කලාව ගැන නොදන්න අය කලාව පාලනය කරන්න යෑමෙන් අර්බුද මතු වෙලා-පාලිත සිල්වා

gossiplanka image 2
 


ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ රංගන පාසලෙන් රංගනය හදාරමින් වෘත්තීය කලා ජීවිතය ආරම්භ කළ පාලිත සිල්වා රංගවේදියකු පමණක් නොව අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක්, කතුවරයෙක් සේ ම නිෂ්පාදකවරයෙක් ද වන්නේ ය.


1987 දී ඩැනී ඩබ්ලිව්. පතිරණ අධ්‍යක්ෂණය කළ ‘කවුළුව‘ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසි පාලිත ‘ද ලාස්ට් චාන්ස්‘ චිත්‍රපටයේ රඟපෑමෙන් සහ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ චරිතය චිත්‍රපටයට නඟමින් ධර්මපාල ශ්‍රීමතාණන්ගේ චරිතයට පණ පෙවීමෙන් ඔහු බෙහෙවින් ජනප්‍රිය විය.


ආර්ට් මලික්, මයිකල් වුඩ්ස් සහ ආතර් ඩිග්නම් රංගනයෙන් දායක වූ ජාත්‍යන්තර චිත්‍රපටයක් වන ‘ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා‘ චිත්‍රපටයේ ද රඟපෑ පාලිත බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තරුණ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වැඩමුළු අධ්‍යක්ෂ ලෙසද සේවය කළේ ය.


පාලිත සිල්වා නොහොත් මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන පාට කුරුල්ලෝහි ‘ග්ලෙන් ඩි ෆොන්සේකා‘ රසඳුනට මෙසේ එක්වුණා.


“අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ඇත්තට ම මම හිතපු නැති තරම් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ඒ චරිතය නිසා මට ලොකු ආදරයක්, පිළිගැනීමක්, ගරුත්වයක් සමාජයෙන් ලැබුණා. බොහෝ අය අගය කළා. ඒ චරිත රංගනය නිසාම ශ්‍රී ලංකාවේ බුදු දහම වෙනුවෙන් කළ සේවය අගයමින් ‘මානව හිතවාදී කීර්ති ශ්‍රී වීරපුත්‍ර දේශබන්දු’ යන ගෞරව නාමයත් මට හිමි වුණා.


2021 ජූලි මාසයේදී ‘කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ යන ගෞරව නාමයත් මට හිමි වුණා. මේ දවස්වල ධනංජය කරුණාරත්නගේ ‘සිහින රඟහල’ නමැති කෙටි නාට්‍ය මාලාවේ ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්’ සහ සුනිල් ශ්‍රී ගේ ‘හොරු තමයි මරු’ නාට්‍යවල රඟපානවා. ගුවන්විදුලියේ ‘මුවන්පැලැස්ස’ නාට්‍යයේ කදිරාගේ චරිතයත් රඟපානවා. මගේ ම කියලා නිර්මාණයක් කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා බරපැන දරන්න පුළුවන් කෙනෙක් සොයමින් ඉන්නවා. නාට්‍ය වැඩමුළු කරනවා. විවිධ අවස්ථාවන්වල නාට්‍ය තරග විනිශ්චය වැනි දේවලටත් සහභාගි වෙනවා. වැඩමුළු පවත්වනවා. “පාට කුරුල්ලෝ” මේ දවස්ලවල ප්‍රේක්ෂකයන් වැඩිපුර නරඹනවා. ඒ වගේ ම ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ක්‍රිකට් පුහුණුකරුගේ චරිතය නිසා මට මේ දවස්වල බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. මම කාලයක් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් එක්ක මගේ තිබෙන බැඳීම මේ චරිතය සාර්ථක වීමට තවත් හේතුවක් වෙන්න ඇති.


මීට අමතර ව ‘චංචල රේඛා’ නමින් නාට්‍යයක් වැඩි ප්‍රතිචාර සමඟ ප්‍රචාරය වෙනවා. සරත් ධර්මසිරිගේ ‘කඩහපොළ උන්නාන්සේ’ චිත්‍රපටයේ ‘කොබ්බෑකඩුව නිලමේ’ ලෙස පසුගිය දිනවල රඟපෑවා. ඒ චරිතය වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන රජිව් සිවදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් ‘ඇය’ නමින් කළ චිත්‍රපටයේ දක්ෂ පොලිස් නිලධාරියෙකු ලෙස රඟපෑවා. එරංග සේනාරත්නගේ ‘ඔස්කා’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා. විවිධ චරිත මට ලබා දීම ගැන මම අධ්‍යක්ෂවරුන්ට ස්තුතිවන්ත වෙනවා.’


පාලිත සිල්වා පළමු වරට රංගනයට යොමු වන්නේ පාසල් වියේදී, එනම් වයස අවුරුදු 15 දීයි. පාසල් වේදිකාවේ “වාරු ඇත්තෝ – දෙනෙත් ලද්දෝ” හා රඟපාමින් වේදිකා රංගනයට පිවිසි පාලිත සිල්වා පසු කලෙක නිහාල් සිල්වා සමග ‘සාජන්ට් නල්ලතම්බි’ හි රඟපෑමෙන්ද ප්‍රසිද්ධියක් ලැබුවේ ය. හෙලේනා ලෙහ්ටිමාකිගේ අධ්‍යක්ෂණය යටතේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ පුන්තිලා සහ ඔහුගේ මැටි මිනිසා සහ විලියම් ෂේක්ස්පියර්ගේ මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම්ස් යන නාට්‍යවල රඟපෑම පිළිබඳ හදාරමින් රඟපෑමට අවස්ථාව ලද ඔහු 1988 දී, සැමුවෙල් බෙකට්ගේ වේටින් ෆෝ ගොඩොට් නිෂ්පාදනයක එස්ට්‍රගන් චරිතය රඟපෑම වෙනුවෙන් ජාතික රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වූයේ ය. 1994 දී, කැස්පා වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා සම්මානය ද “බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු” නමින් ඔහු මුලින් ම අධ්‍යක්ෂණය කළ නාට්‍ය 1984 දී ජාතික යොවුන් නාට්‍ය සම්මාන ද දිනා ගත්තේ ය. ඔහු “සර්කස් කාරයෝ” නාට්‍ය අධ්‍යක්ෂණය කළේ 2012දී ය. 1998 දී ඔහු අධ්‍යක්ෂණය කළ “අමුත්තෙක් ඇවිත්” ටෙලි චිත්‍රපටය 2000දී සම්මාන දිනුවේ ය. “ඉඳුරු දොර”, “දුර්ගාන්තය” නිර්මාණවල රංගනය වෙනුවෙන් හොඳ ම රංග ශිල්පියා ලෙස නිර්දේශ වූ අතර “ගමට අමුත්තෙක් ඇවිත්” වේදිකා නාට්‍ය හොඳ ම රංගනය සහ හොඳ ම ඒකාංගික නාට්‍ය අධ්‍යක්ෂ ලෙස පාලිත සිල්වා සම්මාන දිනා ගත්තේ ය.


“1987දී ලංකාවට ආව විදේශීය චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් කළ චිත්‍රපටයක පොඩි චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයෙදි මට ලෝකප්‍රකට විදේශීය නළුවො තුන්දෙනෙකුත් එක්ක රඟපාන්න ලැබුණා. මං එතකොට ගොඩක් පොඩියි. එංගලන්තයට ගිහින් රඟපෑම ගැන හොඳට ඉගෙන ගන්න කියලා ඒ චිත්‍රපටයේ රඟපෑ විදේශ නළු නිළියෝ මට කිව්වා. ඒ මඟපෙන්වීම එයාලා මගේ සිතේ ලොකු උනන්දුවක් ඇති වන ආකාරයට ම කළා. මම බ්‍රිතාන්‍ය කවුන්සිලයට යොමු වෙලා ඉංග්‍රීසි භාෂා දැනුම හදා ගත්තා. බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා විදේශීය නාට්‍ය ශිල්පීන් රාශියක් මට මුණගැහුණා. බ්‍රිතාන්‍ය සහ ජර්මානු නාට්‍යකරුවන් සමඟ වැඩ කරන්න මට ලැබුණා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තරුණ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වැඩමුළු අධ්‍යක්ෂ ලෙස සේවය කරන්නත් මට අවස්ථාව උදා වුණා. එංගලන්තයට යන්න අවශ්‍ය වුණෙත් නෑ.


ආචාර්ය සාලමන් ෆොන්සේකා සහ වෙනත් විවිධ රටවල නාට්‍යකරුවන් සමඟ දිගට ම වැඩ කළා. ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයට ඇතුළත් වෙලා සිනමාව සම්බන්ධයෙන් හැදෑරීම් කළා. ඊට පස්සේ මම ටෙලි චිත්‍රපටයක් හැටියට නිර්මාණය කළ “අපේ ගමට අමුත්තෙක් ඇවිත්” කියන නිර්මාණය හොඳ ම කෙටි ටෙලි නාට්‍ය හැටියට සම්මාන දිනා ගත්තා. ජර්මනියේ ඉන්න හොඳ ම අධ්‍යක්ෂවරු දහදෙනාගෙන් කෙනෙක් අධ්‍යක්ෂණය කළ “කස්පාර්” කියලා වේදිකා නාට්‍යයක මම රඟපෑවා. ඒ සම්පූර්ණ නාට්‍යම ජර්මනියේ සංරක්ෂණය කරලා තියෙනවා. ඒක මට ලොකු සතුටක් වගේ ම ආඩම්බරයක්.”


සෙකියුරිටි සින්නතම්බි, සිහින දේශයෙන්, කැලණි පාළම, සිහින රඟහල ආදි නාට්‍ය සේම අභිසමය, අද අද එයි මරු, ආදරණීය අම්මා, අහසින් වැටුණු ගැහැණියක්, අඹු දරුවෝ, අපූරු සහෝදරයෝ, අසංවර වැස්ස, චන්ද්‍ර වින්සති, දඹුලුගල සක්මන, දේදුනු සිහින, දිය සෙවණැලි, දිය සුළිය, දුර්ඝාන්තය, එක ඉත්තක මල්, ගඟ අද්දර කැලේ, ගොළු හදවත, කඩුපුල් මල්, මඟුල් සක්වල, මාණික්‍කාවත, මීදුම, නිදිකුම්බා මල්, පිණිවැස්ස, රන් පෝරුව, සමනලයෝ, සඳ සඳ වගේ, සිකුරු උදානය, සිසිල ඉම, සිටු ගෙදර, සිව්සිය ගව්ව, සුදු කළුවර, කීටයා, සුසීමා, වනවදුලේ වසන්තය, යුග විලක්කුව ආදී වශයෙන් වූ ටෙලි නාට්‍ය ගණනාවක ද ඔහු රඟපෑවේ ය. බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ පාලිත පාසල් ගමනටත් වඩා වැඩි ඇල්මක් දැක්වූයේ දහම් පාසල් ගමනට ය. ඊට හේතුව වයස අවුරුදු දහයේ පටන් ඔහු සිත් ගත් මිතුරිය වූ නාමලී ද එම දහම් පාසලේ ම සිටි නිසා ය. ගල්කිස්ස ධම්මෝදය දහම් පාසලේ සිටි ඇය පසුව ලන්ඩනයේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණ උපාධියක් හිමි කරගත් අතර රක්ෂණ ආයතනයක අලෙවි අංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධිකාරිවරිය පමණක් නොව පාලිත සිල්වාගේ සහකාරිය බවට ද පත් වූවා ය. මේ දෙදෙනාට දියණියන් දෙදෙනෙකි. ඔවුහු උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ව සිටිති.


“පවුලක් හැටියට අපේ බැඳීම කාර්ය බහුල ජීවිතය නිසා කවදාවත් අපි දුරස් කරගත්තේ නැහැ. අද කලා නිර්මාණකරණය වෙළෙන්දන්ට සම්පූර්ණයෙන් ම පාලනය කරන්න දීලා තියෙන එක ගැන නම් පුදුමාකාර කනගාටුවක් තියෙනවා. කලාව ගැන දැනුමක් නැති අය කලාව පාලනය කරන්න ගියාම එතැන ලොකු අර්බුදයක් ඇති වෙනවා. නිර්මාණයක් මාර්කට් කරලා ආදායම හොයන එකයි, නිර්මාණය කිරීම යි දෙපැත්තක් නිසා හොඳ නිර්මාණයකට ප්‍රබල ප්‍රචාරණයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ දේ ඉතා තදින් සමාජගත වෙනවා. ඒ සඳහා නිෂ්පාදකවරු සොයන්න ලොකු වෙහෙසක් දරන්න සිදු වෙලා තියෙනවා.


සිනමා පාසල්වල ඉගෙන ගත්තත් හොඳ නිෂ්පාදකයෙක් හොයාගන්න විදිහ ඉගෙන ගන්න මට බැරි වුණා. දක්ෂ අධ්‍යක්ෂවරු නිර්මාණයක් කරන්න නිෂ්පාදකවරු සොයමින් ඉන්න අතරේ නිෂ්පාදකයෙක් ව සොයා ගන්න දක්ෂ වන පුද්ගලයා අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙලා සම්මානත් දිනනවා. දක්ෂ අධ්‍යක්ෂවරු ඒ දෙස බලා අත්පොළසන් දෙනවා. ‘කලාවට ගිය කලක්’ කියා සිතමින් අපි කනගාටු වෙනවා.”

gossiplanka image 1
Previous Post Next Post