ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් දෙන එකයි බලාපොරොත්තුව -නතාෂා පෙරේරා

gossiplanka image 2
 


ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස මේ වෙනකොට නතාෂා පෙරේරා නමක් දිනාගෙන තියෙන්නේ. හැබැයි නතාෂා පහුගිය කාලේ අලුත් නිර්මාණවලින් නම් දකින්න ලැබුණේ නැහැ. දිගු නිහැඬියාවකට පස්සේ නතාෂාගෙන් ‘කවර් සෝන්ග්’ එකක් අහන්න ලැබෙනවා. ඒ ගැන වගේම මේ දවස්වල මොකද වෙන්නේ කියලා දැනගන්න අපි නතාෂාව කතාබහකට සම්බන්ධ කර ගත්තා.


කොහොමද මේ දවස්වල ජීවිතෙ


වැඩිපුර කාලයක් ඔස්ට්‍රේලියාවේ හිටියා. හැබැයි දැන් නම් ලංකාවට ඇවිත් සුපුරුදු විදිහට කාලය ගත කරමින් ඉන්නවා.


කාලෙකින් කවර් එකක් කරන්න හිතුවෙ ඇයි?


පහුගිය අවුරුද්දක කාලයක් මම සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍යයෙන් ඈත් වෙලා හිටියා. ඉස්සර මම හැමදාම සමාජ මාධ්‍යට මොකක් හෝ පෝස්ට් එකක් දාපු කෙනෙක්. ඒක මම සම්පූර්ණයෙන්ම නවත්තලා ලොකු බ්‍රේක් එකක් ගත්තා. ඇත්තම කියනවා නම් සමාජ මාධ්‍යවල පළ වෙන දේවල් බලන එකත් මම නතර කළා. ඉතින් එහෙම දින 300කට වැඩි කාලයක් ඉඳලා ආයෙම පටන් ගන්න ඕනේ නිසා තමයි මම ආස ගීත කවර් සෝන්ග් විදිහට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දුන්නේ.


‘නුඹට දුන්නු ආලේ’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම හිතුවේ මම කාලයක් සමාජ මාධ්‍ය තුළ දැක්කේ නැති නිසා මාව ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා ඇති කියලා. හැබැයි මම මේ ‘නුඹට දුන්නු ආලේ’ කවර් සෝන්ග් එක එළියට දැම්මත් එක්කම මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මම නිහතමානිව සතුටු වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම මේ තරම් ආදරයක් මට දෙනවට.


සුළඟක් වී ගීතයෙන් මම එන්නේ. මේ වෙද්දී අවුරුදු 22ක් ගත වෙලා. තාමත් එදා වගේම ආදරේ දෙනවට ස්තුතිවන්ත වෙනවා.


ඔයාගේම කියලා අලුත් නිර්මාණයක් කරන්නේ නැද්ද?


ඒකට පසුබිම සකසාගෙන යනවා. මම උත්සාහ කරනවා හැකි ඉක්මනින් ඒ ගීතය මගේ ආදරණිය රසිකත්වයට දෙන්න.


දැන් ඇයි රඟපාන්නෙ නැත්තේ


ඔස්ට්‍රේලියාවේ යන්න කලින් ලංකාවේ ජනප්‍රිය අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා ලැබුණා. හැබැයි අකමැත්තෙන් හරි ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා මගේ ඔස්ට්‍රේලියා ගමන නිසා. මම ඉතාම ගෞරව කරන ගෞරවනීය අධ්‍යක්ෂවරුන්ගෙන් මට ඒ ආරාධනා ලැබුණේ. අකමැත්තෙන් මෙන්ම ඒ අයට කරුණු පැහැදිලි කරලයි මම ඒ කාර්යයෙන් ඉවත් වුණේ. ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබුණොත් බලමු.


කලින් කරපු නිර්මාණ මොනවා හරි එන්න තියෙනවද?


එහෙම නම් මුකුත් නැහැ. මේ වෙද්දී සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් දීලා තියෙන්නේ. ඉතාම ඉක්මනින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවාද?


මගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ශෙයාර් කර ගන්න කෙනෙක් නෙවෙයි. මම හැම වෙලාවේම බෙදා ගන්නේ මගේ නිර්මාණ කටයුතු. මම හිතන්නේ ඒක හොඳයි කියලා.


ජීවිතෙ ගත්තු සමහර තීරණ ගැන අද පසුතැවෙනවද?


ජීවිතෙ ගත් තීරණ ගැන පසුතැවෙනවට වඩා අපි කරන්න ඕනේ වැරදුණු තැන් වලින් ඒක හදාගෙන අවබෝධ කරගෙන නිවැරදි කරගෙන ඉදිරියට යන එකයි. පොඩි දේටත් අපි පසුතැවෙනවා නම් ඒක නෙවෙයි අපි කරන්න ඕනේ. ඒ වැරැද්ද අවබෝධ කරගෙන හෙට දවසේ ආයෙමත් ඒ වැරැද්ද නොවෙන්න වග බලා ගන්න එක. එහෙම තමයි මම මගේ ජීවිතේ ගෙවන්නේ.


පුංචි කාලේ හිටිය නතාශාගෙ ජනප්‍රියත්වය දැන් අඩු වෙලා කියලා හිතෙන්නෙ නැද්ද ?


ජනප්‍රියත්වය කියන දේ මේ ලෝකේ තියෙන අනෙකුත් සංසිද්ධීන් වගේම සදාතනික දෙයක් නෙවෙයි. ඒක අද තියෙනවා හෙට නැති වෙනවා. ඒක අපි හැමෝටම ඒ දේ පොදුයි. අද මම ජනප්‍රියද නැද්ද කියන එක මම දන්නෙත් නැහැ. මම නිර්මාණ කරන්නේ ආදරෙන්. මම ආදරෙන් කරන නිර්මාණ පොදු රසිකත්වයට දෙන එක තමයි මට වැදගත්.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දකින්නෙ කොහොමද?


ප්‍රේක්ෂක ආදරේ ට කියන්න තියෙන්නේ අවුරුදු 22කට වැඩි කාලයක් මට දුන්නු ආදරේට හිස නමා ආචාර කරනවා කියලා. කලාකරුවන් විදියට අපිට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බැහැ ප්‍රේක්ෂක ආදරේ නැතිව. එදා දුන්නු ආදරේම අදත් දෙනවට බොහොම ස්තුතියි. සංගීතය නැති දවසක් මගේ ජීවිතේ නැති තරම්. මාව ධෛර්යවත් කරන හැමෝටම ගොඩක් පින්.


හෙට දවසේ බලාපොරොත්තු මොනවාද?


මම පොඩි කාලේ ඉඳන් වැඩුණේ කලා ක්ෂේත්‍රයත් එක්ක. ඒ නිසා කලාවෙන් තොර දෙයක් මගේ ජීවිතේ නැහැ. වෘත්තියෙන් මම නීතිඥවරියක් වුණත්, වෙන අංශවලින් අධ්‍යාපනය ලැබුවත් හැම දෙයක්ම අවසානයෙ මගේ ඇඟේ තියෙන්නේ කලාව. කලාවෙන් සංගීතයෙන් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නිර්මාණ ලබා දෙන එක තමයි එකම බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post