විදෙස්ගත වුණාට හිත තියෙන්නේ ලංකාවේ -දේවා

gossiplanka image 1
 


දේවා යැයි කියූ සැණින් ඔබට සිහිපත් වන්නේ ඉන්දියානූ දමිළ සිනමාව බව සැබෑය. අද අප කතා කරන්නේ ශ්‍රී ලාංකේය දේවා ගැනයි. ඔහු ශ්‍රී ලාංකේය පැසිපන්දු ක්‍රීඩාවේද නම් දැරූවෙකි. නමුත් මේ දිනවල ඔහුගේ නම කියවෙන්නේ සිනමාව දෙසිනි. ජූලියා සිනමාපටය නිර්මාණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනූ සම්පත් ශ්‍රී රෝෂන්ගේ නවතම සිනමාපටය වන හොල්මන් එමලිහි ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ඔහුය. හොල්මන් එමලි ගැන කතා කරන්නට අද අප හා එක්වන්නේ ඔහුය.


ක්‍රීඩකයෙක්, ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරන දේවා එක්වරම සිනමාවට පිවිසෙනවා. කොහොමද ආරාධනාව ලැබෙන්නේ?


මම ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මූල්‍යමය උපදේශකවරයෙක් විදිහට කටයුතු කරමින් මගේම ව්‍යාපාරයක් කරනවා. දවසක් සම්පත් ශ්‍රී රෝෂන් මගේ කාර්යාලයට එන්නේ එයාගේ මූල්‍යමය බැංකු කටයුත්තක් සඳහා. ඊට කලින් මට ඔහුව මුණ ගැහිලා නොතිබුණත් ඔහුගේ ජූලියා සිනමාපටය මං බලලා තිබුණා. ඒක ඉතාම ජනප්‍රිය වුණා. මං ඔහුට අවශ්‍ය කටයුතු කරලා දුන්නට පස්සේ ඔහු මට ඔහුගේ ගෙදර ඩිනර් එකකට ආරාධනා කළා. එතනදි තමයි ඔහු මට කිව්වේ දේවා මං මෙහෙම චිත්‍රපටයක් කරනවා. ඒකෙ චරිතයට ගැළපෙනම, ඒක කරන්න පුළුවන් එකම කෙනා ඔයා. කැමැති ද ඇහුවා. එවෙලේ නම් මමත් ෂොක් වුණා. ඒත් හරි අපි වැඩේ කරමු කියලා මං එවෙලෙම කැමැත්ත දුන්නා. ඒ විදිහට තමයි මට මේකට ආරාධනා ලැබුණේ.


හොල්මන් එමලි මොන වගේ නිර්මාණයක් ද?


හොල්මන් කිව්වට මේක හොල්මන්ම නෙවෙයි. ඒක ඇතුළේ හරි ලස්සන ආදර කතාවකුත් තියෙනවා. ඒ වගේම ලොකේෂන් හරිම ලස්සනයි. සෑහෙන්න හොඳ චිත්‍රපටයක් වේවි කියලා හිතෙනවා. මං ඒ චරිතයට හොඳ සාධාරණයක් කළා කියලා මටත් හිතෙනවා. සම්පත්ගෙන් වගේම ඒ සිනමාපටයට සම්බන්ධ වෙලා හිටිය ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. රංගනය ගැන වගේම වොයිස් ට්‍රේනින් වගේ දේවලුත් මං ඉගෙන ගත්තා. මං හිතනවා මේ සිනමාපටය හරහා මගේ ජීවිතයට වගේම මගේ ප්‍රොෆයිල් එකටත් එකතු වුණු වටිනාකම ගොඩක් වැඩියි කියලා.


ඔබේ චරිතය ගැන කතා කළොත්?


මගේ චරිතය රිකී. සෑහෙන්න සැහැල්ලුවෙන්, සතුටෙන්, විනෝදයෙන් ජීවත් වන තරුණයෙක්. ඕනෑම ප්‍රශ්නයක් ආවොත් බය නැතුව මුහුණ දෙන චරිතයක්. ඔහු ගැන මං කියනවටත් වඩා මම කැමැතියි චිත්‍රපටය බලලා රිකී ගැන ප්‍රේක්ෂකයින්ගේ අදහස දැනගන්න.


ඔබ රංගනයට නවකයෙක්. පළමු අත්දැකීම හොල්මන් එකක් කීවම මොකද හිතුනේ ?


ඔව්. මම රංගනයට ආධුනිකයෙක්. රූගත කිරීම් පටන් ගන්න කලින් සම්පත් ශ්‍රී රෝෂන් ඇතුළු නාට්‍ය කණ්ඩායමෙන් සෑහෙන සහායක් ලැබුණා. කැමරාවට මුහුණ දෙන්නෙ කොහොමද කියන එකේ ඉඳන් අත්‍යවශ්‍යම දේවල් ටික ප්‍රවීණයන්ගෙන් මට ලැබුණා. මේක මගේ පළමුවැනි අත්දැකීම නිසා හොල්මන් ද කියන එක ගැන හිතන්නෙ නැතුව බය නැතුව විශ්වාසයෙන් වැඩේට බැස්සා. මේක හොල්මන් එකක් කියනවට වඩා මට දැනුණෙ මේක මට සිනමාවේ ලැබුණු ලොකුම අවස්ථාවක් විදිහට. සම්පත් ශ්‍රී රෝෂන්ගෙන් මට ලැබුණු ලොකු අවස්ථාවක්. හොල්මන් එමලි කියන්නේ වෙනස්ම විදිහේ ලස්සන සිනමාපටයක්. ඇවිත් බලලා මගේ චරිතය ගැන ප්‍රතිචාර දක්වන්න කියන ඉල්ලීම කරන්නත් මං කැමැතියි.


ඔස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය ගැනත් කියමු?


මගේ පවුලෙ හැමෝම ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ලංකාවේදිත් මං කළේ බැංකු ක්ෂේත්‍රයට අදාළ රැකියාවක්. මෙහෙ කරන්නෙත් මූල්‍යමය බැංකු උපදේශකවරයෙක් විදිහට බැංකුවලටම සම්බන්ධ රැකියාවක්. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ විදිහට තමයි මෙහේ ජීවිතය ගෙවෙන්නේ.


ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාවේ ඔබ ජනප්‍රිය චරිතයක්. ඒ ගැන කියනවා නම්?


ඔව්. පාසල් යන කාලෙ ඉඳන්ම මං ක්‍රීඩාවට යොමුවෙලා හිටියා. බොරැල්ල වෙස්ලි විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කළා. ඊට පස්සේ බැංකුවේදීත් ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ටීම් එකෙත් සෙල්ලම් කළා. වෙළෙඳ සේවා පැසිපන්දු සංගමයේ සභාපති වගේම ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ උප සභාපති විදිහටත් කටයුතු කළා. 2016 පිරිමි පැසිපන්දු ජාතික කණ්ඩායමේ කළමනාකරු විදිහටත් කටයුතු කළා. ඊටත් පස්සේ තමයි මං ඔස්ට්‍රේලියාවට එන්නේ. පැසිපන්දු ක්‍රීඩාව නිසා තමයි මට මේ හැම අවස්ථාවක්ම ලැබිල තියෙන්නේ.


ක්‍රීඩාව පැත්තෙන් හොඳ ගමනක් තියෙද්දිත් ඇයි ඔබ විදෙස්ගත වෙන්න හිතුවේ?


විදෙස්ගත වුණාට තාමත් හිත තියෙන්නේ ශ්‍රී ලංකාවේ. අදටත් මං පැසිපන්දු ක්‍රීඩාව අතහැරලා නැහැ. මෙහෙත් මං පැසිපන්දු ක්‍රීඩා කරනවා. මෙහෙ හිටියත් තවමත් මං ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාව එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවා ඒ විදිහටම කරගෙන යනවා. විදෙස්ගත වෙන්න හිතුවෙ නම් මෙහේ තියෙන වටිනා අවස්ථා නිසා. සිනමාවටත් දැන් මට අවස්ථාව ලැබිල තියෙනවා. කලාව වෙනුවෙන් මගේ දක්ෂතාවයෙන් ඔස්ට්‍රේලියාවේ ඉඳන් දෙන්න පුළුවන් උපරිම සහය ලබාදෙන්න තමයි මගේ බලාපොරොත්තුව.


ඉදිරි කටයුතු ගැන කතා කළොත්?


කලාව පැත්තෙන් ගත්තොත් තවත් අලුත් වැඩක් ගැන මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. ඉදිරියේදී ඒකත් දැකගන්න ලැබේවි.

gossiplanka image 2
Previous Post Next Post