රතු හැට්ටකාරියගෙන් ඇරඹි රංගන දිවිය තුළ වේදිකාව, පුංචි තිරය හා සිනමාව යන රංගන මාධ්‍ය තුනම දිග්විජය කළ ඔහු මෙරට කලාව තුළ නොමැකෙන නාමයක් සටහන් කළ රංගවේදියෙකි. දශක ගණනක් පුරා එක ලෙස ජනප්‍රියත්වය රඳවා තබා ගනිමින් අදටත් හෙළ කලාවට සක්‍රිය දායකත්වය ලබා දෙන ඔහු අන් කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පී ලාල් කුලරත්නයි.
රංගන ශිල්පියකුට අමතරව ලාල් කුලරත්න කියන්නේ කවුද?
මම පාසල් කිහිපයකම වාණිජ විෂය ධාරාව උගන්වපු ගුරුවරයෙක්. පස්සේ නාට්‍යයකට මාසයක විතර නිවාඩු දාලා මම රට ගියා. මාසයක කාලය වෙනුවට මාස තුනක් විතර ගියා කියලා මගේ සේවය අත්හිටෙව්වා. ගුරුවරයකුට අමතරව මම 1971දී දේශපාලනයට ද සම්බන්ධ වුණා. රස්සාවක් නැති කාලයේ මම පොඩි පොඩි ව්‍යාපාර කළා. ඊට පස්සේ මම මගේ යාළුවකුගේ මාර්ගයෙන් කොන්ත්‍රාත් වැඩ කරපු මම හිටිහැටියේ අසනීප වුණා. අසනීපයත් එක්ක ගෙදරට වෙලා හිටපු කාලයේ මම ඉදිආප්ප බිස්නස් එකක් පටන් ගත්තා.
මුලදී අපිට ඒ හින්දා පාඩු වුණා. නමුත් පස්සේ දවසට ඉදිආප්ප 30,000ක විතර ඕඩර්ස් එන තරමට ඒ ව්‍යාපාරය දියුණු වුණා. ඉදිආප්ප බිස්නස් එක දියුණු කරන්න මම ලෝන් එකක් ගන්න බැංකුවට ගිය වෙලාවක ඉදිආප්ප බිස්නස් එකකට ලෝන් එකක් ගන්න ආවා කිව්වාම බැංකුවේ මහත්තයාගේ මුහුණ වෙනස් වුණා. නමුත් මම කොහොමහරි ලෝන් එකක් අරගෙන පස්සේ මගේ ව්‍යාපාරය දියුණු කරගත්තා.
ලාල් කුලරත්න කියන රංගන ශිල්පියා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ කොහොමද?
මම නාට්‍යවල රඟපෑවේ පාසල් කාලෙමයි. අපේ කාලේ අපිට නාට්‍ය කරන්න ඕනෑ තරම් නිදහස තිබුණා. අපේ විදුහල්පති හාමුදුරුවෝ නාට්‍ය කරන්න, ක්‍රීඩා කරන්න, නැටුම්වලට යන්න ඕනි වෙලාවක අපට අවසර දුන්නා. නමුත් දැන් කාලේ ළමයිට එහෙම අවස්ථාවක් දෙන්නේ නෑ. පාසල් නාට්‍යවලින් සම්බන්ධ වූ පළමුවැනි නාට්‍යම ලංකාවේ පළමු තැන ගත්තා. ඊට පස්සේ දෙවැනි නාට්‍ය විදිහට හේමසිරි ලියනගේ මහත්මයාගේ නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒකෙන් තමයි ප්‍රධාන වේදිකාවට මම ආවේ.
චරිතාංග නළුවකු නිර්මාණය වීමට වේදිකා නාට්‍ය මොනතරම් පිටිවහලක් වෙනවාද?
වේදිකා නාට්‍යවල හොඳ ගුණාංග තිබෙනවා. වේදිකා නාට්‍ය කලාවට එනවා නම් හොඳ අවධානයක් තිබෙන්න ඕනි. මතක ශක්තිය තිබෙන්න ඕනි. හොඳ විනයක් තිබෙන්න ඕනි. මේ ඔක්කොම ගුණාංග මට ලැබුණේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමෙන්. විශේෂයෙන් වෙලාවට වැඩ කිරීමට ඉගෙන ගත්තා. අද කාලේ ශිල්පීන්ට ඒ ගුණාංගය බොහොම අඩුයි. අපි ඉස්සර වේදිකා නාට්‍යවලට එනකොට මුලින්ම අපිට පිටපත ලැබෙනවා. ඊට පස්සේ අධ්‍යක්ෂවරු අපිට ඒක විස්තර කරලා දෙනවා. මුලින්ම අපි රඟපාන්නේ නෑ. හම්බවුණ පිටපත මාසයක් විතර හොඳට කියවනවා. වචන උච්චාරණය, සමහර දෙබස්වල අර්ථ දන් නැති තැන් නිවැරැදිව අහගෙන තමයි අපි රඟපෑම් කළේ. විශේෂයෙන්ම කථන භාෂාව භාවිත කරනකොට මොන ස්වරයෙන්ද කියන්න ඕනේ වගේ කාරණා පිළිබඳව අපි වේදිකා නාට්‍ය තුළින් අවබෝධය ලබා ගත්තා. නමුත් වර්තමාන පරම්පරාවට මේ පිළිබඳව අවබෝධය අඩුයි. දෙබස් කියනවා. නමුත් ඒකෙ අර්ථය මොකක්ද? උච්චාරණය කරන්න ඕනේ ආකාරය කොහොමද කියන කාරණා ඔවුන් අඳුනන්නේ නෑ. ඒ නිසා තමා අද ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍යවලින් ගොඩක් ඈත් වෙලා ඉන්නේ. අද ප්‍රේක්ෂකයා ඉතා දියුණුයි. ඒ තරමට නළුවත් දියුණු වෙන්න ඕනා.
ගුරු ක්ෂේත්‍රයේ නියැළුණු අයකු ලෙස රංගන ශිල්පියාට අධ්‍යාපන කියන සාධකය කොතරම් බලාත්මක දෙයක්ද?
ඒක ටිකක් සංකීර්ණ කාරණාවක්. අධ්‍යාපනයට වඩා පුහුණු ක්ෂේත්‍රයේ ලබන අත්දැකීම් සහ රංගන ශිල්පියා ඇසුරු කරන පුද්ගලයන් යන සාධක රංගන ශිල්පයකට ඉතාමත් වැදගත් වෙනවා. දීර්ඝ කාලයක් රංගන ශිල්පියෙක් රංග ක්ෂේත්‍රයේ නියැළෙන විට ඔහු එහි වෘත්තිකයෙක් බවට නිරායාසයෙන් පත්වෙනවා. ජෝ අබේවික්‍රම මහත්මයලා, ගාමිණි ෆෙන්සේකා මහත්මයලා ඒ වගේ කාලයක් එක්ක රංගන ශිල්පයේ දීර්ඝ කාලයක් රැඳිලා රංග ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වුණු අය. නමුත් අද රංගන ශිල්පීන් ඔය කියන කාරණා පටලවාගෙන තිබෙනවා. ඒ අය අහපු ගමන් කියන්නේ තමා වෘත්තියෙන් නළුවෙක් කියලා. ඔවුන් ජොබ් එකයි වෘත්තියයි පටලවාගෙන ඉන්නේ. ඒ දෙක අහසට පොළොව වගේ වෙනස්. නමුත් රංගන ශිල්පියකු නිර්මාණ තෝරා ගැනීමේදී අධ්‍යාපනය කියන කාරණාව තරමක් දුරට බලපානවා.
පුංචි තිරය, රිදී තිරය, වේදිකාව තුළ රංගනන ශිල්පීන් එකම රාමුවකට සීමා වෙන අවස්ථා තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ඒක එක් අතකින් අධ්‍යක්ෂවරුන්ගේ වරදක්. තවත් අතකින් රංගන ශිල්පීන්ගෙත් වරදක්. මම ජනප්‍රිය වුණේ බට්ටි ටෙලි නාට්‍යයේ අදිරියන්ගේ චරිතයෙන්. මුල් කාලයේ අදිරියන්ගේ චරිතයට සමාන චරිතවලට රඟපාන්න මට බොහෝමයක් ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා භාර ගත්තේ නෑ. තලමල පිපිලා නාට්‍යයේ මට ලැබුණේ සභාපති කියන චරිතය ඒක කොමඩි චරිතයක්. නමුත් මම ඒ චරිතය සීරියස් චරිතයක් විදිහට රඟපෑවා. මට ඒකට හොඳම සහාය නළුවා සම්මානයත් ලැබුණා. නළුවෙක්ට කොමඩි චරිත, සිරියස් චරිත කියලා එකක් නෑ. රංගන ශිල්පියා ඒ නිර්මාණයේ අදහසට, සංකල්පයට කැමැති නම් ඕනෑම චරිතයක් කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනි.
අලුතින් එන්න තිබෙන නිර්මාණ ගැන කතා කළොත්?
මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක මං සම්පූර්ණයෙන්ම වේදිකා නාට්‍යවලින් අයින් වුණා. අනිත් එක දැන් තිබෙන වේදිකා නාට්‍යවල සංස්කෘතිය දිරවන්නෙත් නෑ. මේ දවස්වල හිරු නාළිකාවේ මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඊට අමතරව සියත, ස්වර්ණවාහිනි නාළිකා දෙකෙත් මගේ ටෙලි නාට්‍යය කිහිපයක් එන්න නියමිතව තිබෙනවා.
ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියකු ලෙස ආධුනික රංගන ශිල්පීන්ට දෙන උපදේශය මොකක්ද?
මුලින්ම පුළුවන් තරම් හොඳින් කියවන්න. දැන් තාක්ෂණය දියුණුයි. අතට ලැබිලා තිබෙන ෆෝන් එකෙන් වල්පල් කියවන්නේ නැතුව නාට්‍ය සම්බන්ධ වැදගත් දේවල් බලන්න. කියවන්න. නාට්‍ය පිටපත් හොඳින් කියවන්න. ඒවා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. අනිත් එක නිර්මාණ තෝරා ගැනීමේ හැකියාව දියුණු කරගන්න. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා නම් නිෂ්පාදනයට යටත්ව ඉන්නේ නැතුව තමන්ට හයියක් හදාගන්න. නාට්‍ය මතම යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා.
ජීවන්ත ගුණවර්ධන