අපි කතා කරමු. ‘මෝඩ තරිඳු‘ හි ඔබේ චරිතය පිළිබඳව?
එය මට ලැබුණු විශේෂ චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මුලින්ම පිටපත අතට අරගෙන කියවූ විට ඒක හරි රසවත් චරිතයක් කියලා මට තේරුණා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන සහ එහි තිර පිටපත් රචක තිසර මංගල බණ්ඩාර මගේ ළඟම හිතවතුන්. ඔවුන්ගේ නිර්මාණ රසවත් කියලා මම හොඳටම දන්නවා. ඒ වුණාට මම රඟපෑ මේ චරිතය මේ තරම් රසවත් වෙයි කියලා නම් හිතුවේ නැහැ. මගේ චරිතය විතරක් නෙවෙයි එම චිත්‍රපටය පුරාම රසවත් බව හරි අපූරුවට ගලා ගෙන යනවා.
එතරම් රසවත් වීමේ රහස මොකක්ද?
එම චිත්‍රපටයේ අන්තර්ගත වෙන අවස්ථා සමඟ චරිත එකිනෙක ගැටෙන විදිහත් එම ගැටීම තුළින් හාස්‍ය හා රසවත් බව ඇති කිරීම නිසා තමයි මෝඩ තරිඳු සිනමා පටය මේ තරම් රසවත් වුණේ.
ඒ වගේම මෙම චිත්‍රපටය නිර්මාණය කරන විට යොදාගත් දර්ශන තලයන් වුවත් හරිම නිර්මාණාත්මකයි. එසේම රසවත් බවින් යුක්තයි. මේ සියලු දේ මනා ලෙස සංකලනය වූ චිත්‍රපටයක් නිසා තමයි ‘මෝඩ තරිඳු‘ මේ තරම් සාර්ථකත්වයට පත් වුණේ. මීට පෙර නිෂ්පාදනය වුණ චිත්‍රපටවල මෙවැනි අවස්ථා තිබුණේ නැහැ.
එහි ඔබගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?
මම මීට කලින් චිත්‍රපවල රංගනයේ යෙදිලා තිබෙනවා. මම සමහර සිනමා පටවල රඟපාන කාලෙදිත් මේ මුහුණු පොත තිබුණා. ඒ වුණාට ඒ රඟපාපු එක චරිතයකටවත් මුහුණු පොත හරහා මේ තරම් ප්‍රතිචාර ලැබුණෙ නැහැ. මම ගැන මේ විදිහට කතාබහට ලක්වුණෙත් නැහැ.
මේ චිත්‍රපටයේ මගේ චරිතයත් සමඟ සමාජය තුළ මම ගැන කතාබහ කරන ප්‍රමාණය වැඩි වුණා. මිනිස්සු මේ චරිතය ගැන විවිධ විචාර ලියන්න පටන් ගත්තා. මේ වෙනසට මම කැමැතියි. මොකද මම ගැන විචාර ලියන්නෙ, චරිතයේ විශිෂ්ට රංගනය ගැන කතා කරන්නෙ විචාරකයෝ නෙවෙයි. සාමාන්‍ය රසිකයන්. ඔවුන් එවැනි ප්‍රතිචාර ලබා දෙන්නෙ එම චරිතය එයාලට දැනෙන්න මම රඟපාල තියෙන නිසයි. එවැනි දෙයක් මම වෙනුවෙන් ලියන්නෙ. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
චරිත තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන යම් යම් නිර්ණායකයන් තිබෙනවාද?
මට එහෙම ලොකුවට චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබෙන කෙනෙක් නෙවෙයි. අධ්‍යක්ෂවරුම තමයි මේ චරිතය මට සුදුසුයි කියලා තෝරාගෙන එන්නෙ. ඔවුන් තෝරාගෙන එන චරිත මට හොඳට ගැළපෙනවා. ඒ වගේම මමත් හරිම කැමැතියි. මේ ප්‍රශ්නයට මට දෙන්න තිබෙන කෙටිම උත්තරය තමයි චරිත තෝරා ගැනීමේදී මම තෝරා ගැනීමක් කරන්නේ නැහැ. අදාළ අධ්‍යක්ෂවරු තමයි මාව තෝරා ගන්නේ.
ඇතැමුන් විශ්වාස කරනවා යම් චරිතයක් නිර්මාණයේදී තාත්විකව ඉදිරිපත් කළ යුතු බව?
රංගනයේදී තාත්විකද නැද්ද කියලා දෙයක් නැහැ. රංගනය නම් රංගනය. නමුත් එක එක නිර්මාණවල ඊට අවේණික වූ ශෛලීන් තිබෙනවා. එම ශෛලියට රඟපෑමේ හැකියාව රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට තිබෙන්න ඕන.
ඉස්සර තිබුණා අදහසක් රංගන ශිල්පීන් තාත්වික රංගනයක යෙදීම අවශ්‍යයි. දැන් ලංකාවේ නෙවෙයි ලෝක සිනමාවෙවත් තාත්වික රංගනය කියලා දෙයක් නැහැ. සමහර නිර්මාණවල අතිශයෝක්තියෙන් රඟපාන්න ඕනෑ. සමහර ඒවායේදී ස්වාභාවිකව රඟපෑම අවශ්‍යයි.
උදාහරණයක් විදිහට පසුගිය කාලයේ ‘ජෝකර්‘ කියලා චිත්‍රපටයක් ආවනේ. එහි රඟපාන නළුවාගේ රංගනය තනිකරම අතිශයෝක්තියක්. හරියට නාට්‍යක රඟපානවා වගෙයි. ඒ නිසා අපට එහෙම තාත්විකද නැද්ද කියලා වෙන් කරන්න බැහැ. හැබැයි රඟපෑම කියන්නෙ රඟපෑමට. එහි තාත්විකද අතිශයෝක්තියද ස්වාභාවිකද කියලා දෙයක් නැහැ.
ප්‍රේක්ෂකයන්ට දැනෙන ලෙස රඟපෑම සියුම් ආකාරයට සිදු කරන්නෙ කොහොමද?
ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් වගේම කරන්නත් අමාරු දෙයක්. ඒ වුණාට අපේ රංගනය සාර්ථක වෙන්න නම් සියුම් රංගනය අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන. ඒ සඳහා චරිතය අවබෝධ කර ගැනීම, රංගන අවස්ථාව පිළිබඳ අවබෝධ කර ගැනීම වගේම අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කොට තමා තුළ ඇති රංගන හැකියාව සියුම් ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාගත යුතුයි.
එහෙම සියුම් රංග විලාසයකට අවතීර්ණ වෙන්න කැමැති ඕනෑම රංගන ශිල්පියෙක් හරි ශිල්පිනියක් හරි ප්‍රායෝගික පුහුණුවීම්වල නිතර නිතර යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
වර්තමාන පරපුර තුළ සියුම් ලෙස රංගනයේ යෙදෙන අවස්ථා දැක ගන්න පුළුවන්ද?
වර්තමාන පරපුරෙත් ඉන්නවා චරිතයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවීම් මනා ලෙස කරන අය. එවැනි අය වෙතින් නිර්මාණයට අවශ්‍ය සියුම් රංගනය දකින්න පුළුවන්. එහෙත් වර්තමාන පරපුරේ බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්නෙ හැදෑරීමකින් තොරවයි. ඉතින් එහෙම අය ළඟ නම් නිර්මාණයට අවශ්‍ය කරන සියුම් රංගන කුසලතාව නැහැ.
ඒ වගේම සියුම් බව ඔවුන් තුළින් ගන්නත් අමාරුයි. ඕනෑම නිර්මාණයකට සියුම් චරිත නිරූපණයක් අවශ්‍ය නම් අඩුම තරමේ පිටපත, අධ්‍යක්ෂවරයා සහ නළුවා කියන තුන්දෙනාම එකතු වෙන්න අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ රංගන අවස්ථාව තේරුම් ගන්න නළුවාට පුළුවන් වීමත් අවශ්‍යයි.
තමන්ගේ දක්ෂතා වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක් ලෙස වර්තමාන සිනමාව පිළිබඳ ඔබේ අදහස?
මේ වන විට සිනමා කර්මාන්තය පණ ගැන්විලා තිබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. වෙනද වගේ නෙවෙයි. චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයන් එනවා. ඒ වගේම විවිධ ශානරවල චිත්‍රපට බිහි වෙනවා. ඉදිරිපත් කිරීම් විවිධයි. සිනමා පටයක් කියන්නේ අපට රාමු ගත කරලා කොටු කරල මේ විදිහට වෙන්න ඕන කියලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක් එක් අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරන චිත්‍රපටවල ඔහුගේ දැක්ම වෙනස්. ඉදිරිපත් කිරීම් කරන ආකාරය වෙනස්. එහෙම චිත්‍රපට ගණනාවක් පසුගිය කාලයේ කරළියට ආවා. රාණි, වාලම්පුරි, ක්ලැරන්ස්, මාදර් ලංකා, ආයු, නීරා වගේ.
ඒ වෙනස් කම් නිසා තමයි ප්‍රේක්ෂකයන් චිත්‍රපට බලන්න යන්නේ. එහෙම නොවුණා නම් අතීතයේදී වගේම රසිකයන් චිත්‍රපට බැලීම ප්‍රතික්ෂේප කරනවා. මේ වන විට විවිධ වර්ගයේ හොඳ සිනමාපට බිහි වෙමින් පවතිනවා. එවැනි නිර්මාණ නිසා හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඇති වෙමින් තිබෙනවා. මේ ඇති වුණ පිපිදීම රැකගැනීමට සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කළ යුතුයි.
ඔබ කියන්නෙ එදා පැවතුණ ස්වර්ණමය යුගයට නැවතත් සිනමාව ගමන් කළ යුතුයි කියලාද?
නැහැ. එදා යුගයට සිනමාව අරගෙන යන්න හැදුවොත් නැවතත් මේ සිනමා පිපිදීම කඩා වැටෙනවා. ඒ මොකද එදා වගේ නෙවෙයි අද තරුණ පරපුරේ රසවින්දනය වෙනස්. ඒ නිසා ඔවුන්ට ගැළපෙන ආකාරයේ චිත්‍රපට මෙරට තුළ හැදෙන්න ඕනෑ. මම හොඳටම දන්න දෙයක් තියෙනවා පසුගිය කාලයේ සිංහල චිත්‍රපට බැලුවේ නැති බොහෝ තරුණ පිරිස් ආයු, නීරා, මෝඩ තරිඳු වගේ සිනමාපට බලන්න සිනමා ශාලාවලට ආවා. ඒ නිසා ලෝක සිනමාවත් භාවිත කරමින් තරුණ පරපුරේ අවශ්‍යතාවට සරිලන ආකාරයේ සිනමාපට අපේ සිනමාව තුළ බිහි කළ යුතුයි.
රඟපාන චරිතය අදාළ කරගනිමින් රංගන ශිල්පීන්ව විනිශ්චය කිරීමට ප්‍රේක්ෂකයන් පුරුදු වෙලා ඉන්නවා මේ පිළිබඳ ඔබේ අදහස?
ඒ සඳහා හේතුව ලෙස මම දකින්නේ අපේ රටේ ප්‍රේක්ෂකයාට රංගනය පිළිබඳව දැනුවත්භාවට අඩු බවයි. ඔවුන් හිතන්නේ අපි මේ රඟපාන්නෙ අපේ පෞද්ගලික ජීවිතය කියලයි. එහෙම නැහැ. අපි රඟපාන්නෙ වෙනම චරිතයක්. ඒ තමයි රංගන ශිල්පිනියකගේ හරි ශිල්පියකුගේ හරි සාරය. ඒක අපේ රැකියාව. ඒක තමයි අපට මිලක් ගෙවන්නේ. ඒ නිසා රඟපෑමේ නිරත වන ඕනෑම අයෙක් තමන් වෙත පැවැරෙන කාර්ය හරියට ඉටු කිරීම කළ යුතුයි.
අනාගතයේදී මොන වගේ නිර්මාණ තුළින්ද ඔබව දැක ගැනීමට ලැබෙන්නේ?
මේ වන විට මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් කරගෙන යනවා. ඉදිරියේදී එම නිර්මාණ තුළින් මම මගේ රසිකයන් හමුවීමට බලාපොරොත්තු වෙනවා.
අරුණි ජයසේකර