වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්, සිනමාවෙන් හා පුංචි තිරයෙන් දක්ෂතා දක්වන ජනප්‍රිය රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු රංගනයෙන් එක්වන දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ලැබූ “නීරු පූත්ත නෙරුප්පු” දමිළ සිනමා නිර්මාණය සමාජයේ වැඩි අවධානයක් ලබා ගන්නා නිර්මාණයක් වන බව පෙනෙන්නට ඇත. දමිළ සිනමාවේ දැවැන්ත චරිත දෙකක් වන බෝස් වෙන්කට් සහ ජී.එම්. කුමාර ද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි. වගීෂා “නීරු පූත්ත නෙරුප්පු” සිනමා නිර්මාණය හරහා ලද අත්දැකීම් රසඳුන හා බෙදා ගත්තේ මෙසේය.
කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල හරිම කාර්යබහුල කාලයක් ගත වෙන්නේ. චිත්‍රපට දෙකක සහ ටෙලි නාට්‍ය තුනක වැඩ කටයුතු කරගෙන යනවා. රංගන කටයුතු, ව්‍යාපාර කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් එක්ක කාලය ගෙවීගෙන යනවා.
‘නීරු පූත්ත නෙරුප්පු’ දමිළ සිනමාපටයේ විශේෂ දැක්මක් පසුගියදා තිරගත වුණා. ලැබුණු ප්‍රතිචාර කොහොමද?
නීරු පූත්ත නෙරුප්පු හි මගේ චරිතය වුණේ ප්‍රමිලා. එහි විශේෂ දර්ශනයක් පසුගිය 15 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේ දී පැවැත්වුණා. එදා මට මගේ රංගනය ගැන බොහෝ දෙනාගෙන් පැසසුම් ලැබුණා. මෙතෙක් මාව නොදැකපු රූපයකින් තමයි මාව දකින්න ලැබුණේ. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් ඇවිත් හිටියා. ඒ හැමෝගෙන්ම මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මං ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියන එක බොහෝ දෙනා කතා වුණා. මටත් හිතෙනවා මම ඒ චරිතෙට සාධාරණයක් කළා කියලා.
ඔබේ චරිතය වෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආදරවන්තිය ප්‍රමිලා, කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
දේවින්ද අන්කල්ගේ දුව ගනේද්‍රි කෝන්ගහගේ කියන්නේ මගේ හොඳම මිතුරියක්. ඇය තමයි මාව නිර්දේශ කරන්නේ ප්‍රමිලාගේ චරිතයට. ඒ නිර්දේශය මත තමයි මාව ප්‍රමිලාට තෝර ගන්නෙ. මුලින්ම ප්‍රමිලා ගැන කියද්දීම ඒ චරිතය මට සුදුසුයි සහ මට ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් කියන එක මට දැනුණා. ඒක ඇත්තටම ලොකු දෙයක්. ඒ වගේම ප්‍රමිලාගේ චරිතය අභියෝගාත්මක චරිතයක්. මොකද දමිළ භාෂාවෙන් කතා කිරීම වගේම මගේ මුහුණෙන් හැඟීම් මතු කරන බොහෝ තැන් තිබුණා. ඒ එක්කම මට රඟපාන්න තිබුණේ දමිළ සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන බෝස් වෙන්කට්ගේ පුතා තේජු වෙන්කට් එක්ක. ඒ නිසා මට දෙමළ භාෂාව ඉගෙන ගන්න වුණා. ගොඩක් අභියෝග එක්ක කරපු සුන්දර චරිතයක්. මගේ රංගන ජීවිතයේ මං කරපු කවදාවත් අමතක නොවන ඉතාම ලස්සන චරිතයක්. ඒ නිසා මාව විශ්වාස කරලා මට ඒ චරිතය ලබා දීම ගැන දේවින්ද අන්කල්ට වගේම ගනේද්‍රිටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ඉන්දීය ජනප්‍රිය නළු බෝස් වෙන්කට්. ඔහු එක්ක රඟපාන්න ලැබුණු අත්දැකීම කොහොමද?
ඉතාම සුන්දර නිහතමානි කෙනෙක්. ඔහු එක්ක එකට ‘සෙට් එකේ’ ගත කරපු කාලය ජීවිතේට අමතක නොවන කාලයක්. ඔහුගෙන් බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන හිතද්දි මං හරි වාසනාවන්තයි. ඒ එක්කම ඉස්සරහටත් වැඩ ටිකක් සැලසුම් කරගෙන යනවා.
ඔබේ පෙම්වතා විදිහට චිත්‍රපටයේ හමුවෙන්නේ ජනප්‍රිය නළු බෝස් වෙන්කට්ගේ පුත් තේජු වෙන්කට් ඔහු ගැනත් කතා කරමු?
ඔව්. ඒ මේක තමයි තේජුගේ පළමුවැනි රඟපෑම. එයා මීට කලින් රඟපාලා තිබුණේ නැහැ. එතකොට එහෙම කලින් රඟපෑවේ නැති නළුවෙක් එක්ක රඟපාන්න ලැබුණු එකත් එක්තරා විදිහකට අභියෝගයක්. මොකද ඔහුගේ රංග පරාසය ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. අපිට තිබුණේ පෙම්වත් චරිත. යාපනයේදී අපි වැඩමුළුවක් කරා. ඒකත් එක්ක අපි ගොඩක් අත්දැකීම් බෙදාගත්ත නිසා මේ චරිතය රඟපාන්න පහසු වුණා. ඔහුත් තාත්තා වගේම නිහතමානී කෙනෙක්. හරිම සතුටුයි. තිරයේ ඔහුගේ පළමු පෙම්වතිය වෙන්න ලැබුණු එක ලොකු සතුටක්.
නීරු පූත්ත නෙරුප්පු ඔබේ පළමු දමිළ සිනමා අත්දැකීම නේද?
නැහැ. මේ මගේ තුන්වැනි දමිළ සිනමා අත්දැකීම. මීට කලින් කරපු දෙකට කලින් නීරු පූත්ත නෙරුප්පු තිරගත වේවි. ඒ එක්කම දමිළ සිනමාව පැත්තෙන් තව ඉදිරියට වැඩ කිහිපයක්ම එන්න තියෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
ටෙලි නාට්‍ය කිහිපයක් නාළිකා කිහිපයකින්ම එන්න තියෙනවා. මියුසික් වීඩියෝ කිහිපයක් කළා. ඒ එක්කම චිත්‍රපට කිහිපයක් කළා. ඒවත් එන්න තියෙනවා. මගේම ගීතයක් කරන්න වගේම මගේම වැඩසටහනක් කරන්නත් අදහසක් තියෙනවා. මාත් ආසයි මගේ නිර්මාණ එකින් එක ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න.
මේ දවස්වල පුංචි තිරයේ දකිනවා අඩුයි නේද?
මම අන්තිමට රඟපෑවේ හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ. එහි නතාෂිගේ චරිතය. පසුකාලීනව මම එයින් අයින් වුණා. මේ වෙද්දී මගේ නිර්මාණයක් පුංචි තිරයේ විකාශය නොවුණට ඉදිරියේදී එන්න නියමිත නිර්මාණ කිහිපයක්ම තියෙනවා.
අනාගත බලාපොරොත්තු?
ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. මේ යන විදිහටම මම කරන වැඩවලට අවධානය දීලා වැඩ කරගෙන යන එක තමයි මගේ විදිහ. නිර්මාණ පැත්තෙන් ගත්තොත් ලස්සන වැඩ ටිකක් එන්න තියෙනවා. මගේ ලොකුම හීනය කවදා හරි සම්මානිත රංගන ශිල්පිනියක් වෙන එක. ඒ ගමනට අවශ්‍ය දේ මේ මොහොතේ ඉඳන්ම හදාගෙන යන එක තමයි මම කරන්නේ.