චාමිකා මට අභියෝගාත්මක චරිතයක් - අමන්දා ජයරත්න

gossiplanka image 2
 


ඇය ‘චාමිකා’ නම් අම්මා වූවාය. සැබෑ දිවියේ මවකගේ අත්දැකීම් නොලැබුවද කැමරාව ඉදිරියේ මවක ලෙස විවිධාකාර අභියෝගයන් රැසකට මුහුණදෙමින් ‘අම්මා’ ටෙලිනාට්‍යයේ සංකීර්ණ චරිත නිරූපණයක නියැළී සිටින අමන්දා ජයරත්න, තමන් රඟපෑ මවගේ චරිතය ගැනත්, සිය රංගන දිවිය ගැනත් කතා කරන්නට රසඳුන හා මෙසේ එක්වූවාය.


කපිල සුගත් විජේරත්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වී මේ දිනවල විකාශය වන ‘අම්මා’ ටෙලිනාට්‍යය වටා ප්‍රේක්ෂකයන් එක්රොක් වී අවසන්ය. ‘චාමිකා’ නමැති මව නොයෙකුත් හැලහැප්පීම් මෙන්ම පීඩාවන් රැසකට ලක්වෙමින් සිටින්නීය.’චාමිකා’ අමන්දාට ලැබුණු අභියෝගාත්මක චරිතයකි. එය ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ද විය හැකිය.


‘‘ චාමිකා චරිතය මට ඇත්තටම අභියෝගාත්මක චරිතයක් වුණා . මට ‘චාමිකා’ දැනෙන්නේ ඇය මුහුණ දුන් ප්‍රශ්නත් එක්ක අසරණ අම්මා කෙනෙක් විදිහට. එයාට අඩු වයසකදී තමයි දරුවා ලැබෙන්නේ. ඒ වගේම දරුවා ලැබුණාට පසු දරුවා දෙන්නත් සිදු වෙනවා. එය බොහෝ ශෝචනීය තත්ත්වයක්. මේ වගේ අත්දැකීම්වලට මුහුණදෙන කාන්තාවන් අපට ඕනේ තරම් මුණගැසෙනවා. ඉතින්, ‘චාමිකා’ කියන්නේ හරිම සංවේදී අම්මා කෙනෙක්. හැබැයි, ඒ සංවේදීකම චාමිකා , ළමයා ඉදිරියේ පෙන්වන්නේ නැහැ. චාමිකා තනිවුණු වෙලාවට තමයි ඇගේ සංවේදීත්වය පෙන්වන්නේ.


ඒ වගේම මම අම්මා කෙනෙක්ගේ චරිතය රඟපාලත් නෑ. චාමිකාගේ චරිතයේ කිසිම ReAction එකක් පෙන්නන්න බැහැ. තමන්ගේ දරුවා ඉදිරියේ ඉද්දී ඒ ළමයට ආදරයෙන් කතා කරන්නවත් බැහැ . මෙහි මුල් කොටස්වලදී එහෙම තත්ත්වයක් ඒ චරිතයේ තිබුණේ . ReAction සඟවාගෙන ඒ ළමයා තමන්ගේ ළමයා නොවන ගාණට රඟපෑම තමයි ගොඩක්ම අමාරු දේ වුණේ. ඒක මේ චරිතයේ වගේ මගේ රංගනය තුළත් විශේෂත්වයක් වුණා . ”


ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් මේ ‘අම්මා’ වටා එක්රොක් වී ඇයට ආදරය, සෙනෙහස දක්වන බවක් ගැන ද ඇය පවසන්නීය.


” චාමිකාට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම මා රඟපෑ ‘ රැල්ල වෙරළට ආදරෙයි ” ටෙලි නාට්‍යයේ ‘සුදු මැණිකේ’ චරිතයත් එහෙමයි . ‘චාමිකා’ සහ ‘සුදුමැණිකේ’ කියන්නේ එකම මට්ටමක ප්‍රතිචාර ලැබෙමින් තිබෙන චරිත දෙකක්. ප්‍රේක්ෂකයා මගෙන් අහනවා කොහොමද ‘සුදු මැණිකේ’ වගේ එහෙම චාමිකාවත් දැනෙන්න රඟපාන්නේ කියලා . ”


චාමිකා මුහුණදුන් අභියෝගවලට අමන්දාට සැබෑ දිවියේ මුහුණදීමට සිදු වූවානම් ඇගේ හැසිරීම කවරාකාරද යන්න කාගෙත් කතාබහට ලක්වෙමින් තිබේ .


” මම සැබෑ ජීවිතයේ අම්මා කෙනෙක් නෙවෙයි . මවකගේ අත්දැකීම් මට නැහැ. හැබැයි, චාමිකා ලබන අත්දැකීම් මටත් ලබන්න වුණානම් මම කවදාවත් දරුවාව දෙන්නේ නැහැ. හැබැයි දෙන්න සිදුවෙන තත්ත්වයක් වුණොත් ඒ මොහොත හරිම සංවේදී වේවි. ඒකනම් පෞද්ගලිකව කොහොමත් කරන්න බැරිවෙයි. ”


‘අම්මා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ඇතුළු අනෙක් ශිල්පීන් ගැනත් කතා කිරීමට අමන්දා සිහි ගැන්වූවාය .


” අධ්‍යක්ෂ කපිල සුගත් අයියාව මට හමුවෙන්නේ මේ ටෙලිනාට්‍යයෙන්. ඔහු අපට නිදහස දෙමින්, හොඳින් චරිතය ගැනත් එහි ක්‍රියාකාරීත්වය ගැනත් කියාදෙනවා. අපේ ඇඟෙන්ම එන රංගනයත් ඔහු ලබා ගන්නවා . චරිත් අයියව මට ඔහුගේ ‘තාදි’ ටෙලි නාට්‍යයේදී මුණගැසුණා. ඔහු එක්ක රඟපාන්නේ මේ පළමුවරටයි. චමිලා අම්මා ‘රැල්ල වෙරළට ආදරෙයි‘ ටෙලි නාට්‍යයෙත් මගේ අම්මා. නයෝමි අක්කත් එක්ක රඟපාන්නේ අවුරුදු හතකට පසුවයි. ඒවගේම අපේ කණ්ඩායමත් එකම පවුලක් වගේ වැඩ කරනවා. සහාය අධ්‍යක්ෂ රුචිත ගයාන් තමයි මට මේකට ආරාධනා කරන්නේ. නිෂ්පාදක මේනක රාජපක්ෂ අයියත් ආරාධනා කළා. වෙනස්ම චරිතයක් , අපි කරමු කියලා ”


අමන්දා රංගනයට අවතීර්ණව ඇත්තේ අවුරුදු 03ක් වැනි කුඩා අවධියේදීය. ඒ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහායි. අනතුරුව අධ්‍යාපනික කටයුතු හේතුවෙන් සිය මවුපියන් ඇය රංගන කටයුතුවලින් දුරස් කිරීමට තීරණය කර තිබේ. අමන්දාට අවුරුදු 17ක් වෙද්දී නැවත රංගනයට පිවිසෙන්නීය. ඒ ලලිත් වසන්ත හරහා සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘නීල පළිඟු’ ටෙලිනාට්‍යය ඔස්සේ ය.


කැමරාවට මුල්වරට මුහුණදුන් ඒ අත්දැකීම ඇය නොපැකිළව සිහිපත් කළාය .


“ඔව් , මම කැමරාවකට මුහුණදුන් මුල්ම දවස සඳුන් අයියාගේ ‘නීල පබළු’ නිෂ්පාදන කණ්ඩායමටම හොඳ ඉවසීමක් තිබුණු දවසක් කියන්න පුළුවන් . මම ඔවුන්ට ස්තූති කරනවා මගේ රංගනය ඉවසාගෙන දරාසිටියට. සඳුන් රාජකරුණා අයියා ඇක්ෂන් කිව්වත් මම රඟපෑවේ නැහැ. ඒ තරම් බයකින් , චකිතයකින් හිටියේ. දැන්නම් එහෙම නැහැ ”


චරිතයක් භාර ගැනීමේදී තමන්ගේ හෘදසාක්ෂියට අනුව එකී චරිතය නිරූපණය කළ හැකිදැයි තමන් සලකා බලන බව ද, කවුරු කෙසේ කීව ද තමාට හැකි යැයි විශ්වසනීය හැඟීමක් වේ නම් එය භාරගන්නා බවත්, තිර රචනය මනාව කියවන බවත් , අදාළ චරිතයෙන් තමන් සෑහීමට පත්වන්නේ නම් එය රඟපෑමට පසුනොබසින බවත් කීවාය .


චිත්‍රපට හා වේදිකා නාට්‍ය සඳහා අමන්දා මෙතෙක් දායක වී නොමැති වුවද. චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණද තවමත් ඒවායේ රූගතකිරීම් ආරම්භ කර නොමැත . වේදිකාවට බොහෝ ඇලුම් කරන බවත් පාසල් කාලයේ වේදිකාවේ රඟපෑ බවත් , වේදිකාවෙන් බොහෝ දෑ ඉගෙන ගත හැකි බවත් ඇය සිහි කළාය.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලැබීමට හැකිවීම ගැන අමන්දා සිටිනුයේ තෘප්තියෙනි .


“ප්‍රවීණයන්ගෙන් රංගනය ගැන මට අවවාද , උපදෙස් ලැබෙනවා වගේ මගේ ජීවිතයටත් අවවාද, උපදෙස් ලැබී තිබෙනවා. අවු 17සිට මේ වෙන තෙක් ප්‍රවීණයන් ඇසුරේ වැඩෙන්නට ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා . ඒක මට විශාල ආශීර්වාදයක්.”


අමන්දා රඟපෑ ටෙලි නිර්මාණ හතරක් විකාශයට නියමිතය . ඒ අතරින් ‘ඩබල් ඇක්ටින්‘ චරිතයක් ද, ගැමි චරිතයක් ද වෙයි. ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඇය , කලා කටයුතු නිසා කාර්යබහුල වීමත් සමඟ එය තරමක් අතපසු වී තිබෙන බව ද සිහි කළාය.


සනත් ගුණතිලක වැනි දැවැන්තයකු සමඟ රංගනයට ඇය ආසාවෙන් සිටි බව ද , එකී ආසාව ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යය තුළින් සංසිඳුවා ගත් බව ද අමන්දා පැවසුවාය.

gossiplanka image 1
Previous Post Next Post