මේ දිනවල පුංචි තිරයෙන් දක්නට ලැබෙන ‘මන්දෝරි’ ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ .මන්දෝරිට ජීවය දෙන ඩිලූෂි හංසිකාට එය අලුත්ම අත්දැකීමක් බව ඇය අප හා පැවසුවා . ඩිලූෂි හංසිකා රසඳුන සමඟ මෙසේ එක්වුණා..
මේ දිනවල අප දකින ‘තත්පර 60’ හි මන්දෝරි ගැන කීවොත්?
මන්දෝරි කියන්නේ මට රඟපාන්න ලැබුණු හරි විශේෂ චරිතයක්. අසනීප වුණු චරිතයක් කරනවා කියන්නේ ටිකක් වෙනස් අත්දැකීමක් . ඒ ගැන කියද්දිම මම ටිකක් බයවුණා. ඒ අත්දැකීම් ප්‍රේක්ෂකයාට හොඳ විදිහට අරන් එන්න ලැබුණු ‘චාන්ස් එකක්‘ මන්දෝරි චරිතය .
කොහොමද මේ සඳහා ආරාධනා ලැබුණේ?
ලසිත කාරියවසම් අයියා තමයි මට මන්දෝරි චරිතයට ආරාධනා කළේ. මං ගැන ලසිත අයියට කියලා තියෙන්නේ ආශා අක්කා. ඇයටත් ස්තුතිවන්ත වෙනවා .
මේ චරිතය ප්‍රේක්ෂකයාට දෙන්න ඔබ කොහොමද උත්සාහ කරන්නේ?
මේ චරිතය තරමක් වෙනස් නිසා ප්‍රේක්ෂකයන්ටත් හොඳම දේ දෙන්න මම උත්සාහ කරනවා .මම නිතරම අධ්‍යක්ෂත් එක්ක චරිතය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා.
‘රොකී ටෙලි නාට්‍යයේ ‘නේහා’ත් ජනප්‍රියයි නේද ? කොහොමද ඔබට’නේහා’ දැනෙන්නේ ?
මම යම් රාමුවක තමයි හිටියේ. ඒ රාමුවෙන් පිටතට ඇවිත් වැඩ කරන්න ලැබුණු මුල්ම අවස්ථාව තමයි ‘රොකී’ ටෙලි නාට්‍යයේ නේහා චරිතය. මෙහිදී කලින් මුණනොගැසුණු අතිදක්ෂ නළුනිළි පිරිසක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් අපට හමුවුණා. නේහාගේ කතාව හරි වෙනස්. මටසිළුටු, ළාමක තරුණියකගේ චරිතයේ ඉඳලා පසුකාලීනව ස්වාමිපුරුෂයා නැතිවුණු කාන්තාවගේ චරිතය දක්වා වෙනස් වී විහිදී යන චරිතයක්. ඒ චරිතය වෙනස්ම ලෙස මට රඟපාන්න හැකි වුණා කියලා හිතනවා .
නේහා සහ මන්දෝරි යන චරිත දෙක අතරින් ඔබ වඩාත්ම කැමැති චරිතය මොකක්ද?
මම මේ චරිත දෙකටම කැමැතියි. ඒත් මට සිතෙනවා මන්දෝරි චරිතයට මම මහන්සි විය යුතුයි කියලා. නේහා තුළ මට තිබුණේ සෑම මොහොතකම මම විදිහට ඉන්න. එතන කාන්තා ලක්ෂණ පෙන්වීමක් තිබුණේ. මන්දෝරි චරිතය තුළ ඒ අසනීප තත්ත්වයත්, මානසික පීඩනයත් සමඟ කොහොමද ගෑනු ළමයෙක් වෙනස් වෙන්නේ කියන එක තිබුණා. ඒ චරිතයේ මට අධ්‍යයනය කළ යුතු දේ තියෙනවා.
රඟපෑ චරිතවලින් වඩාත් කතාබහට ලක් වූ චරිතය ගැන කිව්වොත්?
ඔව් මම කරපු චරිතවලින් ගොඩාක් අය තවමත් මතක් කරනවා මගේ පළවැනි චරිතය වූ ‘ධරණී’ ටෙලි නාට්‍යයේ ‘විනුරි’ ගේ චරිතය . ඒක මගේ වාසනාවට ලැබුණු චරිතයක් කියා සිතනවා .
චරිතයක් භාර ගනිද්දි සලකා බලන කරුණු මොනවාද?
මුලින්ම මට අදාළ නිර්මාණයට කතා කරන කෙනා සහ ඒ කතා කරන විදිය අනුව තමයි මම මුළු නිර්මාණය ගැනම සිතන්නේ . මම ලේසියෙන් කල්පනා නොකර නිර්මාණවලට කැමැති වෙන්නේ නෑ. මගේ අත්දැකීම් අලුත් කරන්න පුළුවන්, දන්න දේට වඩා දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්, වෙනස් අයත් එක්ක වැඩ කරන්න පුළුවන් හොඳ නිර්මාණ ලැබෙනවාට මම කැමැතියි.
මේ දිනවල දායක වන අනෙක් නිර්මාණ ගැනත් කිව්වොත්?
මේ දිනවල මම කලින් නොකරපු විශේෂ චරිතයක් කරනවා, දැනට ඒ ගැන මම නොකියා ඉන්නම්. මමවත් ඒ විදිහට මාව දැකලා නැති චරිතයක් මම එහි කරන්නේ. ඒක මාරම වෙනස් අත්දැකීමක්
කැමරාවට මුහුණ දුන් මුල්ම දවස ගැන මතක් කළොත්?
මට කැමරාව කියන දේ ලොකු , භයානක අත්දැකීමක් වෙලා නැහැ. පාසල් කාලයේත් ඉන්පසුවත් විවිධ කලා කටයුතුවලට මම දායක වෙලා තිබෙන නිසා කැමරාව ගැන ලොකු විශේෂිත බවක් තිබුණේ නැහැ . ‘ධරණි’ ටෙලි නාට්‍යයට අපිව තෝරා ගත්තේ තිර පරීක්ෂණයකින්. එදා හැමෝම මා දිහා බලා සිටියා, හැමෝම ඉන්න තැන දෙබස් කියලා පෙන්වන්න වුණා. ඒ අත්දැකීම මට මෙහිදී සිහි වෙනවා
ක්ෂේත්‍රයේ නවකයන්ට නොයෙක් විවේචන, කටකතා හැදෙනවා ඒ ගැන මොකද හිතෙන්නේ?
එක එක දේ එක එක අය අයට හිතෙන්න පුළුවන්. සමස්තයක් ලෙස මිනිස්සු හැමෝටම තියෙනවා කාටවත් නැති කතාවක්. නැත්නම් ජීවිතයේ අඳුරු කොටසක්. ඒවා එළියේ අය දැනගන්නවට කම්පාවීම්, සිත් රිදීම් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට වඩා නළුවකුට නිළියකට යම් දෙයක් වුණාම ඒක ඉස්මතු වෙනවා වැඩියි, කතා වෙනවා වැඩියි. ඒකයි එතැන වෙන්නේ. අඩුපාඩු නැති අය කවුරුත් මේ ලෝකේ නැහැනේ, මේ වැඩ නිසා සමහරුන්ගේ චරිත ඝාතනය වෙන අවස්ථාත් තියෙනවා. ඒවා මිනිස් සිතුවිලිත් එක්ක වෙන දෙයක්නේ. ඒවා වෙනස් කරන්න, වළක්වන්න අපට අමාරුයි. ඇතුළතින් හා පිටතින් හොඳ විදිහට ජීවත් වෙනවා නම් විවේචන සහ කටකතා හැදෙනවා අඩුයි.
චිත්‍රපටවලට දායකත්වය කොහොමද ?
ඇත්තම කතා කරනවා නම් මට සිනමාවේ චරිතවල නොගැළපීම් තියෙනවා, ඒ වගේම සිනමාපටය තුළ ඇතුළත් සිදුවීම්, ජවනිකා නිසාත් ගෙවීම් ප්‍රශ්න නිසාත් ඒවා මම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉදිරියේදී අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න නියමිතයි.
රංගනයට අමතර වෙනත් රැකියාවකුත් කරනවද?
මෝස්තර නිරූපිකාවක් සහ වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත් වැඩ කරනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරයකුත් කරගෙන යනවා .
විවාහය ළඟදිම සිදුවන බව ආරංචියි?
මම විවාහය ගිවිසගෙන ඉන්නේ. ඉක්මනින්ම අපේ විවාහය ගන්න තීරණය කරලා තියෙන්නෙ.
අනාගත බලාපොරොත්තු ගැනත් කෙටියෙන් කිව්වොත්..
කලා දිවිය තුළ හොඳින් ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. සිතේ සැනසීමෙන් ඉන්න තියෙනවා නම් ඒක තමයි ලොකුම බලාපොරොත්තුව වෙන්නෙ.