ඔහු ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. එමෙන්ම එකිනෙකට වෙනස් චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂක සන්තානය කැලඹූ රංගන ශිල්පියෙක්. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී දසුන් පතිරණ.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල ඇත්තටම වැස්ස නිසා ෂූටින් කැන්සල් වුණා. ඉන්දික ධර්මතිලකගේ සති සහ ලලිත් රෝහිතගේ දොරකඩ දෙවොල කියන ටෙලි නාට්‍යවලට මම මේ දිනවල රංගනයෙන් දායකත්වය සපයනවා. ඒ වගේම මෝඩ තරිඳු සහ ආයු සිනමා පටවල ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා සිනමාපටයේ වැඩ කටයුතු සමඟ මේ දවස් ගෙවී යනවා.
ඔබ රංගනයෙන් දායක වන සති හෙවත් කාලාත්‍රයේ ගැහැනිය ටෙලි නාට්‍ය ගැන කතා කරමු?
සති ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දික ධර්මතිලක. මම ඔහුගේ නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ මැස්සා, ගිරිදේවි වගේ නිර්මාණවලට මම රංගනයෙන් එක් වුණා. ඒ වගේම ශාන්ති දිසානායක රචනා කළ නවකතාවක් වන ගිරිදේවි ඇසුරින් නිර්මාණය වුණු ටෙලි වෘතාන්තයටත් මම රංගනයෙන් එක් වුණා.
සති කියන්නෙත් ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු ටෙලි නාට්‍යයක්. අඳුන්ගිර කියන නවකතාව කියන්නේ ඇය ලියූ ඉතා ලස්සන නව කතාවක්. ඒ ඇසුරින් තමයි සති නිර්මාණය වෙන්නේ. ශාන්ති දිසානායක ලියන නවකතා හරිම රයිමින්. රිද්මයානුකූලයි. මේ කතාව තුළ මගේ චරිතය ලෙස රඟපාන්න තිබෙන්නේ සාමාන්‍ය ගැමි තරුණයකුගේ චරිතයක්. මෙරට ගැමි තරුණයාට මුහුණ දීමට සිදුවෙන ගැටලු මේ කතාව තුළ දකින්න පුළුවන්. මෙය ඉතා ලස්සන තිරපිටපතක්. දුලීකා මාරපන, මාධනී මල්වත්ත, නිරෝෂන් විජේසිංහ, කෝරලගේ සමන්, සූර්යා දයාරුවන්, නයනතාරා වික්‍රමාරච්චි, විදුල ලංකේශ්වරී වගේ රංගන ශිල්පි ශිල්පිනියන් රැසක් මේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.
මේ වන විට සතිවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියනවා නම්?
මේක ඉතා ලස්සන වැඩක්. මේ මොහොතේ ප්‍රේක්ෂකයන් සති ඉතා ආදරයෙන් වැලඳගෙන තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. අපිට දැනෙන විධියට මේ මොහොතේ සතිවලට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා. අපි ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කළා කියන විශ්වාසය අපිට තිබෙනවා. මේ වගේ මොහොතක මිනිස්සුන්ට දැනෙන වැඩක් කරන්නට ලැබීම ගැන සතුටුයි.
ආයු ගැන කතා කරමු?
ආයු සිනමාපටයේ පොඩි කොටසකට හරි රංගනයෙන් දායක වීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්. ආයු කියන්නේ ලංකාවේ නිර්මාණය වුණු මාස්ටර් පීස් එකක්. සිනමාව සම්බන්ධයෙන් දැනුමක් තිබෙන, සිනමා භාවිතය පිළිබඳ දැනුමක් තිබෙන, සිනමාව විසල් ලෙස හැදෑරූ පිරිසක් තමයි මේ සිනමාපටය නිර්මාණය කළේ. මේක පර්ෆෙක්ට් ෆිල්ම් එකක්. මම මේක කියන්නේ ෆෑන් කෙනෙක් විධියට. මේ වසරේ නිර්මාණය වුණු සිනමාපට ඉතා විශිෂ්‍ටයි. ඒ බොහෝ නිර්මාණ ඉතා හොඳින් තිරගත වුණා. නමුත් මගෙන් කවුරු හරි ඇහුවොත් මේ වසරේ තිරගත වුණු හොඳම සිනමාපටය කුමක්ද කියලා මම ආයු කියලා කියනවා. මිනිසුන්ගේ හැඟීම් ක්‍රියාකරන විධිය මේ සිනමාපටය තුළ ඉතා ගැඹුරින් කියාපානවා. ඒ වගේම පන්ති අතර තිබෙන පරතරය සහ ගැටුම ඉතා හැඟුම්බර ලෙස මෙහි කතා බහට ලක් කරනවා. මේ සිනමාපටයේ විෂුවල්ද, මියුසික්ද, ඇක්ටින්ද, ස්ටෝරි එකද, ස්ක්‍රිප්ට් එකද හැමදේම පර්ෆෙක්ට්. ආයු බලන්න බෝට්ටුවේ නැඟලා එයින් ලැබෙන හැඟීම් එක්ක මෝඩ තරිඳු බලලා සිනහ වෙලා සතුටු වෙලා එන්න. ආයු කියන්නෙ මරණයට පෙර කතාව මෝඩ තරිඳු කියන්නේ වෙන කතාවක්.
අරුණ ජයවර්ධනගේ මාරියා ගැන කියනවා නම්?
මේ වසරේ තිරගත වුණු සිනමාපට එකකට එකක් වෙනස් හරියට අහසයි පොළවයි වගේ. මාරියා කියන්නෙත් ඒ වගේ තනිකරම වෙනස් සිනමාපටයක්. මේ සිනමාපටයේ එක නිළියක්වත් නැහැ. ඒ වගේම මේ සිනමාපටය තනිකරම රූගත කළේ මුහුදේ. මේ සිනමාපටය තුළ රඟපාන්නේ විශිෂ්‍ට රංගන ශිල්පීන් පිරිසක්. මේ සිනමාපටයේ බලන හැම ෂොට් එකක්ම මැජික් එකක්. ලංකාවේ අපිට තිබෙන දුප්පත්කම, අපිට තිබෙන ගාය, අපිට තිබෙන හයිය නිසාම තමයි අපි මේ වැඩේ කළේ. ලෝකයේ කවුරුත් මේ වගේ මුහුදක් මැද සිනමාපටයක් කරන්නෙ නැහැ. ටයිටැනික් ෆිල්ම් එකවත් එහෙම රූගත කළේ නැහැ. මේ වැඩේ මාර රිස්කි වැඩක්. මාරියා කියන්නේ වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක වෙනස්ම අත්දැකීමක්. මේකේ මූඩ් එක වෙනම මූඩ් එකක්. ප්‍රේක්ෂකාගාරය මාරියා ආදරෙන් වැලඳගනී කියා මම සිතනවා.
කාලදෘෂ්ඨිය ගැන කතාබහ කරමු?
මේක වෙනස්ම කන්සෙප්ට් එකකට හදපු මියුසික් වීඩියෝ එකක්. මම කිසි දවසක හෙවි මෙටල් ශානරය සමඟ වැඩ කරලා තිබුණේ නැහැ. මීෂා වික්‍රමනායක කියන්නේ මගේ හොඳ මිතුරෙක්. ඔහු තමයි මට මේ සඳහා ආරාධනා කළේ. ඒ ගීතය තුළ කතා කරන්නේ ජීවිතය ගැන. ඒක ජීවිතය ගැන වෙනස් ආකාරයක කියවීමක්. ඒක කොහේට පික් කරයිද කියලා අපි දන්නේ නැහැ. මේක වර්ල්ඩ් වයිඩ් වැඩක්. අපි ඉතින් කාලදෘෂ්ටිය එනකල් බලාගෙන සිටිමු.
සිනමාවේ අර්බුද කෙමෙන් මැකී යන ලකුණු පෙනෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස?
සිනමාවේ අර්බුද තවමත් තිබෙනවා. නමුත් නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට ප්‍රේක්ෂකයාව සිනමාශාලාවලට ගෙන එන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කර තිබෙනවා. මිනිස්සු නරකයි නම් රිජෙක්ට් කරනවා. හොඳයි නම් භාර ගන්නවා. යන්ග් බ්ලඩ් යන්ග් ක්‍රවුඩ් එක අලුත් දේවල්, අලුත් කන්සෙප්ට් ආදරයෙන් වැලඳ ගන්නවා. සිනමාවේ වසන්තය දැන් පාවෙලා ඇවිත් තිබෙනවා. ඉතින් මේ වසන්තය ඉස්සරහට වැඩ කළොත් උත්සවශ්‍රීයෙන් සමරන්න පුළුවන්.
ඔබ බොහෝ කාලයක් නිහඬව සිටියා එයට විශේෂ හේතුවක් තිබෙනවද?
නිහඬව සිටියාමත් නෙවෙයි. ඒ තමයි අපි වැඩ කරන විධිය. ඒ මගේ විධිය. ඒ විධියට තමයි මම සිටියේ. අපි වැඩ කරනවා ඉතා අඩුයි. අපිට සෙට්වෙන අපේ වයිඩ් එකේ වැඩක් සෙට් වුණොත් මම ඒ දේවල් කරනවා. අපි ඔක්කොම එකතු වෙලා ගේමක් ගහනවා. මාරියා දැන් එනවා. තව වැඩ දෙක තුනක් එන්න තිබෙනවා. මේ යන විධිය හොඳයි. හිමින් යන කොට ගොඩක් දුර යන්න පුළුවන්.