දාලා යන්න සාධාරණ හේතු තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් -නයෝමි තක්ෂිලා

gossiplanka image 1
 

ඔබ අපි කවුරුත් දන්න හඳුනන මේ කාලයේ ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන කලාකාරිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. . මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය පසුගියදා අලුත් වැඩකටයුත්තකටත් අත ගැහුවා.




මෑතකදි ලස්සන අලුත් වැඩක් ආරම්භ කළා නේද?




මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. මගේ ගමේ අපි අක්කර දහයක නිල් මානෙල් වගා කරනවා. නිල් මානෙල් කියන්නේ බොහොම වටින දෙයක්. අතීතයේ ඊජිප්තු කාලයේ සිටම ලස්සන වීමට සහ ආයුර්වේදයේ ලෙඩදුක්වලට, ආතතියට, ලිංගික වර්ධනයක් වගේ දේවල් වලට නිල් මානෙල් භාවිත කර තිබෙනවා. නමුත් අපි වවලා තිබෙන්නේ ලංකාවට විශේෂ වුණු නිල් මානෙල් මල නොවෙයි. ලංකාවේ ජාතික පුෂ්පය වෙන්නේ ළා නිල් පාට මානෙල් මල. මේ ඒ මල නොවෙයි. ඉතින් මල් පූජා කරනවට අමතරව මම හිතුවා මෙයින් තව ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. අපි පුරුදු වෙලා ඉන්නේ විදේශීය දේවල් වලට. නමුත් අපිට පුළුවන් දේශීය දේවල්වලින් ප්‍රතිඵල ගන්න. දැන් සාර්ථක ව්‍යාපාරයක් විධියට එය කරගෙන යනවා. නිල් මානෙල් ටී එකක්,ෆේෂල් සෙට් එකක් වගේම හෙයා ඔයිල් එකක් නිෂ්පාදනයන් තුළ අඩංගුයි. මගේ ව්‍යාපාරයේ නම " නයෝතා ". .




නයෝමි නිරූපණය කරන බොහොමයක් චරිත ඉක්මනින් ජනප්‍රිය වෙනවා. මොකක්ද මේ රහස ?




මගේ නිර්මාණයන්වල තෝරා බේරා ගැනීම වෙන්නත් පුළුවන්. ගුණාත්මක භාවය වෙන්නත් පුළුවන්. මෙය ඇත්තටම තනි පුද්ගලයකුගේ ක්‍රියාදාමයක් නෙමෙයිනේ. නාට්‍යයේ පිටපත් රචකයාගේ සිට තේ පැන් සංග්‍රහ කරන පුද්ගලයා දක්වා නාට්‍යයට රුකුලක් වෙනවා. නාට්‍යයක් සහ චරිතයක් ජනප්‍රිය වෙනවා කියන්නේ කණ්ඩායමේම ජයග්‍රහණයක් .




නයෝමි මෙගා නාට්‍යයවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?




මම මෙගා නාට්‍යයවලම ඉන්නවා කියන්නත් බැහැ. මගේ පළමු ටෙලිනාට්‍යය වුණෙ මීදුම් අම්මා. එහි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දුව විදියට රඟපෑවේ මම. එය කොටස් හැටක පමණ නාට්‍යයක්. දැනටත් විකාශනය වන පැබ්ලෝ කොටස් හැටක නාට්‍යයක්. රාගනම් මෙගා නාට්‍යයක්. අද ගොඩක් යන්නේ මෙගා නාට්‍යය. මෙගා නාට්‍යය හොඳ නැහැ කියන්න බැහැ.




අද බොහෝ කලාකරුවන් භාර ගන්නා නිර්මාණයන් තුළ ආරම්භයේ සිටියත් අවසානවන විට එහි දකින්නට නැහැ. මෙය රැල්ලක් බවට පත්වී තිබෙනවා. ඒ ගැන නයෝමිගේ අදහස කොහොමද?




සමාවෙන්න ඒ ගැනනම් මට උත්තරයක් දෙන්න බැහැ. මොකද මම වැඩ කරන්නේ මේ ක්ෂේත්‍රයේ. රංගන ශිල්පිනීනූත් මගේ. ශිල්ප ශිල්පිනියොත් මගේ. අනෙක් වැඩ කරන ශිල්ප ශිල්පිනියොත් මගේ. දාලා යන අයත් ඉන්නවා. එයාලට දාලා යන්න සාධාරණ හේතු තියෙන්න පුළුවන්. සාධාරණ හේතු නොතියෙන්න පුළුවන්. ඒ නිසා මට ඒ ගැන කාගෙවත් පැත්තක් ගන්න බැහැ.




අද කලාව ස්ථාවර නැහැ කියන මතය බොහෝ දෙනකුගේ තිබෙනවා. ඒ නිසාද නයෝමි ව්‍යාපාරයකට යොමුවුණේ ?




මට සාමාන්‍ය පරිදි කාලා බීලා ජීවත් වෙන්න මේ ක්ෂේත්‍රයේන් ලැබෙන මුදල් ප්‍රමාණය ඇති. නමුත් ඉතාමත් සැපවත් ජීවිතයකට යන්න ඒ මුදල් ප්‍රමාණය මදි. හේතුව රටේ තත්ත්වය. උදාහරණයක් විධියට හිතන්න රුපියල් දාහක් අරන් කඩේකට ගියොත් මොනවද අපිට ගන්න පුළුවන් . මට විතරක් නෙමෙයි ලංකාවේ ජීවත් වෙන හැම දෙනාටම මේ මොහොතේ රැකියාවක් දෙකක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. හේතුව රටේ ආර්ථිකය.




රඟපෑමේදී ඔබේ භාව ප්‍රකාශනයන් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.




රඟපානවා කියන එක ඇත්තටම ලෙහෙසි පහසු කර්තෘවයක් නම් නෙමෙයි. රඟපෑම මේකයි කියලත් මට කියන්නත් බැහැ. අපි ඉපදෙද්දි යම්කිසි ප්‍රමාණයක් රඟපාන්න හැකියාවක් අපිට ශරීරයෙන් ලැබෙනවා. ඉතිරිය අපි සියයට අනූවක්ම වර්ධනය කර ගත යුතුයි. මම වේදිකාවෙන් ආවේ. ඒ වගේම මම වසර හතරක් පමණ රංගනය හැදෑරුවා. මම නිතරම අභ්‍යාසවල නිරත වෙනවා. මම හිතන්නේ මගේ රසිකයන්ට ඒ නිසා මාව දැනෙනවා.




ඔබ වේදිකාව පිළිබඳ තෘප්තිමත්ද?




වේදිකාවට මම ඇත්තටම ගොඩක් ආදරෙයි. වේදිකාව කියන්නේ සජීවි අත්දැකීමක්. ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ සජීවිව. එයින් ලැබෙන්නේ අසීමාන්තික තෘප්තියක්. මම නිතරම අභ්‍යාසවල යෙදෙන තැනක් තමයි වේදිකාව කියන්නේ. ඒ වගේම කණ්ඩායම් හැඟීම , ලබෙන සජීවි ප්‍රතිචාර , අභ්‍යාස නිසාම මම හරිම කැමැත්තෙන් වේදිකාවට සම්බන්ධ වෙනවා.




තරුණ ප්‍රවීණ කලාකාරිනියක් විධියට නවකයන් සමග වැඩකටයුතු කිරීම පහසුයිද ?




නවකයන් සමග රඟපෑමේ අපහසුවක් මටනම් නැහැ. මම කාත් එක්ක වුණත් සුහදශීලීව වැඩකටයුතු කරන කෙනෙක්. එයාලට නොදන්න දෙයක් මම කියලා දෙනවා. මගෙන් ගන්න දෙයක් තියනවනම් මම එයාලට ගන්න කියනවා. ඒ වගේම හරිම දක්ෂ ළමයි ක්ෂේත්‍රයට එනවා. ඉස්සර අපිටනම් ක්ෂේත්‍රයට එන්න තිබුණ පාරවල් අඩුයි. දැන් සාමාජ මාධ්‍යය තිබෙනවා. දුෂ්කර පළාත්වල දක්ෂ ලස්සන ළමයි ක්ෂේත්‍රයට එනවා. මටනම් ඒ ගැන තියෙන්නේ සතුටක්. 


Previous Post Next Post