ඇය සිංහල, දමිළ සියලු ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කළ දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය වේදිකාවෙන් පන්නරය ලබා පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ නොමැකෙන මතක සටහන් තැබූ බව නොරහසක්. කාලෙකින් පුංචි තිරයේ දකින්නට ලැබුණු ඇය මේ දිනවල තරු ආදරේ නීලම්ගේ චරිතයට පණ පොවනවා. ඇය නමින් නිරංජනී ෂන්මුගරාජා.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?
මේ දවස්වල නම් හිරු නාළිකාවේ තරු ආදරේ ටෙලි නාට්‍යයේ ෂූටින්වලට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මම වෘත්තීයමය නිවේදිකාවක්නේ. ඉතින් නිවේදන කටයුතු සම්බන්ධ වැඩසටහන් සමඟත් කාර්යබහුල වෙලා ඉන්නවා.
කාලයකින් පුංචි තිරයේ දකින ඔබට තරු ආදරේ ‘නීලම්’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ නැති තරම්. ඊට හේතුව හැමදාම ටෙලි නාට්‍යවල හෝ සිනමා නිර්මාණයක දමිළ චරිත වැඩිපුරම ලියැවෙන්නේ යුද්ධය ආශ්‍රිතව හෝ වතුකරය ආශ්‍රිතව. එතැනින් එහාට දමිළ චරිතයක් ප්ලේ වෙන්නේ නැති තරම්. ඉතින් ඒ දෙක මූල්‍ය කරගෙන තමයි බොහෝ වෙලාවට චරිතය අපට ලැබෙන්නේ. ඒ වගේම මට ලැබුණු සමහර අත්දැකීම් අතර සමහර ටෙලි නාට්‍යවල චරිතය ගොඩනංවන විධියේ ප්‍රශ්න තිබුණා. ඒ වගේ දේවල් එක්ක මම ටෙලි නාට්‍යවලින් ඉවත් වෙලා හිටියා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කරනවා කියලා හිතාගෙන හිටියා. මේ ටෙලි නාට්‍යයට මට ප්‍රථමයෙන් ආරාධනා කළේ සංදේශ් බණ්ඩාර. ඇත්තටම මට මේ චරිතයට ආශා හිතුණා.
ඒක හොඳ පවුල් පසුබිමක් තිබෙන පවුලක අක්කගෙ දුව වෙනුවෙන් තමන්ගේ අනාගතය, ආදරය, කසාදය මේ හැමදේම කැප කරපු හරි ආදරණීය ශක්තිමත් පුංචි කෙනකුගේ චරිතයක්. චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉතාම ආදරණීයයි. ඒ වගේ කමෙන්ට්ස් ලැබෙද්දී මට හරිම සතුටුයි. අනිවාර්යෙන්ම මේ කතාව ලියන බුද්ධිනී අක්කාව මතක් කරන්න ඕනෑ. ඇය නීලම්ගෙ චරිතය ඇතුළු හැම චරිතයක්ම හරි ලස්සනට ගොඩනඟලා තිබෙනවා.
ඔබ ඔබටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් ගොඩනඟා ගත් රංගන ශිල්පිනියක්?
ඒකට අපි අපිට හරියන ගැළපෙන දේ තෝරගන්න පුරුදු වෙන්න ඕනෑ. සමාජ මාධ්‍යය තුළ වුණත් පෞද්ගලික ජීවිතයේ හැමදේම ශෙයාර් කරන තැනක මම නෑ. මම හිතන්නේ කලාකරුවකුට වටිනම දේ කාලයක් ගියත් තමන්ගේ කලා නිර්මාණය මතක සටහනක් වෙන විධියට රඟපෑම තමයි. මම හරි අමාරුවෙන් තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. වේදිකාවෙන් පන්නරය අරගෙන හොඳම අධ්‍යක්ෂවරයකු වන අශෝක හඳගම සර්ගෙන් සිනමා රංගනය ගැන හොඳ අත්දැකීමක් අරගෙන ක්ෂේත්‍රයට ආවේ. ඒ වගේ ගමනක් ආපු නිසා මම කවදාහරි දවසක වයසට ගිහින් කලාවෙන් සමුගත් දවසක සමාජ මාධ්‍ය තුළ හෝ විකිපීඩියා තුළ හෝ මගේ නම සර්ච් කරපු දවසක හොඳ නිර්මාණ ටිකක් මට වයසට ගිහින් නැවත බලන්න පුළුවන් නිර්මාණ ටිකක් ඉතිරි කරගන්න එක තමයි මගේ ලොකුම වුවමනාව.
ඔබ දැනටමත් ඒ දේ කරලා ඉවරයි. ඒ ගැන මොකද හිතන්නේ?
නිරංජනී ෂන්මුගරාජා කීවාම ඒක බ්‍රෑන්ඩ් එකක් කරගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ කලා ක්ෂේත්‍රයට මම ගොඩක් ගරු කරනවා. ඉතින් ප්‍රඩක්ෂන් එකේදී වුණත් ප්‍රශ්නයක් වුණොත් මම කෙළින් කතා කරන කෙනෙක්. සමහර තැන්වල මම එහෙම කතා කරන්න ගිහින් මට වැඩ නැති වුණු අවස්ථාත් තිබෙනවා. නමුත් එක්තරා විධියකට මම එහෙම වෙන එක අනාගතයේ ක්ෂේත්‍රයට එක්වන නළු නිළියන්ට කුමක් හෝ හොඳ මඟක් පාදයි කියලා මම විශ්වාස කරනවා. මාව අවශ්‍ය අය මාව ගනියි. මට හරියන චරිතයක් නම් ඒක මගේ හිතට ඇල්ලුවොත් මම ඒක භාර ගනියි. මගේ නම හැදිලා තිබෙන්නේ මම මෙතෙක් කාලයක් කරපු වැඩ නිසානේ. මම හැම නිර්මාණයකම හිටියා නම් මට එහෙම තැනක් ලැබෙයි කියලා හිතන්නේ නෑ. නමුත් හැම නිර්මාණයකම ඉන්නත් වාසනාවක් තිබෙන්න ඕනෑ. ඒ අයටත් මම ගෞරව කරනවා.
කලාකරුවකුගේ ඉදිරි ගමනේ අභිප්‍රේරණයට සම්මාන හිමි වීම කොතරම් වැදගත්ද?
ඇත්තටම සම්මානයක් කියන්නේ පොඩි තල්ලුවක්. ඒ කියන්නේ ඒක ඉණිමගක් වගේ. සම්මානයක් ලැබෙන්න ලැබෙන්න අපි විශ්වාසයෙන් ඒ ඉණිමග උඩට නඟිනවා. සම්මානය කියන දේ හරි වෙලාවේ හරි කෙනාට හරි නිර්මාණයට ලැබෙනවාද කියන එක තමයි ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. අද වෙද්දී සම්මානවල තිබෙන ඒ වටිනාකම නැති වෙලා දෝ කියලා සමහර තැන්වල මට හිතිලා තිබෙනවා. නමුත් සම්මානයක් කියන්නෙ හිමිකෙනාට ලැබෙන්න ඕනෑ දෙයක්. අද වෙද්දී සම්මානයක් කියන දේ සියයට හැත්තෑ පහක්ම විහිළුවක් වෙලා තිබෙන්නේ.
ලාංකේය සිනමාවේ සිදුවෙමින් පවතින වෙනස ඔබ දකින්නේ කෙසේද?
අපි මේ වගේ කාලයක් තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ බලාපොරොත්තුව ක්‍රම ක්‍රමයෙන් ඉෂ්ට වෙමින් පවතිනවා. වැදගත්ම දේ කඩා වැටෙන්න නොදී අපි මේක පවත්වාගෙන යන එක තමයි. මේ වගේ හොඳ නිර්මාණ එන සිනමා ක්ෂේත්‍රයේ මමත් ඉන්නවා කියලා හිතනකොට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ඒ වගේම එක පැත්තකින් අපිව දමිළ චරිතවලටම කොටු කරලා තිබීම ගැන හරි දුකක් දැනෙනවා. ආර්ටිස්ට් කෙනකු වයසට යද්දී ඔවුන්ට ඇක්ට් කරන්න පුළුවන් අවකාශය අඩු වෙනවනේ. මට අවුරුදු විස්සේදී කරන්න තිබුණු කැරැක්ටර්ස් දැන් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. අපි වගේ ටැමිල් ආර්ටිස්ට්ලාට එන්න එන්නම අවස්ථා ගිලිහී යනවාදෝ කියලා හිතනකොට පෞද්ගලිකව මට පුදුමාකාර දුකක් දැනෙනවා. ආර්ටිස්ට් දමිළ, සිංහල කියලා කොටු කරන්නේ නැතිව භාෂාව පුළුවන් නම් ඔවුන්ට ඒ වගේ චරිත ලබා දෙන්න ඕනෑ. මට නැති වුණත් අපෙන් පසුව එන අයට හෝ ඒ අවස්ථාව ලබා දෙනවා නම් මේ ක්ෂේත්‍රයට තවත් වටිනාකමක් එකතු වෙයි කියලා හිතනවා.
නුදුරේම තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටය සිනමාවට නව අත්දැකීමක්ද?
ඒ ෆිල්ම් එක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම වූ අත්දැකීමක් ලබා දෙයි. ඒ ෆිල්ම් එකේ සුළු සුළු චරිත පවා කරන්නේ ලංකාවේ හොඳම රංගන ශිල්පීන්-ශිල්පිනියන් පිරිසක්. ඒ වගේ ෆිල්ම් එකකට මටත් දායක වෙන්න ලැබීමම මට ලැබුණු හොඳම අවස්ථාවක්. ඇත්ත සිදුවීමක් ආශ්‍රයෙන් කළ චිත්‍රපටයක්. ඒ වගේම මෙම චිත්‍රපටයේ එක සින්දුවකට පමණයි මම රංගනයෙන් දායක වන්නේ. මම ලොකු චරිතයකට නෙවෙයි මෙහි දායකත්වය ලබා දුන්නේ. නමුත් ඒ සින්දුව ඇතුළේ තමයි මේ ෆිල්ම් එකේ ලොකුම දේ වෙන්නේ. මම ඒක හරි ආශාවෙන් භාර ගත්තා. අපි එන්නේ මිනිත්තුවකට වුණත් චරිතයක ඒක අපට දැනෙන්න ඕනෑ. ඒක සිංහල ෆිල්ම් එකක් ඇතුළේ දමිළ ගීතයක්. මම ප්‍රේක්ෂකයන්ට ෆාදර් ෆිල්ම් එක බලන්න ආදරයෙන් ආරාධනා කරනවා.
සිංහල, දමිළ සියලු ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ලෝකයේ ආශීර්වාදනීයම පිරිසක් තමයි ආර්ටිස්ට්ලා කියන්නේ. හැමවෙලේම මම සොබාදහමට, දෙවියන් වහන්සේට, මාව මේ විධියට බිහි කරපු එකට ස්තූති කරනවා. මම හැමදාම පතන්නේ කොයි ආත්මෙක වුණත් ආර්ටිස්ට් කෙනකු වෙලා ඉපදෙන්න තිබුණොත් ඇති කියලා.
රුවිනි අමරකෝන්