ඔහු ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නවමු අර්ථකථනයක් එක් කළ කලාකරුවෙක්. ඒ වගේම ලාංකේය ටෙලි නාට්‍ය කෙතෙහි තම අනන්‍යතාව තහවුරු කළ අධ්‍යක්වරයෙක්. මේ දිනවල ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ටෙලි නාට්‍ය හතරක් විකාශය වෙනවා. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දිනවල මම අධ්‍යක්ෂණය කළ සති ටෙලි නාට්‍ය රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වෙනවා. ඒ වගේම යොවුන් වසන්තය සහ සමන්මලී කියලා ටෙලි නාට්‍ය ද්වයක් මේ දිනවල සුප්‍රීම් ටීවී ඔස්සේ විකාශය වෙනවා. ඒ වගේම ආලේ කියන මගේ නවතම ටෙලි අධ්‍යක්ෂණය සිරස ටීවී ඔස්සේ විකාශය වීම පසුගිය සතියෙන් ඇරැඹුණා. ඉතින් මේ ටෙලි නාට්‍ය හතර සමඟ මගේ කාලය ගෙවී යනවා.
සති ටෙලි නාට්‍ය ගැන කතාබහ කරමු?
සති නිර්මාණය වුණේ ශාන්ති දිසානායක කියන විශිෂ්ට කතුවරියගේ අඳුන්ගිර කියන නවකතාවෙන්. සති අපි නම් කළේ කාලාත්‍රයේ ගැහැනිය කියන නාමයෙන්. කාලාත්‍රයේ ගැහැනිය කියන දෙයින් අපි සංකේතවත් කළේ අතීතය, වර්තමානය සහ අනාගතය කියන කාලයන් ත්‍රිත්වය.
කාලාත්‍රයේ ගැහැනිය කියන නාමකාය ටෙලි නාට්‍යය සමඟ මුසු වන්නේ කෙසේද?
මේ කාලාත්‍රයේ ගැහැනිය කියන නාමය මේ කතාව සමඟ යා වෙන්නේ කතාවේ එන ගැහැනියට මුණ ගැසෙන පිරිමින් තුන් දෙනකුගේ චරිත ස්වභාවයන් ඇසුරින්. මේ කතාව තුළ එක් තරුණයකු අතීතයද, තවත් තරුණයකු වර්තමානයද, තවත් තරුණයකු අනාගතයද නියෝජනය කරනවා. වර්තමාන නියෝජනය කරන තරුණයා සමාජය ගැන සිතන වාමාංශික අදහස් දරන පුද්ගලයෙක්. ඔහු කොළඹ තරුණයකු වුණත් ගැමි පරිසරයට පත් වීමක් ලබාගෙන ආ තරුණයෙක්. ඉංග්‍රීසි උගන්වන, ඉගැන්වීම ගැන වෙනස් විධියකට සිතන, රට-ලෝකය ගැන දන්න තරුණයා තමයි මේ කතාව තුළ අනාගතය නියෝජනය කරන්නේ. ඒ වගේම ඇයට වෙද ගෙදරදී මුණ ගැසෙන අතීතය සමඟ ජීවත් වන අතීතකාමී තරුණයා තමයි අතීතය නියෝජනය කරන්නේ. ඔහු පාරම්පරික වෙදකම, පාරම්පරික සටන් කලාව සමඟ දිවි ගෙවන තරුණයෙක්. මේ තුන් කට්ටුව අතර දෝලනය වන නිමාලිගේ දිවිය වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ නිසා තමයි අපි කාලාත්‍රයේ ගැහැනිය කියා මේ කතාව නම් කළේ.
අඳුන්ගිර කියන නාමය වෙනුවට සති කියන නාමය යොදා ගත්තේ කුමක් නිසාද කියනවා නම්?
මම අඳුන්ගිර කියලා වෙනත් ටෙලි නාට්‍යක් නිර්මාණය කළා. එහි තිර පිටපත රචනා කළේ ශාන්ති දිසානායක මහත්මිය. අඳුන්ගිර කියන නමට මම ගොඩක් ආශක්තයි. ඒ නිසා මම ශාන්ති දිසානායක මහත්මියගෙන් මේ නාමය ලබා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලා සිටියා. ඇත්තටම මට එකල අඳුන්ගිර නවකතාවෙන් ටෙලි නාට්‍යක් කිරීමට අදහසක් තිබුණේ නැහැ. ඒ ටෙලි නාට්‍ය සම්මාන රැසකට පාත්‍ර වුණා. සති කියලා මේ ටෙලි නාට්‍ය නම් කරන්න හේතු වුණේ මනා සතිය ඒ කියන්නේ සම්මා සතිය කියන අදහසින්. අපි සිහියෙන් වැඩකටයුතු කරනවා නම් ඛේදවාචකයකින් අවසන් වීමට නියමිත දෙය වළක්වා ගැනීමට හැකි වෙනවා. ඒ අදහසින් තමයි මම මෙය සති කියලා නම් කරන්නේ.
යොවුන් වසන්තේ ගැන කතා කරමු?
මම මීට පෙර හිරි පොද වැස්ස කියලා ටෙලියක් නිර්මාණය කළා. යොවුන් වසන්තේ කියන්නෙත් එවැනි නිර්මාණයක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් එක්ක වැඩ කරන්න ලැබීමත් මට අලුත් අත්දැකීමක් වුණා. බෝඩිමකට එක්රොක් වෙන තරුණ තරුණියන් පිරිසක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. තමන්ගේ හීනයක් හැබෑ කර ගන්න නුවරින් එන තරුණයකු සහ තමන්ගේ පවුල රැකගන්න පැමිණෙන තරුණියකගේ ජීවිතය වටා මේ කතාව ගලාගෙන යනවා. ඉතින් මේක ඇත්තටම යොවුන් වසන්තයක් තමයි.
ඔබ අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නාට්‍ය ආලේ ගැන කතා කරනවා නම්?
ආලේ කියන්නෙම ආදරණීය කතන්දරයක්. එය ආදරණීය පියෙක් වටා ගෙතෙන ආදරණීය පවුලක කතන්දරයක්. මේ පවුල සමඟ තවත් පවුල් කිහිපයක් මුසු වී ගෙතෙන කතන්දරයක් ඔස්සේ මේ කතාව ගලාගෙන යනවා. අපි අපේ අනෙකා ගැන සිතා තීන්දු තීරණ ගන්නවා නම් බොහෝ ඛේදවාචක සිදු වන්නේ අඩුවෙන්. මේ ගැන අපි ආලේ තුළ කතාබහ කරනවා. මම ලොකුවට කතාව කියන්නේ නැහැ. ඒක ඇත්තම ආදරණීය කතාවක්.
එකවර ටෙලි නාට්‍ය හතරක වැඩ කටයුතු සිදු කිරීම ඔබට අභියෝගයක් වන්නේ කෙසේද?
මම ඇත්තටම මගේ ටෙලි නාට්‍ය හතරක් එකවර විකාශය වේවි කියා සිතුවේ නැහැ. මේ වන විට රූගත කිරීම් සම්බනධයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදු වී තිබෙනවා. රූගත කිරීම් වගේම සංස්කරණ කටයුතුත් මේ දිනවල නිදිවරාගෙන බොහෝ වෙහෙස මහන්සි වී සිදු කරනවා. ඉතින් බොහෝ වේලාවට කාලය ගත වෙන්නේ අවිවේකීව. විවිධ කණ්ඩායම්, විවිධ කලාකරුවන්, විවිධ ශිල්පීන් සමඟ වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි. මම ජීවිතය විඳින්නේ මේ සමඟ නිසා මට කිසිදු ගැටලුවක් නැහැ. මම ඇතැම් විට තිරයෙන් පිටුපස සිදුවන දේවල් වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍යයට මුදාහරිනවා. අපි වැඩ කරන්නේ හරිම සතුටින්. ඉතින් මේ සමඟ අපේ විඩාව නැති වෙලා යනවා.
සිනමාවට පිවිසෙන්න අදහසක් තිබෙනවාද?
සිනමාවට පිවිසෙන්නට අදහසක් නැතිවා නොවේ. අධ්‍යක්ෂවරයකුගේ සිහිනය වෙන්නේ සිනමාව. මම ඇත්තෙන්ම සිනමාව පිළිබඳව තවමත් අත්හදා බැලීමක සිටිනවා. ලබන වසරේදී සිනමා පටයක් නිර්මාණය කරන්න අදහසක් තිබෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?
ඉදිරියේදී වැඩකටයුතු රැසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. කාලයක් පුරාවට මම නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් සිටි ටෙලි නාට්‍යක වැඩ කටයුතු සිදු කිරීමට මම බලාගෙන සිටිනවා. එයත් නවකතාවකින් නිර්මාණය වන ගිරිදේවි පන්නයේ නිර්මාණයක්. ඒ වගේම මගේ සිනමා පටයේ තිර පිටපත රචනා කිරීමේ වැඩකටයුතු සිදු කරගෙන යනවා.
ගිහාන් සචින්ත