මේ දිනවල ටෙලිවිෂනයට ආදරය කරන ප්‍රේක්ෂකයන් අලුත් නිවෙසකට ගෙවැදිලා. ඒ ගෙදර නම පට්ටි ගෙදර. පවුලක් වටා ගෙතෙන කතාන්දරයකින් යුතු පට්ටි ගෙදර කියන්නේ වෙනස් ආකාරයක ටෙලිවිෂන් අත්දැකීමක්. ඔහු තම ප්‍රකාශනය නොබියව සිදු කරමින් ප්‍රේක්ෂකයා වෙත ළගන්නාසුළු අයුරින් රැගෙන යන්නෙක්. සමාජයේ අසම්මත යැයි කියන මාතෘකා තුළින් තම නිර්මාණ කාර්යයන් සඳහා වස්තු බීජ සපයා ගන්නා ඔහු විශිෂ්ට නිර්මාණකරුවෙක්. කෙටි චිත්‍රපට මෙන්ම වෙබ් කතා මාලා හරහා ප්‍රේක්ෂක අවධානය තමන් වෙතට නතු කරගත් මෙම නිර්මාණකරුවා පිළිබඳව වත්මන් කලා ක්ෂේත්‍රය තුළ කතා බහක් ඇති වී තිබෙනවා. අද හදගැස්ම හා එක් වන්නේ අධ්‍යක්ෂ අනුෂ්ක රසාංජන ද සිල්වා.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස් ගෙවී යන්නේ පට්ටි ගෙදර එක්ක. පට්ටි ගෙදර අදියර දෙකක රූගත කිරීම් අවසන් වුණා. මේ වන විට අපි කොටස් 30කට ආසන්න ප්‍රමාණයක් රූගත කොට අවසන්. මේ දිනවල එහි අනෙක් අදියරේ රූගත කිරීම් සඳහා ලැහැස්ති වෙමින් සිටිනවා. ඒ වගේම එහි තිර පිටපත රචනා කරමින් සිටිනවා. ඉතින් නොවැම්බර් මාසයේදී පට්ටි ගෙදර ඊළඟ අදියරේ රූගත කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
පට්ටි ගෙදර නිර්මාණය වුණු අයුරු කතා කරනවා නම්?
ටේක් කෙයාර් නිර්මාණය කරන්න අවුරුදු 4කට විතර කලින් මම පට්ටි ගෙදර කියන කතාව නිර්මාණය කරන්න සිතාගෙන සිටියා. ඉතින් ඒ කාලේ මම එහි තිර පිටපත රචනා කළා. වෙනත් අධ්‍යක්ෂවරයෙක් උදෙසා තමයි මම එකල එහි තිර පිටපත රචනා කළේ. මට ගම කේන්ද්‍රකොට ගත් පවුලක කතාවක් ලියන්න අවශ්‍ය වුණා. ඒ වගේම ගැමි පරිසරය ආශ්‍රිතව තිබෙන යන්ත්‍ර, මන්ත්‍ර, හූනියම් ඇසුරෙන් කතාවක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණා. ඒ අයුරින් තමයි පට්ටි ගෙදර නිර්මාණය වුණේ. ටේක් කෙයාර් අවසන් වුණාට පසුව මම මොකක්ද කරන්නේ කියන එක ගැන සිතා බැලුවා. ඉතින් මම ඒ මොහොතේ මේ තිර පිටපත අතට ගත්තා.
මෙහි තිර රචනය සහ කතාව ඔබගේ.
මෙය ලියැවුණු අයුරු ගැන කියමු?
මේ දැන් තිබෙන කතාවේ තිර පිටපත ලියලා තිබුණට වඩා හාත්පසින්ම වෙනස්. මම මේ කතාවේ කොටස් පහක් විතර තමයි ලියලා තිබුණේ. ඉතින් බොහෝ දේවල් වෙනස් කරලා තමයි මේ තිබෙන පට්ටි ගෙදර නිර්මාණය කළේ.
පට්ටි ගෙදර කියන නම ඉතා වෙනස්.
මේ නාමය ගැන කතා කරනවා නම්?
මේ ගෙදරට නම හැදුණු ආකාරය ගැන මේ කතාව ඉදිරියේදී ඔබට දැන ගන්න ලැබේවි. මේ කතාව පටන් ගන්නේ කතාවේ මැදින්. ඉතින් මෙහි අතීත කතාවක් තිබෙනවා. ඒ අතීත කතාව තුළ මේ නම හැදුණු හැටි කියවෙනවා. මේ කතාව ආරම්භ වන්නේ මේ කතාව තුළ සිටින මවගේ මරණයෙන්. නමුත් ඇයගේ කතාව මේ කතාවේ ඉදිරියේදී දකින්න ලැබේවි. මේ කතාවේ හැටියට අතීතයේදී මේ ගෙදර තිබෙන ඉඩමේ හරක් හදලා තිබෙනවා. ඒ අනුව තමයි මේ නම නිර්මාණය වෙන්නේ.
පට්ටි ගෙදරට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම ඉතා හොඳ ප්‍රතිචාර අපිට මේ වන විට ලැබෙමින් පවතිනවා. දිනක්ෂිගේ සහ ජෙනට්ගේ රංගනය ගැන මේ වන විට ලොකු කතාබහක් ඇති වී තිබෙනවා. ඔවුන්ගෙන් ප්‍රේක්ෂකයා ගොඩක් දේවල් බලාපොරොත්තු වන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ කතාව ලියන විටම මගේ ඔළුවේ ඔවුන් දෙදෙනා ගැන ඇඳිලා තිබුණා. ඒ දෙදෙනාගෙන් වෙනසක් දකින්න පුළුවන් වෙයි කියා සිතනවා. ජෙනට් ඇන්තනී මේ කතාව තුළ පණපොවන්නේ ඔහුට වඩා වයස අවුරුදු 10කින් පමණ වැඩි චරිතයකට. ඉතින් මෙය ඔහුටත් අභියෝගයක් වෙයි කියා සිතනවා.
පවුල සහ විවාහය කේන්ද්‍රකොට ගත් නිර්මාණ කරන්න ඔබ ළැදිකමක් දක්වනවා. මෙයට විශේෂ හේතුවක් තිබෙනවාද?
ඇත්තටම විශේෂ හේතුවක් නැහැ. නමුත් ඒ තුළ කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා කියලා මම සිතනවා. මම ඒ වගේ මාතෘකා තුළ දේවල් කතා කරන්න කැමැත්තක් දක්වනවා. විවාහය සහ පවුල කියන්නේ මිනිසුන්ට ඉතා සමීප දෙයක්. මේ තුළින් ලෝකයට පොදු ධර්මතාවන් ගැන කතා කරන්න පුළුවන් කියලා මම සිතනවා.
දූ දරුවෝ, අඹු දරුවෝ වගේ නිර්මාණ මෙවැනි පවුල කේන්ද්‍ර කොටගත් නිර්මාණ.
ඒ නිර්මාණවලින් ඔබට ආභාසය ලැබුණාද?
ලංකාවේ පමණක් නෙවෙයි වෙනත් රටවලත් පවුල කේන්ද්‍රකොට ගත් නිර්මාණ ප්‍රේක්ෂකයාට ගොඩක් සමීප වුණා. ඔවුන් ඒ නිර්මාණ ආදරයෙන් වැලඳ ගත්තා. මානවයාගේ ආරම්භයේ පටන්ම පවුල කියන සංකල්පය පැවතුණා. ලංකාව වගේ රටක පවුල කියන දෙය ගොඩක් මිනිසුන්ට සමීපයි. කන්දේ ගෙදර, ඇල්ල ළඟ වලව්ව වගේ නිර්මාණවලත් මේ ලක්ෂණ තිබුණා. දූ දරුවෝ වගේ නිර්මාණ මිනිසුන් ආදරයෙන් වැලඳ ගත්තා. මෙවැනි නිර්මාණ නිසාම පවුල කියන සංකල්පය අපේ මිනිසුන්ට ගොඩක් සමීපයි. මෑත කාලීනව පවුල සම්බන්ධව නිර්මාණය වුණ ඉතා හොඳ නිර්මාණයක් තමයි තණමල්විල කොල්ලෙක් කියන්නේ. එය නැරැඹූ පසුව මටත් මෙවැනි පවුලක කතාවක් නිර්මාණය කරන්න ඕන කියලා සිතුණා.
මේ කතාව තුළ ඉපැරැණි ලෝකයේ මායාව ඒ කියන්නේ හූනියම්, කොඩිවින වගේ දේවල් තිබෙනවා. මේ වගේ අතීත දේවල් අදට වලංගුද?
අපේ රට තුළ එවැනි දේවල් බොහෝ සේ පැවතුණා. අපේ ටෙලිවිෂනය තුළත් එවැනි කතා නිර්මාණය වුණා. අදත් ග්‍රාමීය පරිසරය තුළ ඒ දේවල් තිබෙනවා. ග්‍රාමීය ජන සමාජය ඒ දේවල් තවමත් විශ්වාස කරනවා. අපි නොහිතුවට ඒවා අද සමාජයටත් වලංගුයි කියා මම සිතනවා. කොළඹත් එහෙම තමයි. ඔය දේවල් දකින මිනිස්සු අදටත් අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.
අනුෂ්ක රසාංජන සිනමාවට පැමිණෙන්නේ කවදාද?
මම තව අත්දැකීම් ලබා ගෙන හරිම කාලය බලලා තමයි ඒ දෙයට අත තබන්නේ. ලංකාවේ අද සිනමාව තිබෙන තැන එක්ක අපි දෙයක් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක් සිතන්න ඕන. මේ වන විට සිනමාව තිබෙන තැන අපි නිසා අඩි තුන හතරක් ඉස්සරහට යන්න ඕන කියන තැන තමයි මම සිටින්නේ. ප්‍රේක්ෂකයා තව තවත් සිනමාශාලා වෙත ගෙනෙන්න අපේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද කියන දෙය ගැන අපි සිතන්න ඕන. තව තවත් අත්දැකීම් එක් කරගෙන හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
ටේක් කෙයාර් කළාට පසුව නිෂ්පාදකවරු රැසක් මට වැඩ කරන්න කතා කළා. මම ගොඩක් වැඩ කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. කරන දෙය හැකි තරම් හොඳින් කිරීම තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් පට්ටි ගෙදර අවසන් වෙනකල් මේ වැඩ ටික කරගෙන ඒ ගෙදරම ජීවත් වෙනවා.
ගිහාන් සචින්ත