බෙල්ලන්විල පන්සල ළඟ හිඟන්නොත් එක්ක බත් කෑවා කවුරුත් දන්නෙ නෑ රඟපෑමක් කියලා -ශ්‍රියන්ත මෙන්ඩිස්

gossiplanka image 1
 

පට්… පට්.. ගාල සම්තිං හොයා ගන්න පුළුවන්’ දශක තුනකට පමණ පෙර අපේ සමාජයේ බොහෝ දෙනා අතර නිතර මුවඟ රැවුදුන් ඒ කියමනේ සැබෑ උරුමකරුවා සොයා අපි ගියෙමු. පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේනගේ චරිතයෙන් එදා ඔහු දැක්වූ තාත්වික රඟපෑම අපට අදටත් හොඳින් මතකය. සිරිල් වික්‍රමගේ සමඟ ගොස් නිධානයක් ගොඩ ගන්නට කළ තාත්ත්වික රඟපෑම එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂක මතකයේ ඇත්තේ එබැවිනි.


ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස් නම් අසහාය කලාකරුවාය. ඔහුගේ කලා දිවියට අඩසිය වසක් පිරීම නිමිත්තෙන් පසුගියදා ඇගැයීම් උලෙළක් සංවිධානය කර තිබුණේ ඔහුගේ ජන්ම දිනය හා විවාහ සංවත්සරය ද පාදක කරගෙනය. ‘ශ්‍රියන්ත අඩසිය වසක රංග යාත්‍රිකයා‘ නමින් ඔහුගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීම ද උලෙළේ සුවිශේෂත්වය ඉහළ නංවන්නක් විය. මෙම සුවිශේෂී ඇගැයීම් උලෙළ සංවිධානය කර තිබුණේ ඔහුගේ ආදරණීය බිරිඳ කුසුම් රේණූ සහ ඔහුගේ සමීපතමයන් පිරිසකි.


1975 වසරේ දී සේනක පෙරේරාගේ ‘ඉල්ලිස‘ සහ ජී. එල්. චන්ද්‍රපාලගේ ‘සතුරෝ‘ වේදිකා නිර්මාණ ඔස්සේ කලාවට පිවිසි ශ්‍රියන්ත ධම්ම ජාගොඩගේ පළිඟු මැණිකේ ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට පිවිසියේය. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන ත්‍රිත්වයේම දස්කම් පාමින් කලා නිර්මාණ තුන්සියයකට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී ඇති ඔහු හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථා රැසකි. අඩ සියවසක් ගෙවා ආ මඟ දෙස ආපසු හැරී බලන්නට අපි ඔහුට ආරාධනා කළෙමු.


කලාකරුවකුගේ කලා දිවියට අඩසිය වසක් පිරෙනවා කියන්නේ සුවිශේෂී සංධිස්ථානයක්. පසුගියදා ඔබටත් ඒ අවස්ථාව උදාවුණා. ඒ දවස ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඔව්. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන මාධ්‍ය ත්‍රිත්වයම ගත්තොත් මං මේ වෙද්දි නිර්මාණ තුන්සියයකට ආසන්නව දායක වෙලා ඇති. මේ ඉතිහාසය මේ තරම් දීර්ඝ කාලයක් කියන එක තේරුණේ නැහැ. මගේ බිරිඳ කුසුම් තමයි මේකට මුල් වුණේ. මං හිතාගෙන හිටියේ නාට්‍යයක් පෙන්නලා යාළුවොත් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න. නමුත් ඒක ඊට වඩා පුළුල් ක්‍රියාවලියක් බවට පත්වුණා. පසුගිය 25 වැනිදා කොළඹ එල්ෆින්ස්ටන් රංග ශාලාව අටසියයක් පමණ සහෘදයන්ගෙන් පිරී ඉතිරී ගියා. කුසුම් තමයි මිත්‍රයෝ කණ්ඩායමක් එක්ක එකතු වෙලා මේ දැවැන්ත උත්සවය සංවිධානය කළේ.


පනස් වසරක ඇගැයීම පිටුපස තවත් සුවිශේෂී කාරණා රැසක් තිබුණා නේද?


ඔව් ඔව්, හරියටම මගේ උපන්දිනය යෙදිල තිබුණෙත් එදාමයි. ඒ වගේම අපේ විවාහ සංවත්සරයත් එදා. ඒ හේතු කාරණා එක්ක තවත් සුවිශේෂී කාරණයක් සිදුවුණා. සහෝදර මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න විසින් සංස්කරණය කරන ලද මගේ ජීවිත කතාව ඇතුළත් ‘ශ්‍රියන්ත අඩසිය වසක රංග යාත්‍රිකයා‘ ග්‍රන්ථය ජනගත කිරීමත් සිදුවුණා. ඒ වගේම මං මුලින්ම චිත්‍රපටයක් නරඹලා තිබුණෙත් එදා වගේ දවසක. මේ සියලු කරුණු කාරණා එක්ක එදා දවස මට ගොඩක් සුවිශේෂී වුණා.


‘ශ්‍රියන්ත අඩසිය වසක රංගයාත්‍රිකයා‘ ග්‍රන්ථය පිරිනැමුණු ආකාරයේත් විශේෂත්වයක් තිබුණා?


ඔව්. තවමත් මම යාත්‍රා කරනවා එහෙම නැත්නම් රංගනයේ යෙදෙනවා කියන අර්ථය ඒ පොතේ නම ඇතුළෙම තියෙනවා. එය සනිටුහන් කිරීමේ අරමුණෙන් එදා මං රාස්ස පරාස්ස නාට්‍යයේ කොටසක් රඟදැක්වුවා. මං ඒ නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු 46ක්. කාන්තාවන් තිදෙනෙකුට මුලින්ම පොත පිළිගැන්වීමත් සුවිශේෂී අවස්ථාවක්. එක්කෙනෙක් මාව මේ කලා ලෝකයට ඇතුළු කරලා මට මේ ගමන යන්න දොරටු විවර කරපු සේනක පෙරේරාගේ බිරිඳ යමුනා මාලිනී පෙරේරා. දෙවැනියා නන්දනී දන්දෙණිය. මං දායක වුණු පළමු වේදිකා නාට්‍ය රාස්ස පරාස්ස රචනා කළ රෝහණ දන්දෙණියගේ බිරිඳ. තෙවැනියා සයිමන් නවගත්තේගමගේ බිරිඳ මල්ලිකා නවගත්තේගම. ඇයට ඒ අවස්ථාව දෙන්න හේතුව වුණේ මම මුලින්ම බලපු නාට්‍ය ‘සුබ සහ යස‘ නාට්‍ය නිර්මාණය කළේ ඔහු වීම. ඒක බලලා තමයි රඟපාන්න ආස හිතිලා කලාවට බද්ධ වුණේ. ඒ බද්ධ වීම තමයි මට මේ තාක් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. කෘතගුණ සැලකීම තමයි හේතු කාරණය වුණේ. ඊට අමතරව ප්‍රවීණයා සහ නවීනයා විදිහට තවත් විශේෂ දෙදෙනකුට පොත පිරිනැමුවා. ප්‍රවීණයා රවීන්ද්‍ර රන්දෙණිය සහ නවීනයා මේඝ සුරියආරච්චි.


එදින ඔබේ පිළිරුවක් නිරාවරණය වීමත් සිදුවුණා. ඔක්තෝබර් 25 කියන්නෙ ඔබට අමතක නොවන දිනයක් බවට පත්වුණා නේද?


ඔව්. ඒක මගේ වැක්ස් පිළිරුවක්. අතුල හේරත් කියන කලාකරුවාගේ නිර්මාණයක්. එය තව නොබෝ දිනකින් කොළඹ වැක්ස් කෞතුකාගාරයේ තැන්පත් කරන බව කිව්වා. එදින එය නිරාවරණය වීමත් සිදුවුණා. මගේ යාළුවෙක් කිව්ව විදිහට ඒක තමයි ලංකා ඉතිහාසයේ මෙතෙක් ඔහු දැක්ක විශාලම උපන්දින සාදය. එදා මගේ උපන්දිනයට සුබ පතන්න දිගු පෝලිමක් තිබුණා. එදා තමයි මගේ ජීවිතේට වැඩිම සුබ පැතුම් ගලා ආව දවස. මේ සියල්ලම ගත්තහම මනුස්සයෙකුට මෙහෙම අවස්ථා උදාවෙනවා අඩුයි. ඉතින් ඒ දවස කොහොම අමතක කරන්නද?


පනස් වසරක් අඛණ්ඩව ජනප්‍රියත්වය රඳවාගන්නවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්. ඒ අතින් ඔබ වාසනාවන්තයි?


ඒක නම් මට හීනයක් වගේ. මම කල්පනා කළේම ප්‍රේක්ෂකයන් අපට මේ තරම්ම ආදරේද කියන එක. මොකද ජනප්‍රියත්වය රැඳෙන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාර මතනේ. මගේ පළමු ටෙලි නිර්මාණය වගේම ලංකාවේ තුන්වැනි ටෙලි නිර්මාණය වුණු පළිඟු මැණිකේ පළමු ‘එපිසෝඩ්‘ එක ක්‍රියාත්මක වෙද්දි ලැබුණු ජනප්‍රියත්වයම ඇගැයීම් උලෙළ දවසේත් ලැබුණා. පළිඟු මැණිකේහි සූරසේන බිහිවෙන්නේ අර පරාස්ස කියන නාට්‍යයේ පූර්ණක කියන යකා නිසා. මොකද ඒක දැකලා තමයි ධම්ම ජාගොඩ මහත්මයා මාව පළිඟු මැණිකේ ටෙලි නිර්මාණයට සම්බන්ධ කරගන්නේ. එහෙම බලද්දි යකෙක් බැඳගෙන යන ගමනක් මේක. ඇත්තටම යකුන්ට පුළුවන්ද මිනිස්සුන්ට මේ තරම් උදවු කරන්න කියන එක මම තේරුම් ගත්තේ මේ වැඩෙත් එක්ක තමයි.


ඔබ වේදිකාව ‘ප්‍රේමණීය දැවපලස’ කියල හඳුන්වන්න හේතුව මොකක්ද?


ඊයේ වගේම අදත් අද වගේම හෙටත් අපි රඟපානවා. මම කවදාවත් වේදිකාව අතහරින්නේ නැහැ. මට ජීවිතය ලැබුණේ, මට ආදරය ලැබුණේ, මට ධෛර්යය ලැබුණේ, මාව පරිණත කළේ, මට දැනුම දෙන්නේ මේ වේදිකාව. මට පුළුවන් තරම් දුර මම වේදිකාවත් එක්ක ගත කරනවා. මේ වෙද්දි මං ෆැන්ස දෙකේ හංසයා, සුදු සහ කළු හෙවත් වර්ණ, පාදඩ අසපුව, ගැබ්බර මිනිසා සහ මේ ළඟදී කළ දොළොස්වැනි කාමරේ ඇතුළුව වේදිකා නාට්‍ය පහක් කරලා තියෙනවා.


වේදිකාව ඔස්සේ කලාවට පිවිසීමෙන් ක්ෂේත්‍රයේ රඳා පැවැත්ම තහවුරු වෙනවද කියල ඇහුවොත්?


එතන නම් පොඩි සමාජයීය ගැටලුවක් තියෙනවා. නිවැරැදි රංග පාසලක්, රංග ඇකඩමියක්, රංග ව්‍යාපෘතියක් නැති රටක නළුවෝ වෙන්නෙ කොහොමද කියන එක ගැටලුවක්. ඕනෙම කෙනෙකුට අනුකාරකවාදියෙක් වෙන්න පුළුවන්. රඟපාන්න, දෙබස් කියන්න, මුහුණෙ ඉරියව් හදාගන්න පුළුවන්. ඒක වෙනම වැඩක්. නමුත් ජීවිතේ කියාදෙන්න බැහැ. ජීවිතේ හදාරන්න තේරෙන්නෙ නැහැ. විනය කියන එක හදාගන්න බෑ. ජීවිතෙත් කියාගෙනම එනව නම් ඒක වටිනවා. මම ජීවිතේ කියාගත්තෙ වේදිකාවෙන්. අනෙක් පැත්තෙන් මම ගණිත විද්‍යා ගුරුවරයෙක්. වේදිකාවෙන් ලැබුණු පරිචය, පන්නරය නිසා තමයි මම මේ මාධ්‍ය තුනේම සැරිසැරුවේ. මං හොඳින් ගෙදර වැඩ කළා. ඒකෙ ප්‍රතිඵල තමයි හොඳම ‘කැටගරියෙන්‘ සම්මාන විදිහට මට ලැබිල තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වසර පනහ පුරාවටම එකවිදිහටම ජනප්‍රියත්වය රඳවගෙන යන්නේ. මේක මොකක්දෝ මැජික් එකක්. අපි අපට කලින් පරපුරේ හිටිය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග වගේ ප්‍රවීණයන් අධ්‍යයනය කළා. ඒකට තමයි ඇකඩමික් කියන්නේ. ඔවුන් එක් එක් කාලවල එක් එක් ශානරවල යෙදුණු කලාකරුවන්. ඊළඟ පරපුරත් මේ අධ්‍යයනය කරන්න ඕන.


ගෙවුණු අඩසිය වස තුළ ඔබ කළ චරිත අප්‍රමාණයි. තවමත් ආසාවෙන් ඉන්න මඟහැරුණු චරිතයක් එහෙම නැද්ද?


යකාගෙන් පටන් ගත්තහම දෙවියෝ, කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ, කපුවෝ, ගම්මුලාදෑනිලා, ආරච්චිලා, චණ්ඩි, ඇමැතිවරු, ස්වාමීන් වහන්සේලා, පූජකවරු, හිඟන්නෝ, විකට චරිත, වෛද්‍යවරු, ලෙඩුන් ආදී හැම චරිතයක්ම කරලා තියෙනවා. මඟහැරුණා කියල හිතෙන එකක් නම් නැහැ. ඒ අතරේ රසවත් අත්දැකීම් ඕනතරම්. මම එක ටෙලි නිර්මාණයක හිඟන්නෙකුට රඟපෑවා. ඒ විදිහටම මාව මේකප් කරලා බෙල්ලන්විල පන්සල ළඟ හිඟන්නො ගොඩට ගෙනිහින් දැම්මා. කැමරාව හංගලා තිබුණේ.


එක හිඟන්නෙක් ඇවිත් මගෙන් ගේම ඉල්ලුවා. ‘තමුසෙ මොකටද ආවේ. තමුසෙ මෙතන ඉන්න කෙනෙක් නෙවේනේ‘ කියලා. මම කිව්වා ‘මටත් මෙතන අයිතියක් තියෙනවා‘ කියලා. පස්සේ මං සද්ද නැතුව හිටියා. එවෙලේ ලොකු පෙජරෝ වාහනයක් ඇවිත් නවත්තලා කෑම පැකට් බෙදාගෙන බෙදාගෙන ගියා. මටත් ලැබුණා. අර හිඟන්නො කනවා වගේම මමත් ඒක කෑවා. ඒක තමයි මං ජීවිතේ කාපු රසවත්ම කෑම එක. ඒකත් රූගත කෙරුණා. මං කවුද කියලා දැනගත්තට පස්සේ ඔවුන් මාත් එක්ක ගොඩක් යාළු වුණා. දැන් මං එතනින් හොඳට ඇඳ පැලඳගෙන වාහනෙන් යද්දි එයාලා අහනවා ‘සර් අපිත් එක්ක ටෙලි නාට්‍යයක රඟපෑවා නේද?‘ කියලා. චරිතයකට ඇතුළු වුණහම මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ඒ නළුවා කවුද කියන එක නෙවෙයි. ඒ චරිතය කවුද කියන එක විතරයි. එතනදි පුහුණු නළුවෙක් විසින් වවාගන්න දේවල් ටිකක් තියෙනවා. එතකොට කවදාවත් අමතක නොවන චරිතයක් බවට පත්වෙනවා.


ඔබේ බිරිඳත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ හමුවීමත් මේ ගමනට ලොකු සහායක් වෙන්න ඇති?


ලොකු නෙවෙයි බරපතළ සහායක් වුණා. අපි දෙන්න හමුවෙන්නේ අසූව දශකයේ මුල් කාර්තුවේදී සයිමන් නවගත්තේගමගේ පණ්ඩුකාභය නාට්‍යයෙන්. මම එහි දීඝගාමිණී. ඇය උන්මාද චිත්‍රා. ඉතිහාසයේ ප්‍රේමයන් සදාතනිකයි. ඒ කාලේ තිබුණේ තාක්ෂණික, යාන්ත්‍රික එස්.එම්.එස්. ප්‍රේමයන් නෙවෙයි. අපි දෙන්න ලියුම් 194ක් ලියල තියෙනවා. තාමත් ඒවා අපේ ගෙදර ළමයින්ට අහුනොවෙන්න ආරක්ෂිතව අරන් තියල තියෙනවා. අද ඒ වගේ ප්‍රේමයන් නැහැ. ප්‍රේමයට පොඩි අඩිතාලමක් තියෙන්න ඕන. පැරණි අත්තිවාරම හොඳයි. නැත්නම් අවුරුදු 40ක තරම් කාලයක් අපට මේ වගේ ඉන්න බැහැ. අපි ආගම් දෙකක. ඒ නිසා ගෙවල්වලින් බරපතළ විදිහට ප්‍රශ්න ආවා. නමුත් ආදරය කියන බැම්ම ශක්තිමත් නම් ඒ ගමන යන්න පුළුවන්. ඇය තමයි මගේ ජීවිතේ ශක්තිය. ඇය නොහිටින්න අපි මේ තැන්වල නොරැඳෙන්නත් ඉඩ තිබුණා. ඒ වගේම අපේ දියණියන් දෙදෙනා නිපුණි ප්‍රේක්ෂා සහ තාරුකී අමායාත් අඩු වැඩි වශයෙන් කලාවට සම්බන්ධයි. ඔවුන් දෙදෙනාත් අපේ ගමනට ලොකු සහායක් ලබා දෙනවා.

gossiplanka image 2
Previous Post Next Post