වේදිකාවෙන් සිය රංග පෞරුෂය ඔප මට්ටම් කරගනිමින් සීරු මාරුවට චරිත තෝරා බේරා ගනිමින් පැහැදිලි අනාගතයක පෙර මං සලකුණු පෙන්නුම් කරමින් කලාවේ දිගු ගමනක් යන්නට සැරසුණු බියංක අමරසිංහ කාලයක් තිස්සේ අපට නිර්මාණයකින් දකින්න ලැබුණේ නැහැ. ඒ, ඔහු එංගලන්තයේ East 15 Acting School හි ඉගෙන ගත් නිසා. වසර 4කට පසුව බියංක නැවතත් ලංකාවට පැමිණලා. ඔහු ‘කඩවෙච්චි පොරොන්දු‘ නමින් කෙටි චිත්‍රපටයක් ලියා නිෂ්පාදනය කර තිබිණි. අද අපේ කතාබහ ඔහු සමඟයි.
බියංක නැවත කලාවට සම්බන්ධ වෙන්නේ බොහෝ කාලෙකින් නේද?
ඔව්. අවුරුදු හතරකට පස්සේ තමයි මම නැවතත් කලාවට සම්බන්ධ වෙන්නේ.
මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල මම රචනා කරලා නිෂ්පාදනය කරන නිම්න දේවපුර අධ්‍යක්ෂණය කරපු කඩවේච්චි පොරොන්දු කෙටි චිත්‍රපටයේ පසු නිෂ්පාදන වැඩකටයුතු කරමින් ඉන්නවා. ඒ එක්කම ටීවී සීරියස් එකකට ඇරයුම් ලැබිලා තියෙනවා. ජනවාරි මාසයේ දී බොහෝදුරට එය ආරම්භ වෙයි. ඒ වගේම මගේ පළමු වෘතාන්ත සිනමාපටයේ තිර රචනය ලියමින් ඉන්නවා. ඒක හොරර්, රහස් පරීක්ෂක සහ ක්‍රයිම්වල එකතුවක් තියෙන සිනමා නිර්මාණයක්.
රංගන පාසලෙන් ඔබේ ජීවිතේටත් අත්දැකීම් රැසක් එකතු වෙන්න ඇති. ඒ ගැන කතා කළොත්?
ඇත්තෙන්ම ඔව්. ජීවිතේට අත්දැකීම් ගොඩක් එකතු කළා. විශේෂයෙන්ම ලංකාවේ වේදිකා සහ සිනමාවේ වැඩ කරපු කාලය ගැන ආපසු හැරී බැලීමක් කරන්න මට කාලය ලැබුණා. ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. එක එක සංස්කෘතික වටපිටාවන් එක්ක හැදුණු බොහෝ දෙනා ඇසුරු කරන්න, ඒ හරහා ජීවිතේට බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් වුණා.
ඒ කියන්නෙ එදා රටින් ගිය බියංකට වඩා අද ඉන්න බියංක දියුණුයිද?
එදා රටින් ගිය බියංකට වඩා අවුරුදු 4කට පස්සේ ආව දැන් ඉන්න බියංක ගොඩක් වෙනස්. වෙනත් සංස්කෘතියක, වෙනත් භාෂාවක් කතා කරන මිනිස්සු ඇසුරේ වූ වෙනස්කම් මම හරි ආදරෙන් භාර ගත්තා. හැබැයි මගේ රටවත්, මගේ සංස්කෘතියවත්, මගේ මුලවත් මම අමතක කළේ නැහැ. මොකද මට දියුණුවක් තියෙන්නේ මට මුල මතක තිබුණොත් විතරයි කියන එක මම දන්නවා. මගේ නිර්මාණශීලිත්වය පටන් ගන්නේ එතැන. ඒ කාලය තුළ ඉගෙන ගත්ත දේවල් එක්ක අද ඉන්න බියංක හිටියාට වඩා නිහතමානී, අත්දැකීම් බහුල, ලෝකේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙලා කියන එක මටම තේරෙනවා.
ලංකාව තුළ අපිට අවස්ථා නැහැ කියන කතාව කියන්න පුළුවන් ද?
අපි නිතරම කියන්නේ අපිට ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නැහැ කියලානේ. අපි ඉන්ඩස්ට්‍රි එකක් හදා ගන්න ඕනේ. එතනදි තිර රචනය අධ්‍යක්ෂණය වගේම නළුවන්ගේ දායකත්වයත් වැදගත්. මම විශ්වාස කරන්නේ අපිත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් තිර රචනාවක් ලියන්න ඕනේ. වෙනත් අය ලියන කතා රඟපාන අතරේ අපේ කතාත් ලියලා අනිත් අයට අවස්ථා දෙන්න ඕන. අවස්ථා පිටින් එනකම් ඉන්නවාට වඩා අපි ගාව තියෙන අවස්ථා වැඩිදියුණු කරගන්න ඕනේ.
ආයෙමත් රටින් යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මේ සැරේ ආවේ ආයේ යන්න නෙවෙයි. මගේ කලා ගමනේ දෙවැනි පරිච්ජේදය පටන් ගන්න. ඒ පරිච්ජේදය හොඳින් ගත කරන්න සහ මගේ වටේ ඉන්න අය එකතු කරගෙන වැඩ කරන්නයි මට ඕනේ. මම ආරාධනා කරනවා ෆිල්ම් හදන්න ආසාවෙන් ඉන්න අයට අපි ෆිල්ම් ලියමු. අපි ෆිල්ම් හදමු. නිෂ්පාදකවරු අපිම හොයා ගමු කියලා.
ඒ නිසාම ද ‘කඩවෙච්චි පොරොන්දු‘ ගැන කෙටි චිත්‍රපටයක් කරන්න හිතුවේ?
‘කඩවෙච්චි පොරොන්දු‘ කියන්නේ මම හුඟක් කාලයක් තිස්සේ ලියන්න හිතන් හිටිය එකක්. ඒත් මම ලියන්නේ කොහොමද කියන එක දැනන් හිටියේ නැහැ. මගේ වටේ හිටිය යාළු තිර රචකයන් සහ අධ්‍යක්ෂවරු මට සෑහෙන්න උදවු කළා. ඒ නිසා 2024 දී මම ලියන්න ගත්තා. මම හිතන්නේ මගේ ක්‍රියේටිව් ගමනේ හොඳම අවස්ථාවක් තමයි ‘කඩවෙච්චි පොරොන්දු‘
ඔබේ කෙටි චිත්‍රපටය ගැනත් කතා කරමු?
‘කඩවෙච්චි පොරොන්දු‘ කෙටි චිත්‍රපටය අයත් වෙන්නේ නොවා (Noir) ත්‍රිලර් ශානරයට. නොවා කියන්නේ ෆ්‍රෙන්ච් වචනයක්. එහි අදහස බ්ලැක් නැත්නම් ඩාර්ක් කියන අදහස. මේ තුළ කතා වෙන්නේ ඩාර්ක් තීම් එකක්. හැබැයි මේ තුළ රෝමෑන්ස්, ඇක්ෂන්, ඩ්‍රාමා තියෙනවා. මේ කතාව ගොඩනැඟෙන්නේ 1988 වෙච්චි සිදුවීමක් පාදක කරගෙන.
මේ කාලයේ ආයෙම රඟපානවා කියන තැනදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ නේද?
ඇත්තෙන්ම ඔව්. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපේ ඉදිරි ගමනට හානියක් නොවන විදිහට අපි වැඩ කරන්න ඕනේ. හොඳ වැඩක් ආවොත් කතාබහ කරමින් වැඩ කරන්න කැමතියි.
මේ වෙද්දී බියංක ඇවිත් වැඩ පටන් අරන් කියන ආරංචිය ගිහින් ද තියෙන්නේ?
මගේ වටේ ඉන්න මගේ යාළුවො නම් මම ආයෙම වැඩ පටන් අරන් කියන එක දන්නවා. ඒ හැර ෆේස්බුක් එක හරහා එහෙම දන්නවා මම ආයෙමත් ඇවිත් කියන එක.
ලෝකේ දැකලා ආව කෙනෙක් විදිහට අනාගත බලාපොරොත්තුව මොකක් ද?
අපේ දේ කලා නිර්මාණ හරහා ජාත්‍යන්තරයට අරන් යන්න වගේම මට දැන් හැදිලා තියෙන සම්බන්ධතා හරහා අපේ රටට වැඩ අරන් එන්න මං බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ලංකාවේ මෙතෙක් අත්හදා බලලා නැති ශානරයන්ට අයත් නිර්මාණ කරන්න, ලියමින්, රඟපාමින් මගේ මේ කලා ගමන ඉදිරියට අරන් යන්නත් බලාපොරොත්තු වෙනවා.