන් ඇති?
ඔව්. ගොඩක් තියෙනවා. සමහර දේවල් ගොඩක් දුක හිතෙන කතා. ඒ හැම අත්දැකීමක්ම අපේ ජීවිතේ ඉදිරියට යන්න ශක්තියක් වෙනවා.
දිගටම රඟපාන්නද කැමැති?
ඔව්. රඟපාන්න ගොඩක් කැමැතියි. මොකද මං දන්නවා මට ඒ හැකියාව තියෙන බව. මට දෙරණ හරහා ම ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා. ගොඩක් ආසාවෙන් මම රංගනයට දායක වුණා. ඒ නිසා නර්තනයෙන් වගේම රඟපාන්නයෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඉදිරියට නර්තනය පැත්තෙන් මොන වගේ දෙයක්ද ප්‍රේක්ෂකයන්ට දෙන්න සූදානම් වෙලා ඉන්නේ?
මම මුලින්ම අධ්‍යාපනයටයි මුල් තැන දෙන්නේ. මොකද අධ්‍යාපනය කියන දේ ගැහැනු ළමයෙක්ට ආභරණයක් නිසා. නර්තනය විෂයයත් හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒකට කාලය ගොඩක් වැදගත්. හැමදේම හොඳින්, අවබෝධයෙන් කලබලයක් නැතිව ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මට තව වයස, කාලය දෙකම තියෙනවා. මුලින්ම හොඳට ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම නර්තනය හරහා අලුත් නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
හොඳට ඉගෙන ගෙන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීම තමයි මගේ ලොකුම අනාගත බලාපොරොත්තුව. ඒ වගේම මගේ අම්මා, තාත්තා, මල්ලී මගේ ඇස් දෙක වගේ මගේ ජීවිතේ උපරිම සතුටින් එයාලව බලාගන්නවා. ඒ වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ දරනවා.