සිංහල සිනමාවේ වයසට නොයන කඩවසම් නළුවා වගේම තිරයේදී ලාබාල තරුණ නිළියන්ගේ පෙම්වතා විදිහටත් චන්න පෙරේරාව අපට නිතර මුණගැසෙනවා. චන්න දිගු නිහැඬියාවකට පස්සේ අලුත් වැඩ කිහිපයකටම අතගසලා තියෙනවා. මේ දවස්වල ඔහු රංගනයෙන් දායක වෙන රැයක් හෝ පැයක් කියලා චිත්‍රපටයකුත් තිරගත වෙන හින්දා අපි මෙවර මීවිතෙන් චන්නට ඉඩකඩක් වෙන් කළා.
චන්න අලුත් පරම්පරාවට රංගනය කියාදෙන්න යනවා කියලා ආරංචියි?
ලංකාවේ අපිට රංගනය විධිමත්ව ඉගෙන ගන්න අවුරුදු ගණනාවක් තිස්සේ තැනක් තිබුණේ නැහැ. රංගනය පිළිබඳව වැඩමුළු කළාට රංගනය පිළිබඳව උසස් අධ්‍යාපනය පිළිබඳ ආයතනයක් තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. එක එක්කෙනා විවිධ නම් වලින් පටන්ගත්තාට ඒක විධිමත්ව තාක්‍ෂණික කරුණු එක්ක කරන්න පුළුවන් ආයතනයක් තිබුණේ නැහැ. ඒක කරන්න තමයි මම මැදිහත්වෙලා ඉන්නේ. ඒක dream of arts campus කියලා තමයි ආරම්භ කරන්නේ. එතකොට නිෂ්පාදන කටයුතු, රංගනය පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගන්න, කෙටි චිත්‍රපට වගේම වීඩියෝ චිත්‍රපට කරලා ඒවා මුදාහරින්න පසුබිමක් හදලා දෙනවා වගේම මිනිස්සු අතරට යන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් එකක් හදනවා.
ඔබේ රංගන ජීවිතයේ කාලය වගේම අධ්‍යක්‍ෂවරයාගේ කාලය ඉවරයි කියලා හිතලද මේ වගේ වැඩකට අතගැසුවේ?
මම ජීවිතයේ එක එක දේවල් හොයාගෙන යන කෙනෙක්. විවිධ අත්දැකීම් ලබාගන්නවා. කාලයක් රංගන ශිල්පියෙක් හැටියට අත්දැකීම් ලබාගත්තා. අධ්‍යක්‍ෂවරයෙක්, තිර රචකයෙක් හැටියටත් අත්දැකීම් ලබාගත්තා. මට ඕනෑ රංගන ක්‍ෂේත්‍රයේ විවිධ පරාසයන්වල ඇවිදින්න. ජීවිතය කියන්නේ ඇඩ්වෙන්චර් ජර්නි එකක්. ඉතිං ඒ ඇඩ්වෙන්චර් එක ඇතුළේ මම අතගහපු තවත් දෙයක් තමයි dream of arts campus. ඒත් එක්කම මගේම කියලා පැෂන් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්නත් වැඩපිළිවෙළක් යනවා. ඒකේ නම ‘දීපේ DEEPEZ’ ඔය අතරේ මොඩ්ලින් ස්කූල් එකකුත් පටන් ගන්නවා. ඒ වගේම මීඩියා ස්කූල් එකකුත් පටන් ගන්නවා. තවද මෙහි මාත් එක්ක වැඩ කරන ප්‍රවීණයෝ පිරිසක් ඉන්නවා. ඔවුන් එක්ක එකතු වෙලා අත්වැල් බැඳගෙන තමයි අපි dream of arts campus එකේ ගමන යන්න පටන් ගන්න හදන්නේ. එහි මම මූලිකත්වය අරගෙන මගේ අත්දැකීම් බෙදාහදා ගන්නවා. ඒත් එක්කම තව ප්‍රවීණයන් හරහා දැනුම් සම්භාරයක් ළමයින්ට දෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණු චිත්‍රපටයකුත් තිරගත වෙනවා නේද?
ලාල් වීරසිංහ කියන අධ්‍යක්‍ෂවරයා අධ්‍යක්‍ෂණය කළ ‘රැයක් හෝ පැයක්’ කියන චිත්‍රපටය පසුගිය 30 වැනිදා ඉඳලා තිරගත කිරීම ආරම්භ කළා. ඇත්තටම ඒක දමිළ මාධ්‍යයෙන් නිර්මාණය කළේ. සිංහලට හඬ කවලා තියෙනවා. ඒක ක්‍රියාදාම චිත්‍රපටයක්. හැබැයි බොහොම අනුවේදනීය කතාවක් තියෙනවා. ඉතාම වෙනස්ම චිත්‍රපටයක්. පොඩි දමිළ චිත්‍රපට ස්වරූපයක් ඒක තුළ තියෙනවා. ප්‍රේක්‍ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ලාල් අයියා කියන්නේ ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්. ඉතිං මට වෙනස් චරිතයක් හම්බවුණා. රහස් පරීක්‍ෂකවරයකුගේ චරිතයක්. මම හිතනවා සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් වුණා කියලා.
සෑහෙන කාලෙකට පස්සේ නේද චිත්‍රපටයක් තිරගත වෙන්නේ.
ඔව් ඔව් සෑහෙන කාලයකට පස්සේ. ඇත්තටම මම අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. රංගනය තමයි මගේ ජීවිතය. කාලය බෙදාහදාගෙන අමතර දේවල් කළාට රංගනය වෙනුවෙන් තිබෙන කාලය මගහැරිලා නැහැ. ඒ වගේම රංගනය අතහැරලත් නැහැ. පොඩ්ඩක් ඉතිං වේගය අඩුවැඩි වෙනවා.
මොනවද අලුත් අධ්‍යක්‍ෂණ වැඩකටයුතු?
නුදුරේදී අධ්‍යක්‍ෂණ කටයුතු කරන්න සැලසුමක් නැහැ. මොකද එකක් තමයි මට ටෙලිනාට්‍ය මාලාවකට කතා කරලා තියෙනවා. මගේ චිත්‍රපට දෙකෙන් එකක්වත් තිරගත වෙනකම් තව අධ්‍යක්‍ෂණයකට අත තියන්න අදහසක් නැහැ. එකක් තමයි සිහින අනන්තය. ඒකෙ පිටපත් රචනය වගේම අධ්‍යක්‍ෂණයත් මමම තමයි. ඒක වෙනස්ම විදිහේ ආදර කතාවක්. ඊළඟට තියෙනවා එකයි දෙකයි තුනයි කියලා ළමා චිත්‍රපටයක්.
රැයක් හෝ පැයක් චිත්‍රපටයේ රූගත කිරීම්වලදී මොන වගේ කැප කිරීම්ද කරන්න සිද්ධ වුණේ?
දමිළ මාධ්‍යයෙන් කරපු හින්දා දමිළ මාධ්‍යයෙන් තමයි කතා කරන්න සිද්ධ වුණේ. දමිළ භාෂාව මට බැහැ. ඒ වුණාට මම දෙබස් පාඩම් කරගත්තා. සහාය අධ්‍යක්‍ෂවරයාත් දමිළ ජාතිකයෙක්. ඔහු යටතේ මට සමහර දේවල් ඉගෙන ගන්න වුණා. විශේෂයෙන් රඟපෑම් ශෛලිය. මගේ ශෛලියට වෙනස්ම විදිහක් තියෙන්නේ. ඒ ශෛලියට හැඩගැහෙන්න සිද්ධ වුණා. ඒක අභියෝගයක්. ඒ අභියෝගය ජයගත්තා කියලා හිතනවා.
චන්න පෙරේරා, චන්න පෙරේරාව දකින්නේ කොහොමද?
එහෙම කියන්න බැහැ. ඕක අපි හදාගත්තු දෙයක්නේ. මේක ඇතුළේ අපි හදාගත්තු චන්න පෙරේරා කෙනෙක්නේ ඉන්නේ. මම කරපු රඟපෑමක් නිසා හෝ ප්‍රේක්‍ෂකයෝ මම කරන රඟපෑමක් බලන නිසා මම නළුවෙක් වෙලා තියෙනවා. මම කරන දේ අනුව නළුවෙක් විදිහට මිනිස්සු මාව පිළිඅරගෙන තියෙනවා සහ දන්නවා. හැබැයි ඇත්ත චන්න පෙරේරා ඊට වැඩිය එහාගිය කෙනෙක්.
වයසට ගියත් තවම පෙම්වතාගේ චරිතයෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා නේද?
ඒවායෙන් මිදෙන්න තමයි මම දැන් උත්සාහ කරන්නේ. ඒ වගේම උදයකාන්ත වගේ අධ්‍යක්‍ෂවරු මට මගේ පෙනුමට එහාට ගිය චරිත දීලා තියෙනවා. හැම කෙනාම මාව විශ්වාස කරලා නැත්තෙ නැහැ කියන්නත් එපායැ. එහෙම විශ්වාස කරපු තැන්වල මම රඟපෑම උපරිම මට්ටමට කරලා තියෙනවා. පෙම්වතාගෙන් එහාට ගිය චරිතවලට මට සම්මාන පවා ලැබිලා තියෙනවා. පරම්පරා තුනක් එහාට ගිය නිළියන්ටත් මම පෙම්කරලා තියෙනවා. එය එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවක්.
දිනේෂ් විතාන