පෝදා දහම් සුවඳින් කරළියට ආ පුංචි රොෂෙල් -චනායා සුපුල්වී

gossiplanka image 2
 

සීතල කන්ද උඩරටින් කලා ලොවට පැමිණි පුංචි කුමරියකට අද රසඳුනේ ඉඩකඩ වෙන් කෙරේ. ඇය නමින් චනායා සුපුල්වී වන අතර ඇය 2022 වසරේ දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළැන්දාය. ප්‍රේක්ෂකයා ඇය හඳුනා ගත්තේ ‘පුංචි රොෂෙල්’ යන අන්වර්ථ නාමයෙනි.


චනායා ඉස්කෝලෙ නිවාඩු නිසා මොකද මේ දවස්වල කරන්නේ ?


දෙරණ නාළිකාවේ “පෝදා දහම් සුවඳ”පෝය ටෙලි නාට්‍යයේ රඟපෑම්වලට විතරයි මේ දවස් වල සහභාගි වෙන්නේ. අවුරුදු දෙක හමාරක් තිස්සේ ඒ නාට්‍යය මාලාවට මම රංගනයෙන් දායක වෙනවා. නිවාඩු නිසා සතුටින්, විනෝදෙන් මේ දවස් ගත කරනවා. ශිෂ්‍යත්ව විභාගයටත් ලෑස්ති වෙනවා.


පාසල් කටයුතු ගැනත් කියන්නකෝ.


මට වයස අවුරුදු නවයයි. මං ඉගෙන ගන්නේ ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ. මගේ කලා කටයුතුවලට පාසලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.


කොහොමද චනායා රඟපාන්න යොමු වෙන්නේ?


2022 දෙරණ සිඟිති අවුරුදු කුමරිය වුණාට පස්සේ ඒ හරහා තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. මම මුලින්ම රඟපෑවේ දෙරණ නාළිකාවේ ‘රෝස‘ ටෙලි නාට්‍යයේ. ඒ නාට්‍යයේ රොෂෙල් අක්කිගේ පුංචි කාලෙ රඟ දැක්වූවේ මම.


පවුලේ විස්තරත් කියමුද?


තාත්තයි, අම්මයි, මමයි. ඒ දෙන්නම මාව රූගත කිරීම්වලට එක්ක යන්න එනවා. ඒ වෙනුවෙන්ම නිවාඩු දාලා නුවර ඉඳන් අම්මයි තාත්තයි මාව කොළඹ එක්කගෙන යන්නේ හරිම සතුටින්.


රූගත කිරීම් නිසා පාසලේ වැඩ එහෙමත් අතපසු වෙනවා ඇතිනෙ නේද?


මගේ පන්ති භාර චන්දිමා මැඩම් මට අතපසු වෙන පාඩම් වැඩ කියලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම යාළුවොත් උදව් කරනවා. හැමදේම සමබරව කරගෙන යන්න තමයි මම උත්සාහ කරන්නේ. කොහොමත් අධ්‍යාපනයට මුල් තැනක් දෙනවා.


මේ වෙනකොට ඔයා සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කතා කරමු.


ටෙලි නාට්‍ය විදියට ගත්තම රෝස, අපි එක රෑනේ, දික්කසාදය, පෝදා දහම් සුවඳ කියන ටෙලි නාට්‍ය වලට මම සම්බන්ධ වුණා. ඊට අමතරව දෙරණ අවුරුදු චාරිත්‍ර වැඩසටහන්වලට වගේම වෙ‍ෙළඳ සන්නාමවල වෙ‍ෙළඳ දැන්වීම්වලට සහභාගී වෙලා තියෙනවා.


චනායගේ විනෝදාංශ මොනවද කියලත් දැන ගන්න කැමතියි.


විනෝදාංශ විදියට මම කරන්නේ කතන්දර පොත් කියවන එක වගේම අලුත් කතන්දර ලියන එක. මේ වෙද්දි මම කතන්දර පොත් තුනක් එළි දක්වලා තියෙනවා.‘කරදියේ මිත්‍රත්වය, කැකුළි, හිඟන ළමයා‘ තමයි ඒ පොත් තුන. ඊට අමතරව මම චෙස් ක්‍රීඩාව කරනවා. නර්තනය ඉගෙන ගන්නවා.


රූගත කිරීම්වලදී ඔයා මුහුණ දුන්න අමතක නොවෙන සිදුවීම් එහෙමත් තියෙනවද?


ඔව්, ‘දික්කසාදය‘ ටෙලි නාට්‍යයේ මගේ අම්මට හිටියේ තාරුකා වන්නිආරච්චි නැන්දා, තාත්තට හිටියේ විශ්ව කොඩිකාර මාමා. දවසක් ගොඩක් රෑ වෙලා රූගත කිරීමක් කරන්න තිබුණා. නිදා ගන්න කොටසක් තමයි ෂූට් එකට කරන්න තිබුණේ. කොහොමහරි මට හොඳටම නින්ද ගිහින්. ඒක තමා මට මේ වෙනකොට වෙලා තියෙන අමතක නොවෙන සිද්ධිය.


දෙබස් එහෙම මතක තියා ගන්න අමාරුවක් නැද්ද?


අනේ නෑ. මට පිටපත එක පාරක් බලා ගත්තම කියන්න ඕන දෙබස් ටික හොඳට මතක හිටිනවා.


ප්‍රේක්ෂකයා ඔයාව හඳුනගත්තේ මොන චරිතයෙන්ද?


“දික්කසාදය” ටෙලි නාට්‍යයේ “මිහෙලි” ගේ චරිතයෙන් තමයි ගොඩක් අය මං ගැන දැන ගත්තේ. දෙරණ සිඟිති අවුරුදු කුමරිය වුණාට පස්සේ “පුංචි රොශෙල්” කියලා මට කීවේ. ඉස්සරහට මම ආසයි ගැමි දැරියකගේ චරිතයක් කරන්න ලැබෙනවා නම්.


ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ මොනවද?


වෙ‍ෙළඳ දැන්වීම් දෙකක රූගත කිරීම් සිදු කරන්න නියමිතයි. ශිෂ්‍යත්ව විභාගයට ලෑස්‍ති වෙන නිසා ටෙලි නිර්මාණ මොනවත් අලුතින් භාර ගත්තේ නැහැ.


අනාගත බලාපොරොත්තුව මොකක්ද ?


රංගන කටයුතුත් කරගෙන යන ගමන් දිසාපතිතුමියක් වෙන එක තමා මගේ බලාපොරොත්තුව.


ස්තූති කරන්න ඉන්න පිරිස ගැනත් මතක් කරමු.


දෙරණ නාළිකාවේ සියලුම නැන්දලා, මාමලා, රංජීවනී බැද්දෙවිතාන නැන්දා, විශ්ව ලංකා මාමා, පන්ති භාර චන්දිමා ගුණසේකර මැඩම්, සහ මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ස්තූතියි.

gossiplanka image 1
Previous Post Next Post