පසුගිය දවස්වල ගිහාන් ප්‍රනාන්දුගේ ලොක්කා ලෙඩවෙලා සහ ආලෝක සම්පත්ගේ මරු නෙමෙයි බොරු වේදිකා නාට්‍යයත් එක්ක රට වටා වගේම ලෝකෙ වටා යන මධුෂානි වික්‍රමසිංහ සමග පුංචි කතාබහක නිරත වුණා. මේ ඇගේ නැවුම් කලා තොරතුරුයි.
මධුෂානි වික්‍රමසිංහ මේ දිනවල වැඩිපුර දකින්න ලැබෙන්නේ වේදිකාවෙන් ?
ඔව්. මේ දවස් ටිකේම වේදිකාවත් එක්ක සම්බන්ධවෙලා ඉන්නවා. මුලින්ම ලොක්කා ලෙඩවෙලා නාට්‍යයත් එක්ක අවුරුද්දකට වැඩි කාලයක් රට වටා වගේම ලෝකේ වටා ඒ අත්දැකීම අරගෙන යනවා. ඊළඟට ආලෝක සම්පත් නාට්‍යකරුවාගේ මරු නෙමෙයි බොරු රට වටේම දුවන්න පටන් අරගෙන තියෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙනවා.
වේදිකාවත් එක්ක රට වටා යන ගමනේදී ලැබුණ අත්දැකීම් මොනවගේද?
ඇත්තටම හරිම විනෝදයි. ඒ වගේ ‘මරු නෙමෙයි බොරු’ වේදිකා නාට්‍යය වෙනුවෙන් ලොකු මහන්සියක් ගන්නවා. ගම්වලිනුත් එහාට ගිය ඈත ගම්දනව්වල තමයි මේ නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ. බස් එකක්වත් යන්න බැරි පාරවල්වල ගිහිල්ලා තමයි නාට්‍ය පෙන්වලා එන්නේ. ඒ ගම්වලින් ලැබෙන ප්‍රතිචාර එමටයි.
ඇයි මේ වැඩිපුර වේදිකාවට නැඹුරු වෙන්න හිතුවේ?
මම සිනමාව සහ වේදිකාවට වඩාත්ම ආදරෙයි සහ වඩාත්ම කැමැතියි. ඒකත් එක්ක වෙන්න ඇති මට ගොඩාක් නිර්මාණ හම්බවෙන්නේ සිනමාවේ සහ වේදිකාවේ.
කොහොමද සිනමාවේ වැඩකටයුතු ?
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ඔස්කාර් සිනමා නිර්මාණය ළඟදීම තිරගත වීමට නියමිතයි. එහි නිල පෝස්ටරය මේ වන විට සමාජ මාධ්‍යයට මුදාහැරලා තියෙනවා. පාලිත සිල්වා සහ මම තමයි ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙන්නේ. ඒක පොඩි වෙනස් විදිහක වැඩක්. දිනලි රොෂාන්ති තමයි පිටපත ලිව්වේ. චරිත දෙකක් විතරයි චිත්‍රපටය පුරාවටම තියෙන්නේ.
පාලිත සිල්වා වැනි දැවැන්තයෙක් එක්ක වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. මම මුලින්ම සිනමාවේ පාලිත සිල්වා මහත්මයාත් එක්ක රඟපෑවේ 2018 වසරේ හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ. ඉතාම කුඩා චරිතයක් තමයි මම එදා රඟපෑවේ. නමුත් මේ චිත්‍රපටයේ මම ඔහුත් සමග කරට කර රඟපානවා. මේ වසර කිහිපය ඇතුළත විශේෂයෙන් පාලිත සිල්වා මහත්මයත් එක්ක වැඩකරන්න ලැබීම මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා. ඔහු මගේ චරිතයට ලොකු සහයෝගයක් ලබාදෙනවා. හරියට රංගන පාසලකට ගියා වගේ තමයි ඔහුත් එකක් වැඩකරපු කාලය. ඔහුත් සමග මම සිනමා නිර්මාණ කිහිපයකම වැඩකරලා තියෙනවා. ඒ හින්දා ඔහු මට හුරුපුරුදු රංගන ශිල්පියෙක්.
වැඩිය ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද? නැතිනම් භාරගන්නේ නැතිද?
ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. නමුත් ඒක මට මිස් වෙනවා. ඇයිද මන්දා ඒකට හේතුව. ආරාධනා ලැබුණත් මට ඒවාට යොදවන්න කාලය පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. කැමැත්ත තිබුණත් මට ඒක භාරගන්න බැරිවෙන මොකාක් හරි හේතුවක් මතුවෙනාව.
පුංචි තිරයෙන් ඈත්වීම අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?
එහෙමත් හිතෙන වෙලාවල් තියෙනවා. මම හිතනවා මට ඉදිරියේදී හොඳ නිර්මාණයකින් පුංචි තිරයේ රංගන කටයුතු ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. මම හිතන්නේ හොඳම අවස්ථාව ලැබෙන්න වෙන්න ඇති මෙච්චර ප්‍රමාද වෙන්නේ.
රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?
මම ගොඩාක් නිර්මාණවලට සම්බන්ධවෙලා නැහැ. නමුත් වැඩකරපු පුංචි නිර්මාණ කිහිපය ඇතුළත මම හොඳ ආත්ම තෘප්තියක් ලබාගෙන තියෙනවා. ඒ ගැන නිතහමානී ආඩම්බරයක් තියෙනවා වගේම සතුටුයි. ඔය අතරේ මම රංගනයෙන් දායක වුණු කොටකෙතන සිනමා නිර්මාණයෙනුත් මාව දකින්න ලැබේවි. හැම නිර්මාණයකින්ම සතුට තමයි මට ඉතුරුවෙලා තියෙන්නේ. ඒක මගේ ජීවිතයේ වාසනාවක් විදිහට තමයි මම දකින්නේ.
ගමේ ඉඳලා කොළඹ ආපු ගමන ගැන කතා කළොත්?
මම දැන් කොළඹට ඇවිත් අවුරුදු හයක් හතක් වෙනවා. ඉතිං ඒ අවුරුදු හත ඇතුළත මම ජීවිතයට ගොඩක් දේවල් ළඟා කරගෙන තියෙනවා. රංගනය අමතරව දැනට මම නර්තන ගුරුවරියක් විදිහට වැඩකරනවා.
කොහොමද නර්තන පන්තියේ වැඩකටයුතු ?
මගේම ආයතනයක ද රොමෑන්ස් කියලා නර්තන ආයතනයක් පවත්වාගෙන යනවා. කොළඹ ප්‍රදේශයේ ශාඛාවන් අටක් තියෙනවා. ඒකත් එක්ක තමයි මම සෑහෙන කාර්යබහුල වෙලා තියෙන්නේ. මගේ නර්තන පාසල මමම තමයි කරන්නේ. ඒක තව කෙනකුට භාරදෙන්නේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් ඒ වැඩේ මගේ අතින්ම තමයි සිද්ධවෙන්නේ. ගොඩාක් කාර්යබහුල වුණොත් විතරක් පන්ති නවත්වනවා. මම ඇරෙන්න මගේ පාසලේ වෙන කෙනෙක් උගන්වන්නේ නැහැ. ඒකට හේතුව මගේ නර්තන පාසලේ ගුණාත්මක භාවය පවත්වාගෙන යෑමයි. ඇත්තටම පාසල් කාලයේ ඉඳලා මගේ ඇඟේ තිබ්බේ නර්තනය. උසස් පෙළ කාලයෙත් මම නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. කොළඹ ආවට පස්සේ ජාතික තරුණ සේවා සභාවේ රංගන පාඨමාලාවක් හදාරනවා. රංගනය කරගෙන යන කාලේ මට නර්තනය ටිකක් විතර මගහැරිලා තිබුණා. ඊට පසුව වසරකට වැඩි කාලයක ඉඳලා මගේම කියලා නර්තන ඇකඩමියක් පවත්වාගෙන යනවා. පුංචි කාලේ හීනයක් තිබ්බා ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා කියලා. දැන් ඒක සැබෑවෙලා තියෙනවා. ඒකෙන් මට ලොකු ආදරයක් ලබාදෙනවා.
මේ වෙනකොට ඔබේ වෘත්තිය මේ වෙනකොට මම වෘත්තීන් තුනක නියැළෙනවා. නිරූපණය, රංගනය සහ නර්තන ගුරුවරියක් විදිහට. ඒකත් එක්ක ගොඩක් කාර්යබහුලයි. නමුත් ඒ වෘත්තීන් තුනකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා හිතනවා.
දිනේෂ් විතාන