තලෙළු සම මට ආභරණයක් -අභිලාශි සන්තුෂ්කි

gossiplanka image 2
 


තමන්ගේ පළමු සිනමා නිර්මාණය හරහාම එක රැයින් අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගත් ඇය නමින් අභිලාශි සන්තුෂ්කි ය. සුප්පා දේවිය ලෙසින් ආරම්භ කළ ගමන මේ වන විට ඇයව මෙරට සිනමාව තුළ සිටින ප්‍රධාන පෙළේ නිළියක් බවට පත් කර තිබේ. කෙසේ වෙතත් ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ ”සිහිනයක තනි වෙලා” ටෙලි නාට්‍යය හේතුවෙනි.


මේ දවස්වල ඩ්‍රයිවර් රස්සාව කරනවා කියලා ආරංචියි. ඒ ගැන පොඩ්ඩක් කියලම ඉමු?


ඔව්, මේ දවස්වල බස් එකක ඩ්‍රයිවර් රස්සාව තමයි කරන්නේ. ඒ ”සිහිනයක තනි වෙලා” ටෙලි නාට්‍යයේ. ස්වාධීන රූපවාහිනිය හරහා රාත්‍රි 8:30ට මේ ලස්සන කතාව ප්‍රේක්ෂකයන්ට නරඹන්න හැකියාව තියෙනවා. එහි මගේ චරිතයේ නම නිකී. නිකී කියන්නේ  ආදරණීය, අහිංසක, හැමෝටම උදවු කරන ගැහැනු ළමයෙක්. පවුලේ තියෙන දුෂ්කරතා නිසා තමයි ඇය රියැදුරු රැකියාව තෝරා ගත්තේ.


අනෙක් වාහන වගේ නෙවෙයි බස් රථයක් පදවන එක. ඒක මොන වගේ අත්දැකීමක්ද?


අනෙක් වාහන පැද්දට මීට කලින් කවදාවත් බස් එකක් පැදලා තිබුණේ නැහැ. මට මුලින්ම බස් එක පදින්න ලැබුණේ ෂූටිං පටන් ගන්න විනාඩි 20ක් විතර තියලා. ඒ වෙලාවේ මුලින්ම පිට්ටනියක ඩ්‍රයිව් කරලා තමයි ප්‍රධාන පාරට දැම්මේ. හරිම සැලකිල්ලෙන් හරිම පරිස්සමෙන් තමයි මම බස් එක ධාවනය කළේ. මොකද මම බස් රථය පදවන්නෙ ප්‍රධාන පාරක නිසා තෙල් ටැංකි වගේ බර වාහන තමයි ගොඩක් ධාවනය වුණේ. ඒක ඇත්තටම අභියෝගයක් වුණා. මම හිතනවා ඒ අභියෝගය සාර්ථකව භාර ගත්තා කියලා.


ලංකාවේ වෘත්තියක් වශයෙන් කාන්තාවන් බස් ධාවනයට යොමු වෙන්නෙම නෑ.

ඒ ගැනත් කියමු?


කාන්තාවන් කියන්නේ ඕනෑම දෙයක් කරන්න ශක්තිය තියෙන, ඕනෑම අභියෝගයක් භාර ගන්න පිරිසක්. අම්මා කෙනෙක් වුණත් මාස නවයක් පුදුම දුකක් දරාගෙන තමයි දරුවෙක් මෙලොවට බිහි කරන්නේ. මම හිතන්නේ ඒ තරම් වේදනාවක් දරාගන්න ශක්තිය කිසිම පිරිමි කෙනෙක්ට නැහැ. කාන්තාව කියන කෙනා මාසිකව පවා ලොකු ශාරීරික වේදනාවක් දරාගෙන තමයි ජීවිතයට මුහුණ දෙන්නේ. මට අනුව ඒ තරම් ශක්තිමත් කාන්තාවකට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. බස් රස්සාව වුණත් එහෙමයි. අනිත් වෘත්තීන් වගේම මේ රැකියාවත් කාන්තාවට කරන්න හැකියාව තියෙනවා.


සිනමා නිළියක් විධියට ක්ෂේත්‍රයට ඇවිත්, ටෙලි නාට්‍යවලට දායක වෙන එක අපරාදේ කියලා හිතුණේ නැද්ද?


මම හිතන විධියට මම තවමත් සිනමා නිළියක්. මොකද මම චිත්‍රපට 5කට මේ වනවිට සම්බන්ධ වෙලා තියෙනවා. මගේ අලුත්ම චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව මේ අවුරුද්ද අවසානයේ සහ ලබන වසරේ තවත් චිත්‍රපට කිහිපයකටම දායකත්වය ලබා දෙනවා. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණාට මම කොහෙත්ම සිනමාවෙන් ඈත් වෙලා නැහැ. සිනමා කර්මාන්තයේ යොදාගන්නා තාක්ෂණය නිර්මාණාත්මක භාවය හා විවිධ ශිල්ප ක්‍රම ටෙලි නාට්‍යවලට භාවිත කරන්න අපහසු වුණත් ගුණාත්මක ටෙලි නිර්මාණයකට දායක වීමෙන් කිසිම අවස්ථාවක රංගන ශිල්පීන්ගේ රංගන හැකියාවන්ට හානියක් වෙන්නේ නැහැ. මම මේ ”සිහිනයක තනි වෙලා” ටෙලි නාට්‍යයට දායක වුණු දවසේ ඉඳන් මට සිනමාවට වගේම ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා වැඩි වෙලා. නමුත් මම සිනමාවට වැඩි අවධානයක් දෙන නිසා ටෙලි නිර්මාණ භාර ගන්න එක යම්තාක් දුරකට අඩු කරලා තියෙන්නේ. නමුත් මට ඉතාමත් හොඳ නිර්මාණවලින් කතා කරනවා. මාව විශ්වාස කරලා ඒ නිර්මාණවලට ආරාධනා කරන සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ”සිහිනයක තනි වෙලා” ටෙලි නාට්‍යය නිසා මේ දිනවල මට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් වැඩි වෙලා.


රංගනයට පිවිසිලා ඉතාමත් කෙටි කාලයක් තුළදී සම්මානයට පාත්‍ර වෙන්න හැකි වීම ගැනත් කියමු?


සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමරිය විධියට තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. ඒ නිර්මාණය හරහා මට අති විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමි වුණා. ඊට පසුව වසරක් වගේ කාලයක් ඇතුළත මට අපේ රටේ ප්‍රධානම පෙළේ සම්මාන උළෙලක් වන සරසවි සම්මාන උළෙලේ හොඳම නවක නිළියට හිමි සම්මානය හිමි වෙනවා. ඒක ඇත්තටම දුර්ලභ වාසනාවක්. මොකද කෙනෙක්ට තමන්ගේ පළමු චිත්‍රපටයෙන්ම හොඳම කාණ්ඩයේ සම්මානය ලැබීම විශාල දෙයක්. ඒ සම්මානයෙන් ලැබුණු අභිප්‍රේරණය හරහා තමයි මම තෝරා බේරා ගැනීම් හරහා අපේ සිනමා කර්මාන්තයට, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ දායාද කරන්නේ.


මෙතරම් කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමේ රහස මොකක්ද?


මගේ පළමු නිර්මාණයෙන් පසුව මම ඉතාමත් ඉවසීමකින් තමයි නිර්මාණ තෝරා බේරා ගත්තේ. මුදල් හෝ ජනප්‍රියත්වය ගැන නොසිතා මම ගුණාත්මක නිර්මාණවලට දායක වුණා. ඕනෑම ක්ෂේත්‍රයක් තුළ  ඉහළට යන්න නම් ඉවසීමෙන් හොඳ අධ්‍යයනයක් සහිතව කටයුතු කරන්න වෙනවා. සිනමාව ගැන මම නිතරම අධ්‍යයනය කරනවා. දේවල් ඉගෙන ගන්නවා. ඒ අධ්‍යයනයත් එක්කම තමයි මම ගුණාත්මක නිර්මාණ තෝරා බේරාගෙන කටයුතු කරන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා අපි නිහතමානීව තමන් දායක වෙන නිර්මාණයට, ක්ෂේත්‍රයේ අනෙකුත් අයට ගරු කරන ගමන් ප්‍රේක්ෂකයන්ට ආදරය කරන ගමන් වැඩ කටයුතු කරනවා නම්, අපි අන් අයට ලබා දෙන ගරුත්වයම පෙරළා අපිට හිමි වෙනවා කියලා. ඒ වගේම මම කිසිම වෙලාවක ජනප්‍රිය වෙන්න හිතාගෙන නිර්මාණ බාරගෙන නැහැ. මම නිතරම උත්සාහ කරේ ඒකාකාරී නොවන නිර්මාණවලට දායක වෙන්න. ඒ නිසාම එදා සුප්පා කුමරියට ලැබුණු ආදරය තවමත් හිමි වෙනවා.


වර්තමාන තරුණ පිරිස සම සුදු කරගන්න හරිම උනන්දුයි, මේ ගැන ඔබේ අදහස?


සුදුද තලෙළුද කියලා දෙයක් නැහැ. මේ ලෝකේ හැම මනුස්සයාටම තමන්ට ආවේණික වුණු ලස්සනක් තියෙනවා.  මම හිතන්නේ අපිට උපතින් ලැබිලා තියෙන දේවල් තමයි අපිට ගැළපෙනම දේවල්. අද වෙනතුරු මම මගේ සමට හෝ කොණ්ඩෙට කිසිම කෘත්‍රිම දෙයක් කරලා නැහැ. මගේ තලෙළු සම මට ආභරණයක්. සුප්පා කුමාරිය විධියට මාව තෝරා ගත්තෙත්, ඒ හරහා ප්‍රේක්ෂක ආදරය හිමි වුණෙත් මගේ මේ තලෙළු හම හා කැරලි කොණ්ඩය නිසා. මම පෞද්ගලිකව මගේ ආවේණිකත්වයට ආදරය කරනවා. අනික් අයටත් මම කියන්නේ තමන්ට උපතින් ලැබිලා තියෙන පැහැය ගැන ආඩම්බර වෙන්න. ඒක ආරක්ෂා කරගන්න. මොකද සමහරවිට අනාගතයේදී අපි මේ කරන කෘත්‍රිම දේවල් නිසා අපිට හැම දේම නැති වෙන්නත් පුළුවන්.


රංගනය පැත්තෙන් ඔබේ අනාගත සිහිනය මොකක්ද?


රංගන ශිල්පිනියක් විධියට මට අවශ්‍ය මේ විෂය ඉතාමත් හොඳින් දැන අඳුනගෙන ඉදිරියට යන්න. ඇතැමුන් මේක අධ්‍යයනය කළ යුතු විෂයක් විධියට නොදැක්කත් මම නිතරම මේ විෂය අධ්‍යයනය කරනවා. රංගනය ගැන ඉගෙන ගන්නවා. මම කැමැතියි දවසක අභිලාශි කියන  රංගන ශිල්පිනිය හොඳම රංගන ශිල්පිනිය විධියට ප්‍රේක්ෂකයන් අතරට එනවා දකින්න. ජූරියක් විසින් ඒ ඇගයීම ලබාගන්නවා දකින්න. මම ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ සඳහා දැනුම අවශ්‍යයි. මම ඒ දැනුම හොයාගෙන හොඳ නිර්මාණවලට දායක වෙලා මට පුළුවන් උපරිමයෙන් මගේ දක්ෂතාව, කැපවීම යොදවලා ඒ තැනට යන්න උත්සාහ කරනවා.


යොවුන් වියේ පසුවන ඉතාමත් සුන්දර යුවතියක්, තරුණයන්ගෙන් ලැබෙන ප්‍රේම ආරාධනාවල අඩුවක් නැතුව ඇති?


යොවුන් වියේ පසුවෙන හැමෝටම වගේ මටත් ප්‍රේම ආරාධනා නම් ලැබෙනවා. නමුත් මේ වෙලාවේ මම අවධානය යොමු කරලා තියෙන්නේ සිනමාවට. ඒ වගේම මම මනෝ වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා. ඒ දේවල් වෙනුවෙන් තමයි මම මේ දිනවල කාලය වෙන් කරලා තියෙන්නේ.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 1
Previous Post Next Post