අනාගතය වෙනුවෙන් වගකීමක් ගන්න චන්න මොරටු යයි - චන්න පෙරේරා

gossiplanka image 1
 


යොවුන් ආදරය පමණක් නොව පුංචි දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් ආදරය නොඅඩුව අත්විඳින ආදරණීය රංගන ශිල්පියෙක් වන චන්න පෙරේරා රඟපෑම මොහොතකට පසෙකින් තබා මේ දිනවල ලහි ලහියේ වෙනත් කටයුත්තකට සැරසෙන බව අපට දැන ගන්නට ලැබුණි. නිතර නිතර මොරටුවේදී බොහෝ අයගේ නෙත ගැටී ඇති බවට ද ආරංචි පැතිර යමින් තිබේ. “චන්න මොනවද මොරටුවේ කරන්නේ…” කියා සොයා බැලූ අයට දැන ගන්නට ලැබී ඇත්තේ මොරටුව ආශ්‍රිතව කිසිදු රූගත කිරීමක්ද ඔහුට අදාළව නොමැති බවයි. මේ දිනවල චන්න ලොකුවට නිර්මාණ කටයුත්තකද නියැළී නැත්නම් ඇත්තටම මොරටු පැත්තේ නිතර ගැවසෙන්නට හේතුවක් තිබිය යුතුමයි.


ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන භාර අධ්‍යක්ෂවරයෙකු වූ පියසේන පෙරේරාගේත්, ගුරු උපදේශිකාවක වූ විනීතා පියසේනගේත් වැඩිමහල් දරුවාව ඉපිද පානදුර ශ්‍රී සුමංගල පිරිමි පාසලෙන් සහ පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චන්න ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ නිමකර බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වූ අයෙකි. එහෙත් දෛවය ඔහුව බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත්කොට කලාව වෙත යොමු කළෙන් 1989 දී දයා විමලවීර අධ්‍යක්ෂණය කළ ‘සුජාතා’ චිත්‍රපටය ඔස්සේ රංගන ජීවිතය ආරම්භ කළේ ය.


එතැන් පටන් ‘සත්පුරවැසියෝ’, ‘සෙනෙහෙවන්තයෝ’, ‘සත් මහල’, ‘සක්වාලිහිණියෝ’, ‘සූරිය දරුවෝ’ ආදි වශයෙන් නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වෙමින් මෙරට නිර්මාණ ක්ෂේත්‍රවල දැවැන්තයින් හා ඇසුරට පත්ව දැනුම හා කුසලතාවන් වඩවා ගත්තේ ය. ඒ අනුව ඔහු‘අංජලිකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 2006 වසරේදී ය. පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හා සම්මාන දිනා ගැනීමට තරම් චන්න පෙරේරා දක්ෂ විය. පුංචි තිරයට පුංචි වී‍රයෝ ටෙලි නාට්‍ය දෙකක්, වස්සානයේ හිරු ඇවිදින්, සඳ දිය අරණ, ටිකිරි හපන්නු නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කළ චන්න ‘අංජලිකා’ චිත්‍රප‍ටයෙන් පසුව ‘කල්පාන්තයේ සිහිනයක්’, ‘එකයි, දෙකයි, තුනයි’, ‘යුගාත්‍රා’, ‘සිහින අනන්තය’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ය.


වෙනස් රංග ශෛලියක්


කර්මාන්තයක් හැටියට මෙරට සිනමාවට අත්වී ඇති ඉරණමත්, චිත්‍රපට තිරගත කිරීමේදී සිනමා ශාලාකරුවන් විසින් සිදු කරන්නා වූ හිතුවක්කාර ප්‍රතිපත්ති නිසා සිය නිර්මාණ නිසි පරිදි ප්‍රේක්ෂකයින් අතරට නොයෑම පිළිබඳ සියුම් දුකකුත් මේ දිනවල ඔහුගේ සිත තුළ පවති. මේ ඉරණමට ඔහු ඇතුළු තවත් සිනමාකරුවන් රැසක් මුහුණපාමින් සිටින බව ද ඔහු කලකිරීමෙන් යුතුව කීවේ ය. එසේ වුවත් සිනමාවට, රංගනයට ආදරය කරන කිසිවෙකුටත් ඉන් මිදීමට නොහැකි ය. චන්න පෙරේරා රඟපෑ නවතම චිත්‍රපටය මෙම මස 30 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.


“ලාල් වීරසිංහගේ නවතම චිත්‍රපටය ‘රැයක් හෝ පැයක්’ දමිළ ආරට, දමිළ මාධ්‍යයෙන් නිර්මාණය කරලා සිංහලට හඬකැවීම් කළා. මෙතෙක් මම කළ රංග ශෛලියන් වෙනස් කරමින් පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරියකු (CID Officer) හැටියට වෙනස්ම චරිතයක් මම මෙහිදී රඟපානවා. ඉන්දියානු කාර්මික ශිල්පීන් සහ ඉන්දියානු රංගන ශිල්පීන් මේ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඉන්දියාවේ දමිළ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. මේ චිත්‍රපටයට විවිධ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා.”


ජනප්‍රිය නළුවා සම්මාන ගණනාවක් දිනා ගනිමින් අප්‍රමාණ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින චන්න පෙරේරා හොඳම නළුවා සම්මාන කිහිපයක්, ‘අංජලිකා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන රැසක්, හොඳම චිත්‍රපට ප්‍රාසාංගික ගීතය උදෙසා සම්මාන ඇතුළුව සම්මාන ‍බොහෝමයක්ද හිමි කරගෙන ඇති නිර්මාණකරුවෙකි. දෙස් විදෙස් චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම් සමඟ වැඩ කිරීමෙන් බොහෝ අත්දැකීම් ලද අධ්‍යක්ෂවරයෙකි. එසේ ම ඇතැම් කාලවල සමාජ මාධ්‍ය ජාල කැලඹ වූ චරිතයකි. ඒ නිසා මේ දිනවල චන්න පෙරේරාගේ සංචරණයන් පිළිබඳ ව කටකතා පැතිර යමින් තිබේ. මොරටුව පැත්තේ මේ දිනවල ඇවිදින්නේ මන්දැයි මේ කතාබහ නිම කරන්න මත්තෙන් මම ඔහුගෙන් ඇසුවෙමි.


විවේකයක් නැහැ


“මේ ගැන තවත් අය මගෙන් අහනවා. ඒත් අහන හැමෝටම පිළිතුරු දෙන්න තරම් විවේකයක් මට මේ දවස්වල නැහැ. මම ටිකක් කාර්ය බහුලයි. මම හැමදාමත් කල්පනා කළ දෙයක් තමයි නීතිඥයන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, ගණකාධිකාරිවරුන්ට, නර්තන ශිල්පීන්ට, ගායන වාදන සංගීත ශිල්පීන්ට නිශ්චිත වූ උසස් අධ්‍යාපන ආයතන අපේ රටේ තිබෙනවා. නමුත් අපේ රටේ අනාගත රංගන පරපුරට රංගනය හැදෑරීමට විධිමත් රංගන පාසලක්, ඉන් එහාට ගිය රංගනය පිළිබඳ විශ්වවිද්‍යාලයක්, උසස් අධ්‍යාපන ආයතනයක් අපට නිශ්චිත විධිමත් ආයතනයක් නැහැ. තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක්ව සිටි ආයෝජකයෙක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ඉෂිරා රත්නායකයන්ගේ මැදිහත්වීමෙන් රංගනය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ම මට කතා කරලා එහි රංගනය පිළිබඳ සම්පූර්ණ වගකීම් මට භාර දුන්නා. මම සාමාන්‍යයෙන් වැඩිබර කරට අරගෙන මගේ නිදහස නැති කර ගන්න කැමති නැති කෙනෙක් නිසා මුලදි මම ඒකට කැමති වුණේ නැහැ. නමුත් ඔවුන්ගේ පැහැදිලි කිරීම් සහ අලුතෙන් එන පරම්පරාවට අපෙන් යමක් විය යුතුයි කියන වගකීම මට දැනුණු නිසාත්, විධිමත් අධ්‍යාපනයක් නොමැති වීමෙන් අනාගතයේදී මේ රංගන ක්ෂේත්‍රයට අත්විය හැකි ඉරණම පෙනෙන නිසාත් මම ඒ කාර්ය ඉටු කිරීමට භාර ගත්තා.


රංගන ශිල්පීන් හැටියට අපි මේ ගමන මේ තරම් දුරක් ආවේ අඳුරේ අතපත ගාමින්, විවිධ දුෂ්කරතා මධ්‍යයේ, අපේ ම උත්සාහයෙන් විවිධ හැදෑරීම් කරමින්, නොයෙකුත් අත්හදා බැලීම් අප විසින්ම කරගෙන යි. ඒ දුෂ්කරතා අපේ අනාගත පරපුරේ ඉරණම බවට පත්වෙන්න ඇත්තටම ඉඩ දෙන්න බැහැ. ඒ නිසා රංගන ක්ෂේත්‍රයේ අනාගත සිහිනය සැබෑ කරදීම උදෙසා නොවැම්බර් 09 දා “ඩ්‍රීම් ඔෆ් ආර්ට්ස්” (Dream of Arts) උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කරනවා. එහි කලා අධ්‍යයනාංශයේ ප්‍රධානි හැටියට මට වගකීම් රැසක් භාර වී තිබෙනවා. මම මෙතෙක් ලබාගෙන ඇති කුසලතාවන් සහ මේ ක්ෂේත්‍රයේ මට ඇති සම්බන්ධතා උපරිම ආකාරයෙන් යොදා ගනිමින් රංගනයට අමතරව ඊට සමගාමී වන තවත් කලාවන් රැසක් මෙම අධ්‍යයන ආයතනය මගින් අපි අනාගත පරපුරට ඉතාම සහන ක්‍රමවේදයන් යටතේ ඉගැන්වීම් කරනවා. මෙහිදී විශේෂයෙන්ම ප්‍රායෝගික පුහුණුවීම්වලට මුල් තැනක් දෙනවා. මේ ආයතනය තිබෙන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අසලයි. මේ දවස්වල නිතර මොරටු යන්නේ ඒ වැඩවලටයි.”

gossiplanka image 2
Previous Post Next Post