චතුරිකා නිර්මාණි, ඇය ඔබට මතක නම් දෙරණ ඩී්‍රම් ස්ටාර් සීසන් 5 තරගයත් නිරායාසයෙන්ම ඔබේ මතකයට එනවා ඇති. එහිදී ඇය අවසන් දොළොස් දෙනා අතරට තේරීපත් වෙනව.
අද ඇයව ඔබට ඉතාමත් හැඟුම්බර ගායනයකින් අහන්න පුළුවන් වෙන්නෙ ‘ආයු’ සිනමා නිර්මාණයේ එන ‘රැළි රැළි හැපි හැපි විසිරී’ ගීතය තුළින්.
මේ ගීතයත් සමග සමාජයේ කතාබහට ලක්වුණ චරිතයක් වන චතුරිකා සමග මීවිත කළ සොඳුරු කතාබහයි මේ.
චතුරිකා, ආයු සිනමාපටයේ ‘රැළි රැළි හැපි හැපි විසිරී’ යන ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
මට මේ අවස්ථාව ලැබෙන්නෙ ආයු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වන මිලින්ද තෙන්නකෝන් මහත්මයා නිසා. ඔහු මගේ විශ්ව විද්‍යාලයේ සමකාලීන සහෘදයෙක්. මේ ගීතය ගායනා කරන්න සුදුසුයි කියල ඔහු මගේ නම යෝජනා කරනව. ඒ අනුව තමයි මම සම්බන්ධ වෙන්නෙ.
අද වන විට මේ ගීතය සමාජය තුළ කතාබහට ලක්වෙනවා?
ඇත්තටම ගීතය ගායනා කරද්දි මේ වගේ ප්‍රතිචාරයක් නම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ දැන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මේ ගීතයේ වචන සහ සංගීතය නිසා මමත් ඒක ගායනා කළේ බොහොම කැමැත්තෙන්. මොකද මට ඒ වචන දැනුණා. ඒ වන විට තිරපිටපත ගැනත් මම දැනුම්වත් වෙලා හිටිය නිසා ගීතයේ එන හැඟීම් වඩාත් සාර්ථකව ගායනා කරන්න උත්සාහ කළා. ඒ වගේම මම හිතනව මම සාර්ථකව ඒක කළා කියල.
චින්තන ධර්මදාසගෙ පද මාලාව ගැන ඔබේ අදහස මොන වගේද?
චින්තන ධර්මදාස කියන්නෙ අපේ හොඳ හිතවතෙක්. ඒ වගේම ඔහුගෙ නිර්මාණවලින්, විචාරවලින් මම ඔහු ගැන දැනගෙන හිටියා. ඔහුගේ ගීතය මගේ අතට ලැබුණාම මම ඉතාමත් සතුටු වුණා. ගීතයක් ගායනා කරද්දි හැඟීම් ගායනය එළියට දෙන්න පුළුවන්නම් ඒක හරිම සුවිශේෂයි. මේ ගීතයත් ඒ වගේ එකක්. සංගීතයත් මනාව එකතුවෙලා තිබුණ නිසා ගොඩක් හොඳ ගැළපීමක් වුණා.
ඔබේ සංගීත ගැන හැදෑරීම මොන වගේද?
මම අධ්‍යාපන ලැබුවෙ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. ඒ කාලයේත් පාසලේ සංගීතය සම්බන්ධ තරගවලට වගේම බාහිර වැඩසටහන්වලටත් ඉදිරිපත් වුණා. පාසල් කාලයෙන් පස්සෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අද වන විට මම සංගීත විශාරද උපාධිය ලබාගෙන තියෙනව. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායන ශිල්පිණියක්.
විශ්වවිද්‍යාල කාලය තුළදී ඔබ රියැලිටි තරගයකට ඉදිරිපත් වෙනව?
ඔව්, මම විශ්වවිද්‍යාලයේ තුන් වැනි වසරේ ඉන්න කාලෙ, යාළුවන්ගෙ බලවත් ඉල්ලීම පිට දෙරණ ඩී්‍රම් ස්ටාර් සීසන් 5 තරගයට ඉදිරිපත් වෙනව. එහිදී විනිශ්චය මණ්ඩලයේ ඉතාමත් හොඳ ප්‍රතිචාර මැද ගොඩක් දුර එන්න ලැබුණා. ඒක මට ලැබුණ වටිනා අවස්ථාවක් හැටියට අදටත් දකිනව.
ඔබ මීට පෙර ගීත කිහිපයක් ගායනා කළා?
ඔව්, මම කැමති වෙනම ගීත ශෛලියක් තිබුණා. ඒ වෙනුවෙන් මම මුලින්ම සංගීතවේදී අරුණ ගුණවර්ධන එක්ක ගීතයක් නිර්මාණය කළා. එහි පද රචනය කළේ අසන්ත රුවන් සාගර. මගේ ඊළඟ ගීතය නිර්මාණය වුණේ හර්ෂණ දිසානායක සමග. ඒ ගීතයට රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගායනයට හිමි ජූරියේ සම්මානය හිමි වුණා.
ආයු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා චත්‍ර වීරමන් ඔබේ සැමියා බව බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. ඒ හමුවීම ගැන මතක් කළොත්?
මට චත්‍රව මුණගැහෙන්නෙ මගේ සමකාලීන සහෘදයා, මිලින්ද සමග චත්‍ර විශ්ව විද්‍යාලයේ විවිධ වැඩසටහන්වලට සම්බන්ධවෙන කාලෙදි. හරියටම කිව්වොත් ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රූගතකිරීම් අවසන්වෙලා ඉන්න කාලෙ. කාලයත් එක්ක ආදර සම්බන්ධතාවක් ඇතිවෙලා අද අපි විවාහවෙලා ඉන්නව.
ආයු ගීතය ගයන්න අවස්ථාව ලැබෙන්නෙ චත්‍ර සැමියා නිසා කිව්වොත්?
නැහැ, ඔහු මගේ සැමියා නිසාම නෙමෙයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. නමුත් චත්‍රටත් මගේ හැකියාවන් ගැන යම් අවබෝධයක් තිබුණා. ඒ වගේම මුලින්ම අපි ඩමි එකක් සිංග් කළා. ඒකෙන් තමයි චත්‍ර චිත්‍රපටයට මගේ ගායනය සුදුසුයි කියල තීරණය කළේ.
මේ මොහොතෙ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඇත්තටම හරිම සතුටුයි. චිත්‍රපටය නරඹපු හැමදෙනාගෙන්ම ලැබෙන්නෙ බොහොම ධනාත්මක ප්‍රතිචාර.
චිත්‍රපටය තිරගත වෙන්න වසර ගණනාවක් ගතවුණා. ඒ ගැන කලකිරීමක් තියෙනවද?
ඔව්, ඒ ගැන අපිට කලකිරීමක් නොතිබුණා නෙමෙයි. චිත්‍රපටයක් හදල ප්‍රදර්ශනය කරන්න මේ තරම් කාලයක් යන එක ඒකට දායක වුණ ශිල්පීන් සියලු දෙනාටම වෙන අසාධාරණයක්. මේ මොහොත වන විට ලංකාවේ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවෙලා තියෙනව. එවැනි කාලයක ආයු තිරගත කරන්න ලැබීම එක පැත්තකින් හොඳක් වුණා කියලත් හිතෙනව.
විශ්මි සහ සචින් ගැන ප්‍රේක්‍ෂකයන් විවිධ කතා කිව්වා?
ඔව්, කාන්තාවන් වගේම පිරිමි අයත් කිව්ව කතාවක් තමයි විශ්මි වගේ පෙම්වතියක්, සචින් වගේ පෙම්වතෙක් හොයාගෙන ජීවිතේ බෙදාගන්න තිබුණා නම් කියල. මේ මට පෞද්ගලිකවම කියපු දෙයක්. ඔවුන්ට ඒ තරමටම මේ චරිත සමීප වෙලා. ඒ විදිහට ජීවිතය දකින්න පුළුවන්නම් කොච්චර දෙයක්ද කියලයි ඔවුන් කිව්වෙ.
මේ දවස්වල සංගීත වැඩකටයුතු කොහොමද?
අසෝක අතාවුදහෙට්ටි මහත්මයාගෙ ‘ආදර අන්තය’ චිත්‍රපටයට රූකාන්ත ගුණතිලක මහත්මයා සමග යුග ගීයක් ගායනා කළා. ඒ වගේම තවත් ගීත කිහිපයක්ම ගායනා කරල තියෙනව. ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
ප්‍රසංග භාරනොගන්නෙ ඇයි?
මෙතෙක් කලක් මම කලාව කළේ මගේ රසවින්දනය මූලික කරගෙන. ඒ වගේම මගේ කලාවට කැමති පිරිසක් මං වටා හිටියා. අදටත් ඉන්නව. ඉදිරියට ලැබෙන ප්‍රතිචාර එක්ක අපි බලමු මොකද වෙන්නෙ කියල.
මහේෂ් එදිරිසිංහ