දිනූ මගේ යකෝ එකපාරට ආවේ-දිනේෂ් ගමගේ

gossiplanka image 2
 

නුවරඑළියේ ඉඳලා කොළඹට ඇවිත් මියුසික් ෆීල්ඩ් එක ඇතුළේ මැච් එකක් ගහලා පෙන්නපු කොල්ලෙක් එක්ක තමයි අද අපි මේ කතා කරන්න හදන්නේ. මෙයාගේ නම තමයි දිනේෂ් ගමගේ.

ආදරේට මෙයාට හැමෝම කියන්නේ දින්නා කියලා. දින්නා ගැන මේ දවස්වල වැඩිපුර කතාබහ වෙන්නේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කරපු තිසර ඉඹුලානගේ මෝඩ තරිඳු චිත්‍රපටයත් එක්ක. මේ චිත්‍රපටයේ දින්නාගේ මියුසික්, සොරි සර් සින්දුව වගේම ඩිස්ටි ඩිඩිං මේ වෙනකොට ලොකු රැල්ලක් වෙලයි තියෙන්නේ. මියුසික් ෆීල්ඩ් එක ඇතුළේ මැච් එකක් ගහපු දිනේෂ්ගේ කතාව තමයි මේ.


දිනේෂ් ගමගේ මේ දවස්වල සිනමා සංගීතය පැත්තෙන් ලොකු පෙරළියක් ඇති කරපු චරිතයක් බවට පත්වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය ගැන?


ගොඩක් සතුටුයි. මේ වෙනකොට අපි හිතුවාටත් වැඩිය සිනමාහල්වල තිරගත වෙනවා. වෙනස් ප්‍රතිචාර ටිකකුත් ලැබෙනවා. අපි පිරිසක් එකතුවෙලා කරපු වැඩේ මහන්සියේ ප්‍රතිඵල මේ වෙනකොට සතුටින් භුක්ති විඳිනවා.



මෙය ඔබේ පළමු සංගීත අධ්‍යක්ෂණ චිත්‍රපටය නේද? ඒ දවස්වල මේ තරම් රැල්ලක් ඇතිවෙයි කියලා හිතුවේ නැහැ නේද?


මුලින්ම තිසර අයියා වැඩේ කරද්දි මට සංගීතය කරන්න බෑ. සින්දු ටික විතරක් කරලා දෙන්නම් කියලයි කිව්වේ. මොකද මගේ ප්‍රසංග වැඩකටයුතු වගේම විදෙස් සංචාර වැඩකටයුතුත් එක්කත් කාර්යබහුල වෙලානේ ඉන්නේ. තිසර අයියා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ පුද්ගලයෙක්. මම තිසර අයියා වෙනුවෙන් හිටගන්නවා කියන තැන තමයි මුලින් හිටියේ. අපි දෙන්නා කාලයක් වැඩකරලා මම දන්වා තිසර අයියා හිතන පතන විදිහ. තිසර අයියත් දන්නවා මම හිතන පතන විදිහ. අපි දෙන්නා හොඳට අඳුරන හින්දා මේ වැඩේ තවත් ලේසි වුණා.


විශේෂයෙන් සොරි සර් ගීතය ‘දිනූ මගේ යකෝ’ වචන රැල්ලක් වෙලා තියෙන්නේ?


මෙහි විශේෂත්වයක් තියෙනවා. මගේ ගොඩක් සංගීත ශබ්ද මම කටින් දාපු ශබ්ද ටිකක් තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ සම නිෂ්පාදනයෙන් කනිෂ්ක දොඹවෙල, ගයාන් රැන්ඩි, අමිත්ගුරු වගේම වාදනයෙන් අමිත් ජී ගිටාර් ප්ලේ කළා. සංගීත් පබසර කියන පිරිසකගේ එකතුවෙන් තමයි මේ නිර්මාණය වුණේ. සොරි සර් ගීතය ලිව්වේ මනුරංග විජේසේකර. සංගීතවත් කළේ මම. මික්ස් ඇන්ඩ් මාස්ටරින් කළා ගයාන් රැන්ඩි. ඉතිං ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.



ඩිස්ටි ඩිඩිං සංගීත සංකලනය සිදු වුණේ කොහොමද?


මේක පවුලේ සැමට නරඹන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් හින්දා තිසර අයියා කිව්වා මේකට මෙහෙම ඩාන්ස් එකක් හදලා ඒකට මියුසික් එකක් හදලා දෙන්න කියලා. ඔය මියුසික් කාණ්ඩ කටින් දාපු සද්ද ටිකක් තියෙන්නේ. අපි හිතුවා වගේම කවිඳුගේ ඩාන්ස් එක සංගීතය එකතු වුණාට පස්සේ අපි හිතුවටත් වැඩිය වැඩේ නැඟලා ගියා.


මෝඩ තරිඳු චිත්‍රපටයේ සංගීත රටාවන් එකිනෙකට වෙනස්. හරි සූක්ෂ්ම විදිහට ඒක ඔබ නිර්මාණය කරලා තියෙනවා?


එකක්, මම පුංචි කාලේ ඉඳලා ගොඩක් ෆිල්ම් බලලා තියෙනවා. අනිත් එක, තිසර අයියත් එක්ක වැඩ කරනකොට ඔහුට ඕනෑ දේ මොකක්ද කියලා පැහැදිලි කරන්නත් හොඳට තේරෙනවා. ඉතිං මගේ රසය මොකක්ද කියලත් තිසර අයිය දන්නවා. තිසර අයියා අපිව ගයිඩ් කරලා ඒ දේ හොඳට කරගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. අනෙක් එක මගේ පළමු සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය තමයි මෝඩ තරිඳු. අනික මගේ සින්දුත් හැම තිස්සෙම එකම තැනකට කොටුවෙලා නැහැ.



ඔබට සිනමාවේ ලොකු හැරවුම් ලක්‍ෂ්‍යයක් නේද ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය?


එහෙම හිතෙනවා. මොකද මේ දවස්වල හැමෝම අපිට විවිධාකාර ප්‍රතිචාර ලබාදෙනවා. එහෙම හැරවුම් ලක්‍ෂ්‍යයක් නම් ඒකට සම්බන්ධවෙලා වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටුයි.


තිසර ඉඹුලාන සහ දිනේෂ් ගමගේ ගේ අතීතය පොඩ්ඩක් හාර අවුස්සා බැලුවොත්?


‘දැනෙන තුරු මා’ ගීතයේ රූප රචනාව කරගන්න ගිහිල්ලා තමයි මට මුලින්ම තිසර අයියව හම්බවෙන්නේ. එතන ඉඳල මගේ වැඩිපුරම මියුසික් වීඩියෝ කරලා තියෙන්නේ තිසර අයියා. අපි දෙන්නා එකතුවෙලා කරපු වැඩක් එක්ක බැඳුණු බැඳීමත් මේ වැඩේ කරන්න හරි ලේසි වුණා.


පළමුවතාවට ඔබ ෂනූ සමග ගීතයක් ගායනා කරනවා නේද?


ඔව්. මුලින්ම චිත්‍රපටයේ ගීත කරද්දි මම එක එක කට්ටිය යෝජනා කරද්දි පස්සේ මට හිතුණා චිත්‍රපටයේ රඟපාන්න ෂනූත් ඉන්නවා. වෙන කටහඬවල් දාන්න ඕනෑ නැහැ. එයා හොඳට ගායනා කරන හින්දා මට හිතුණා එයාව ඒකට සම්බන්ධ කරනවා කියලා. තව එක ගීතයක් තිබෙනවා. ප්‍රේමා ලෝකය කියලා. ඒක ගායනා කරන්නේ දේව ශ්‍රී. එකේ සංගීතය අමිත් ගුරු. ගීතය ලිව්වේ මනුරංග විජේසේකර. මමත් ගායනා කරනවා. ඔය අතරේ සොරි සර් ගීතයේ කයිසර් කයිසුත් ගායනා කරනවා.


“දිනූ මගේ යකෝ” වචනය කොහෙන්ද ආවේ?


මියුසික් හදාගෙන යනකොට කටට ආපු වචනයක් තමයි “දිනූ මගේ යකෝ” කියන්නේ. ෂනුද්‍රිගේ චරිතයේ නම දිනූ. ඒකත් එක්ක එක පාරටම කටට ආපු වචනයක්. ඒක දැම්මහම තිසර අයියත් ගොඩක් කැමැති වුණා. දැන් ඉතිං මේ වචනය ඇහෙද්දි පුදුම සතුටක් තියෙන්නේ.



දිනේෂ් ගමගේ, මනුරංග විජේසේකර, කයිසර් කයිස් කියන තුන් කට්ටුව ගැනත් කතා නොකරම බැහැනේ?


මම මියුසික් මුලදි ඉගෙන ගත්ත කාලේ මනුරංග අයියා, ලහිරු අයියලා තමයි එතැන ඉගැන්නුවේ. මනු අයියත් එක්කත් අපි එකට ඉඳලා තියෙනවා. මගේ වැඩිපුර ගීත ප්‍රමාණයක් රචනා කරලා තියෙන්නේ මනු අයියා. එයත් අපිත් එක්ක වැඩකරලා මගේ තනුවට එන්න ඕනෑ හැඩය මොකක්ද කියලා දන්නවා. මියුසික් කළා හෝ නැතා මේ හැමෝම හොඳ යාළුවෝ. හැමෝම ගැන දන්න හින්දා වැඩේ කරන්න ලේසි වුණා.


ඇත්තටම නුවරඑළියේ ඉඳලා කොළඹ ආවේ මොනවා කරන්න හිතාගෙනද?


මම නුවරඑළියේ ඉඳලා කොළඹ ආවේ ඕඩියෝ ඉංජිනේරින් ඉගෙන ගන්න. මම හැම තිස්සේම කියන්නේ කට්ටක් කෑවද කියලා අහපුවහාම මම කට්ටක් කෑවේ නැහැ කියලයි. මම ජීවිතයේ හැමදෙයක්ම ගත්තේ අත්හදා බැලීමක් විදිහට. ජීවිතයේ යම් තැනකට යනවා නම් ඒවා ජීවිතයේ කටු විදිහට ගන්නේ නැතිව අත්දැකීම් විදිහට ගත්තහම ජීවිතය හරි ලේසියෙන් ජයගන්න පුළුවන්. ඒ හින්දා මට මගේ ජීවිතයේ හම්බවුණු හැම දෙයක්ම අරගෙන තියෙන්නේ මගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට.


නුවරඑළියේ ඉඳලා ඇවිත් සවුන්ඩ් ඉංජිනේරීන් ඉගෙන ගත්තේ කොහේද?


ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ යටතේ තමයි ඒ දේවල් ඉගෙන ගත්තේ. ඔය අතරේ තමයි මට ලහිරු අයියගේ මියුසික් වීඩියෝ ස්ටුඩියෝ එකේ වැඩ කරන්න හම්බවුණේ. ඒ අනුවයි සංගීත වැඩකටයුතු පටන් ගත්තේ.


නුවරඑළියේ යන්නේ නැතිව රෑට කොළඹ නිදා ගත්තු වාර එහෙමත් ඇති නේද?


ඒවා ඇත්තටම සුන්දර අත්දැකීම්. නුවරඑළියේ ඉඳලා උදේ පාන්දර 2ට නැඟිටලා බස් එකේ කොළඹ ඇවිල්ලා ස්ටේෂන් එකේ වාඩිවෙලා බලාගෙන ඉඳලා 10.30ට ක්ලාස් එකට ඇවිල්ලා ආපහු හවසට නුවරඑළියට යනවා. පාන්දර 2.00ට නැග්ගම උදේ 6.00ට කොළඹට එනවා. ස්ටේෂන් එකට වෙලා ඔහේ වෙලාව යනකම් බලාගෙන ඉන්නවා.


ඒ අත්දැකීම් සංගීත ජීවිතයට දැනුණේ කොහොමද?


ඒ අත්දැකීම් මගේ හැම නිර්මාණයකටම අඩුවැඩි වශයෙන් අරගෙන තියෙනවා. අපේ ජීවිතයේ අත්දැකීම් සහ අපි ඉන්න මූඩ් එක තමයි සින්දුවක් හදන්න බලපාන්නේ. මගේ හැම නිර්මාණයකටම මගේ ජීවිතයේ අත්දැකීම් අඩුවැඩි වශයෙන් පාවිච්චි කරලා තියෙනවා.


නුවරඑළියේ ඉඳලා කොළඹ ඇවිත් මේ වැඩේ කරගෙන යනකොට ආපහු මේක අතහැරලා නුවරඑළියට ගිහිල්ලා මොකක් හරි කරනවා කියලා හිතුණු අවස්ථා නැතිද?


එහෙම හිතිලා තිබුණා. නමුත් මම හිතුවා ආපහු දෙයක් පටන් ගන්න ඕනෑ නම් මුල ඉඳලම පටන් ගන්න එපායැ. පටන් ගත්ත දේ හරියට කරනවා. කවදා හරි හරියයි කියන දේ ඔළුවේ තිබ්බා. ඒකට මහන්සි වෙලා වැඩ කළා.


පුංචි කාලේ ඉඳලා ගෙදර සංගීත පරිසරයක් නිර්මාණය වෙලා තිබුණද? නැතිනම් කාවහරි අනුකරණය කළාද?


අපේ පරම්පරාවේ කවුරුවත් මියුසික් කරන අය නැහැ. හැබැයි මම පුංචි කාලේ ඉඳලම සංගීතයට ආසයි. මට හිතුණා මට හොඳ සෙන්ස් එකක් තියෙනවා කියලා. මට පුංචිකාලෙම හිතුණු දෙයක් තමයි කවදාහරි දවසක මැරෙන්න කලින් මිනිස්සු දහදෙනෙක්වත් දන්න චරිතයක් වෙලා මැරෙන්න ඕනෑ කියලා. ඉතිං ඒකට මහන්සි වෙලා වැඩ කළා.


දැන් කට්ටිය කියන්නේ දිනේෂ් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා?


ඇත්තටම මම මහන්සි වුණ දෙයට ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. තවත් ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට තව මහන්සි වෙන්න තියෙනවා. මම හිතන්නේ කරන වැඩේම අවංකව සහ ආදරෙන් ඉන්න පිරිසට අවංක වෙලා වැඩේ කරන්න ඕනෑ කියලයි.


ඔබේ බාහිර ස්වරූපයත් එක්ක ගොඩක් දෙනෙක් කියනවා හරි පණ්ඩිත චරිතයක් කියලා. හැබැයි අපි දන්න දිනේෂ් එහෙම නෙවෙයි. ඇයි මේ සන්ග්ලාස් පාවිච්චි කරන්නේ?


මම මුලින්ම සන්ග්ලාස් දැම්මේ පළමුවෙන්ම ස්ටේජ් එකට නැග්ගහම. ආත්ම විශ්වාසයක් තිබුණේ නැහැ. මිනිසුන්ව පේන එක අඩුවෙන්න තමයි දැම්මේ. ඒක තමයි සන්ග්ලාස්වලට හුරු වුණේ. වේදිකාවේ එන දැඩි ආලෝක ධාරාවලට, මුලින්ම සංගීතයේ සෙනඟ දැක්කහම අපිට හුරු නැහැනේ. පළමුවෙන්ම කොළඹ ඇවිත් සින්දුවක් නිමාවෙලා ඒක ප්‍රේක්ෂකයන්ට කියන්න යද්දි පොඩ්ඩක් බයවුණා. පස්සේ මම සන්ග්ලාස්වලට හරි ආසයි. මම කියන්නේ මිනිස්සු බාහිරින් බලලා තීරණ ගන්න එපා කියලා. ආශ්‍රය කරලා බලන්න ඕනෑ.


පළමු සංගීතය මතක් කළොත්?


පළමුවෙන්ම කොන්සර්ට් එක තිබ්බේ නෙළුම් පොකුණේ. ඒක කියා ගන්න බැරි සතුටක්. ඒ ප්‍රසංගයෙන් මට හම්බවුණා රුපියල් ලක්‍ෂයක්. ඒකෙන් රුපියල් දහසක් තවමත් තියාගෙන ඉන්නවා මතකයක් විදිහට. මගේ පළමු ගීතය තමරසා තමයි එහිදී ගායනා කළේ.


ඊට පසුව ඔබේ ගීත රැසක් ජනප්‍රිය වුණා.


මම හිතන්නේ මගේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ කාංචනා අනුරාධි එක්ක කියපු දැනෙන තුරු මා ගීතය. ඒකේ මියුසික් වීඩියෝ එක කළේ තිසර අයියා. මියුසික් කළේ අමිත් අයියා. මෙලඩි එක මගේ. පද රචනය මනුරංග අයියගේ. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ. ඊට පස්සේ තමයි මගේ හැදුනේ, සෙංකඩගල නුවරට. වෙරළු මල්, මල කඩ කඩ, වැහි බිඳු වැටෙනවා යන ගීත ප්‍රමාණයක මම තනු නිර්මාණය කළා. මන්දාරම් කතාවේ ගජමෑන් ෆිල්ම් එකේ බොම්බේ මොටයි ගීතය ශශිකා අක්කාගේ චන්ද්‍රා පායන්න ගීතයත් එහෙමයි. ළඟකදී රිලීස් වුණා. සුපුන් පෙරේරාගේ ‘මගේ දුවේ’ කියන ගීතය වගේ ගීත ටිකක් කළා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post