ලොකුම සම්මානය ජනතා ආකර්ෂණයයි -හර්ෂ උඩකන්ද

gossiplanka image 1
 


ඉකුත්දා ඉන්දියාවේ පැවති ‘Pride Of Nation ‘ සම්මාන උලෙළේදී ‘Script Writer and Most Talented young Film and Television Director’ සම්මානයෙන් මෙරට තරුණ අධ්‍යක්ෂවරයකු වන හර්ෂ උඩකන්ද පිදුම් ලැබීය. විදෙස් රටකින් ලද සම්මානය ගැනත්, නවතම නිර්මාණ කාර්යය ගැනත් කතා කිරීමට ඔහු මෙසේ ‘රසඳුන’ හා එක්විය.


‘Pride Of Nation’ කියන සම්මාන උලෙළ ඉන්දියාවෙන් සංවිධානය කරන්නේ. එය සෑම වසරකම පැවැත්වෙනවා. සම්මාන උලෙළ රටවල් 21ක් පමණ නියෝජනය කරනවා. රටවල් 21ක් අතරින් තමයි මෙවර ‘Script Writer and Most Talented young film and Television Director’ සම්මානය ලැබුණේ. ඉන්දියාව වගේ රටකින් ලංකාවේ අය ඇගයීම ගැන සතුටුයි. රටවල් 21ම නියෝජනය කරන පිරිස් ඇවිත් හිටියා. මට විදෙස් රටකින් ලැබුණු මුල්ම ඇගයීමත් මේකයි. සම්මානය ගන්න වෙලාවේ වයිෆ් හිටියනම් කියලා හිතුණා. ඇයට මේ සඳහා එන්න බැරිවුණා. සීමිත ආරාධනා පත් ප්‍රමාණයක් විතරයි තිබ්බේ. මෙවැනි සම්මානයකින් ඇගයීම කලාකරුවකුට ලැබෙන ශක්තියක්. සම්මානයක් ලැබුණම නිර්මාණකරුවන් පරිස්සම් වෙනවා කොහොමද ඉදිරියේදී නිර්මාණ කරන්නේ කියලා. එතැනදී නිර්මාණකරුවකුට ලොකු වගකීමක් තියෙනවා. ඒ බර දැන් මටත් දැනෙනවා. සම්මානය ලැබීමත් එක්ක මට හැකිවුණා දකුණු ඉන්දීය ශිල්පීන් සමඟ මගේ සුහදත්වය ගොඩනඟාගන්න. ඔවුන් එක්ක කොහොමද සිනමාවේ කටයුතු කරන්නේ සහ ඔවුන්ගේ සහ අපේ සිනමාව ගැන කතා කරන්නත් මෙයින් මට අවස්ථාව ලැබුණා.”


සම්මානය සමඟ හර්ෂට ලැබුණු සුබපැතුම් ගැන ද කීමට ඔහු අමතක කළේ නැහැ.


‘විවිධ අය මට සුබපැතුම් එක්කර තිබුණා. ඔවුන්ට බොහෝම ස්තුතියි. ප්‍රේක්ෂක ආදරය සියල්ලට යටයි. මේ සෑමදෙයක්ම ලැබෙන්න හේතුවත් ප්‍රේක්ෂකයා. ඔවුන් තමයි කලාකරුවකුගේ නියම සම්මානය.’


හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ නවතම ටෙලිනාට්‍යය වන ‘මං ආදරෙයි’ පසුගිය සතියේ සිට විකාශය ඇරඹිණි.


‘මං ආදරෙයි’ කියන්නේ මගේ 6 වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. චිත්‍රපටයකටත් වඩා අපි මේ සඳහා මහන්සි වුණා. මේක යම් ප්‍රමිතිගත ටෙලිනාට්‍යයක් බවට පත්කරන්න දෙරණ නාළිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාටත් අවශ්‍යතාව තිබ්බා. මේ ටෙලිනාට්‍යය පිටපත අංගසම්පූර්ණයි. මුල, මැද, අග ලස්සනට ගෙතී තියෙනවා. සිනමානුරූපී ආකාරයට, මෙයට සිනමාරූපී හැඩයක් දෙන්න අපි උත්සාහ කළා. ටෙලිනාට්‍යයට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ”


මෙහි තිර පිටපත හර්ෂගේමය. ඒ ගැන ඔහු කීවේ මෙවැනි කතාවකි.


” මගේ නිර්මාණවල තිර පිටපත් ලියන්නේ මම. ඒත් කාර්යබහුලත්වය එක්ක ඒක කරගන්න බැරිවුණා මෙහිදී. මම පාසල් කාලයේ ඉඳන්ම ලියන්න දක්ෂයි. ඒ නිසා මට හිතුණා මේ ටෙලිනාට්‍යයත් මමම ලියන්න ඕනේ කියලා. මම තව සහායිකාවකුත් ඒකට යොදාගත්තා. කතාව මුල, මැද, අග ගැළපුවා. මේකේ ‘කාස්ට්‘ එක තෝරාගන්නත් සෑහෙන්න වෙහෙසුණා. මේ චරිතවලට හරියටම ගැළපෙන කෙනා යොදාගන්න අවශ්‍ය වුණා. ඒකත් අපට අභියෝගයක් වුණා. අවශ්‍යම කෙනා හමුවූ පසුවයි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණයට පෙලඹුණේ. ඒ වගේම අලුත් අයට අවස්ථාවක් දෙන්නත් අවශ්‍ය වුණා. නවක පිරිස් බොහෝමයක් ‘මං ආදරෙයි: හරහා ටෙලි ප්‍රේක්ෂකාගාරය අමතනවා. ” ටෙලිනාට්‍යය සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරත් නොඅඩුව ලැබෙන බව හර්ෂ මෙහිදී සිහිපත් කළේය.


” රූපවාහිනී වගේම සිනමා ප්‍රේක්ෂකයන්ගෙනුත් ලොකු ආකර්ෂණයක්, ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. පසුගියදා රිදී තිරයේ මෙහි පූර්ව ප්‍රචාරක පටය තිරගත කළා. එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම හිතුවේ මේක චිත්‍රපටයක් කියලා. සමහරු ඇහුවා චිත්‍රපටයකට කළ දෙයක් ද මේ ටෙලිනාට්‍යයකින් පෙන්වන්නේ කියලා. ” හර්ෂ උඩකන්ද මෙරටේදී කිහිපවරක් සම්මානිත විය.


” ලංකාවේදී මට සම්මාන කිහිපයක්ම ලැබුණා. කෙටි චිත්‍රපට සඳහාත්, උපහාර සම්මාන, ගෞරව නාම ආදී සම්මානත් ලැබී තියෙනවා. ඒ සියල්ල මගේ සම්මාන රාක්කයේ තිබෙනවා. ඒවායින් වැජඹෙන්න මම උත්සාහ කළේ නැහැ. මට ලැබුණු ලොකුම සම්මානය ජනතා ආකර්ෂණයයි. ඒක අධ්‍යක්ෂවරයකුට ලැබෙන්නේ නැති සම්මානයක්.”


අධ්‍යක්ෂණයට අමතරව වෙනත් ව්‍යාපාර කිහිපයක ද හිමිකාරීත්වය හර්ෂ උඩකන්ද සතුය.


” අධ්‍යක්ෂණය කියන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. මට ව්‍යාපාර කිහිපයක් තියෙනවා. මැණික් වෙළෙඳාම එකක්, නිෂ්පාදන ආයතනයක් මගේ තියෙනවා. විවිධ ව්‍යාපාර කිහිපයක්ම කරගෙන යනවා. නිර්මාණකරණයට මම කෑදරයි. කලා ක්ෂේත්‍රය තුළත් ව්‍යාපාර කිහිපයක් තිබෙනවා’


අධ්‍යක්ෂ භූමිකාව තුළ ඉදිරි සැලසුම් පිළිබඳ කියන්නට ද ඔහු අමතක නොකළේය.


” ටෙලිනාට්‍යයක තිර රචනයක් ලියමින් ඉන්නේ. ‘මං ආදරෙයි ෂූටින්‘ නිසා තිර රචනය හෙමීට සකසනවා. චිත්‍රපටයකටත් තිර රචනයක් ලියමින් ඉන්නේ. ලියූ තිර රචනාත් තුන හතරක්ම තියෙනවා. ඊට කලින් කළ යුතු චිත්‍රපටයක් මගේ ඔළුවේ තිබෙනවා. එය ලබන වසරේ මුලදී ආරම්භ වේවි.

gossiplanka image 2
Previous Post Next Post