මේ දිනවල විකාශය වන පට්ටි ගෙදර සුද්දා මේ වෙද්දි කාගෙත් ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඒ චරිතයට පණපොවන ඔහු කවුද යන වග බොහෝ ප්‍රේක්ෂකයන් මේ වෙද්දී සොයන බව නොරහසක්. ඔහු නමින් කසුන් තාරක රත්නපාල. මෙවර මේ සොඳුරු කතාබහ හදගැස්මට ඔහුගෙන්.
මේ දිනවල “පට්ටි ගෙදර” තත්ත්වය කොහොමද?
මේ දවස්වල පට්ටි ගෙදර ෂූටින්වල ෂෙඩුල් දෙකක් කරලා ඉවරයි. දැන් නැවතත් ෂූටින් පටන් අරගෙන තිබෙන්නේ. ඉතින් පට්ටි ගෙදර එපිසෝඩ් හතරක් වගේ විකාශය වෙද්දිම ප්‍රේක්ෂකයෝ ඒ ටෙලි නාට්‍ය ආදරයෙන් වැලඳ ගත්තා. ඒත් එක්ක මේ නිර්මාණයට ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමුවෙලා තිබෙනවා.
පට්ටි ගෙදර සුද්දාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
මම කලින් අනුෂ්ක රසාංජනගේ ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ චරිතයකටත් රංගනයෙන් දායක වුණා. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාරවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාර තමයි මේ චරිතයට ලැබෙන්නේ. මේ චරිත දෙක දෙවිධියක්. ඒ චරිතයට ප්‍රේක්ෂකයන් බනින්නෙත් නෑ. නොබැණ ඉන්නෙත් නෑ. නමුත් මේ චරිතයට පොඩි ආකර්ෂණයක් ඇතිවෙලා තිබෙනවා. ප්‍රතිචාර ඇත්තටම හොඳයි.
‘ටේක් කෙයාර්’හි ඔබේ සාර්ථක රංගනය නිසාම ඒ කෙටි චරිතය දිගු කළ බව සඳහන්. ඒ දිගුව ඔබව පට්ටි ගෙදර දක්වාම රැගෙන ඒම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන ඇත්තටම සතුටුයි. රංගනය අපේ පැෂන් එකනෙ. ඒ පසුපස කාලයක් තිස්සේ හඹා යද්දී ඒ ලැබුණු අත්දැකීම් සමඟ දැනුම ප්‍රායෝගිකව අත්හදා බලන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ. ඒ සාර්ථකත්වය ගැන සතුටුයි. ඉතින් ‘ටේක් කෙයාර්’හි මට කෙටි චරිතයක් තිබුණත් එහි රංගනය සාර්ථකව සිදු වූ නිසා දිගටම ඒක දිගු චරිතයක් විධියට අනුෂ්ක ලියූ බව කියලා තිබුණා. ඒත් සමඟ තමයි මාව හඳුනාගන්නේ. ඊට පස්සේ තමයි මේ චරිතයට කතා කරන්නේ. ඉතින් මේ වගේ චරිතයක් ලැබීම ගැන සතුටුයි. ඉතින් ඒත් සමඟ තව වැඩ කිහිපයකටත් මට කතා කළා.
පට්ටි ගෙදර තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂ වන අනුෂ්ක රසාංජනගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අනුෂ්ක රසාංජනට අධ්‍යක්ෂවරයකු ලෙස ලොකු අත්දැකීම් ප්‍රමාණයක් නොතිබුණත් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබෙන අධ්‍යක්ෂවරයකු වගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මම වැඩ කරලා තිබෙන අධ්‍යක්ෂවරු එක්ක බලද්දි අනුෂ්කගේ තිබෙන වෙනස ඔහු චරිත ගැන ටිකක් සංකීර්ණව හිතනවා. ඔහු හැම වෙලේම චරිතයක් ඇතුළේ තිබෙන සංකීර්ණත්වය එළියට ගන්න බලනවා. ඔහු ලියන පොඩි චරිතයක් ගැන පවා හරිම සැලකිලිමත්. වැඩේට ආදරය කරන කණ්ඩායම සමඟ හරිම සහයෝගයෙන් කටයුතු කරන කෙනෙක්.
පට්ටි ගෙදර චරිත එකිනෙකාගේ රියැලිස්ටික් ගතිය මෙතරම් හොඳින් පවත්වා ගන්නේ කෙසේද?
වේදිකා නාට්‍යවලදී එහෙම අධ්‍යක්ෂවරයකු වුණාම සොඳුරු ආඥාදායකයකු වෙන්න ඕනෑ කියලා කතාවක් අපි අහලා තිබෙනවානේ. නාට්‍යයක් ගත්තම ඒක හරිම සාමූහික ක්‍රියාවලියක්නේ. ඒ සාමූහික ක්‍රියාවලිය හරියට සිද්ධ වුණොත් තමයි ඒක සාර්ථක නිර්මාණයක් වන්නේ. අනුෂ්කගේ තිබෙන හැමකෙනා සමඟම සාමූහිකව වැඩ කරන්න පුළුවන් වීමේ ගුණය මේ දෙයට හේතු වී තිබෙනවා කියලා මම හිතනවා. ඒ නිසා නළු නිළියන්ට වැඩේ ඇතුළෙ වැඩ කරන්න ඒක පහසුවක් වී තිබෙනවා. ඒ නිසා ස්ක්‍රිප්ට් එක හරියට එළියට එනවා කියලා මම හිතනවා. නිතරම අනුෂ්ක අපට චරිතය ගැන තව හිතන්න, තව හොයන්න කියලා අපිව දැනුවත් කරනවා. ඉතින් අපට එකතු වෙලා ඉන්න පිරිසත් චරිතය වෙනුවෙන් මහන්සි වෙන්න කැමැති යම් දෙයක් කරන්න උත්සාහ කරන පිරිසක් කියලා මම හිතනවා. අපි, අපි අතර සිදුවෙන කතාබහෙනුත් ඒ දේවල් කතාබහ කරගෙන තමයි චරිතය ගොඩනැඟෙන්නේ.
සැබෑ ජීවිතයේදීත් කසුන් සුද්දා වගේ හිතුවක්කාරද?
නෑ… නෑ… එහෙම නෑ. ඇත්තටම මම ගොඩක් දේවල් ගැන හොයලා එකතු කරගත්ත දේවල්වලින් හදාගත්ත කැරැක්ටර් එකක් තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයකු තුළ දෙපැත්තක් තිබෙනවානේ. මේ කැරැක්ටර් එකේ තිබෙන දේවල් මගේ සාමාන්‍ය ජීවිතයේදී එළියට එන දෙයක් නෙවෙයි.
ප්‍රේක්ෂක ආදරය ඔබට දැනෙන්නේ කෙසේද?
ඇත්තටම රංගන ශිල්පියෙක් විධියට අපි හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ජනප්‍රියත්වයත් බලාපොරොත්තු වෙනවා. අපි නිර්මාණයකට කරන කැප කිරීමේ ප්‍රතිඵල බලාගන්න වෙන්නේ සම්මාන උළෙලක ඇගැයීමකින් හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් තමයි. ඒ වගේ ප්‍රතිචාර අපේ ගමනේ රඳා පැවැත්මට මෝටිවේෂන් එකක්. ඉතින් සතුටුයි.
සමාජ මාධ්‍යය තුළ කලා නිර්මාණ විචාරය හා විවේචනය ගැන ඔබේ අදහස?
සමාජ මාධ්‍ය ජාලාව තිබෙන්නෙම ඒ කටයුතුවලටනේ. එහි හොඳ නරක දෙපැත්තටම කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඕනෑ කෙනකුට ව්‍යාජ නමකින් හෝ ගිණුම් කිහිපයකින් හෝ විවිධාකාරයේ අදහස් පළ කරන්න පුළුවන්. දිගින් දිගටම නරක ප්‍රතිචාර ලැබෙද්දී රංගන ශිල්පීන් විධියට අපිටත් හිත රිදෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට යන්න ලොකු තල්ලුවකුත් සමාජ මාධ්‍යයෙන් ලැබෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මේ දවස්වල මම ගොඩක් කාලය ගත කරන්නේ පට්ටි ගෙදර එක්ක තමයි. ඊට අමතරව ඉන්දික ෆර්ඩිනෑන්ඩෝගේ “රහසිගත ලිපි ගොනු” වේදිකා නාට්‍ය නිර්මාණයටත් දායක වෙලා ඉන්නවා. තව ටෙලිනාට්‍ය කිහිපයක සාකච්ඡා කටයුතු කරගෙන යනවා. ඒ වැඩ කටයුතු ටික තමයි.