රංගනය ගැන හීනයක්වත් නොතිබුණ කාලෙක තුෂිනි ප්‍රනාන්දුට නිෂ්පාදකවරයකුගෙන් ඇමතුමක් එනව. ඒ ඇමතුම තුෂිනිගෙ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වෙයි කියල ඇයවත් නොසිතන්න ඇති. එදා ‘කෝටිපතියෝ’ සමග පටන්ගත්ත ගමන බොහෝ දුර ආවත් පසුගිය කාලය පුරාවට තුෂිනිව නිර්මාණයකින් දකින්න ලැබුණෙ නැහැ. නමුත් හිටිහැටියෙම ‘මිස්ටර් මිසිස්’ එක්ක සිනමා ශාලාවට ඇවිත්. ඇත්තටම මොකද වුණේ?.
අපි තුෂිනිගෙන් ඇහුවා.
තුෂිනිට ‘මිස්ටර් මිසිස්’ සඳහා ආරාධනය ලැබෙන්නෙ කොහොමද?
‘මිස්ටර් මිසිස්’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්න කියල මට ආරාධනා කරන්නෙ චරිත් අබේසිංහ අයියා.
උද්දිකගෙ ද්විත්ව චරිතය ගැන අදහස මොන වගේද?
ඇත්තටම ඒක උද්දික අයියගෙන් මම දැකපු හරිම සුවිශේෂී රංගනයක්. මීට කලින් ඔහුව එවැනි චරිතයකින් දකින්න ලැබිල නැති නිසා අපිටත් ඒක වෙනස්ම අත්දැකීමක් වුණා වගේම ඔහු චරිතයට උපරිම සාධාරණයක් කළා කියල විශ්වාස කරනව. මේක මගේ සිනමා දිවියේ පළමු ප්‍රහසන චිත්‍රපටය. ප්‍රහසනයක් වුණත් මේ නිර්මාණය තුළ සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න පුළුවන් ලොකු කතාවක් තියෙනව.
ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙහි චරිත නිරූපණය කරනවා?
ඔව්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, දිනක්‍ෂි ප්‍රියසාද්, මිහිර සිරිතිලක, පියුමි බොතේජු වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙහි චරිත නිරූපණය කරනවා. නවක රංගන ශිල්පිනියක් හැටියට ඔවුන් සමග වැඩකරන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා.
ලවර්ස් ලීප් සහ චංචල රේඛා යන ටෙලි නාට්‍ය දෙකෙනුත් ඔබව දකින්න ලැබෙනවා?
ඔව්, ඒ ටෙලි නාට්‍ය දෙකම මගේ වෙනස්ම චරිත දෙකකින් ඉතාමත් හොඳ ප්‍රතිචාර මැද මේ දිනවල විකාශය වෙනවා.
චරිත ගැන කතා කළොත්?
ලවර්ස් ලීප් තුළින් මම නිරූපණය කරන්නෙ බටහිර පන්නයට හුරු යුවතියක් සහ විලන් චරිතයක්. ඒ වගේම චංචල රේඛා හි තියෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මෙහිදී මම නිරූපණය කරන්නෙ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය චංචල රේඛා චිත්‍රපටයේ නිරූපණය කළ කමලා කියන පාසල් ගුරුවරියගේ චරිතය.
මේ චරිතය අභියෝගාත්මකයි?
ඔව්, ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය කියන්නෙ රංගන ක්‍ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. එවැනි කෙනෙක් නිරූපණය කළ චරිතයක් තමයි මට නැවත නිරූපණය කරන්න සිදුවෙලා තියෙන්නෙ. මේ චරිතය මීට කලින් මිනිස්සු අතරට ගිහින් තියෙන නිසා ඇයගේ රංගනයට කිසිදු අසාධාරණයක් නොකර නැවතත් මිනිසුන් අතරට ගෙන යෑම ඉතාමත් අභියෝගාත්මකයි.
ඒ අභියෝගය ජයගත්තාද?
මම හිතනව එහෙම වෙන්න ඇති කියල. දැනට බොහෝ දෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඉතිරි ටිකත් ප්‍රේක්‍ෂකයන්ට භාරයි. නමුත් හොඳ ප්‍රතිචාර වගේම විවේචනත් මම භාරගන්නව. මොකද ඒ දේවල්වලින් තමයි අපේ වැරැද්දක් තියෙනවනම් ඒක හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ.
ඔබ එකම රාමුවකට කොටුවෙන්න කැමති නැහැ?
ඔව් මම කැමතියි වෙනස් චරිත කරන්න. එකම මාදිලියේ චරිත නිරූපණය කරනකොට සමහරවිට අපිට දැනෙන්නෙ නැහැ අපි මොනවද කරන්නෙ කියල.
තුෂින්ගෙ වෘත්තිය වෙන්නෙ රංගනය?
රංගනය කියන්නෙ මම විඳිමින් හරිම ආසාවෙන් කරන දෙයක්. ඒක විනෝදාංශයක් කියන්න බැහැ. අනිවාර්යයෙන්ම වෘත්තියක්. එහි හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න නම් ඒ වෘත්තියට අදාළ හැදෑරීම, හැඩගැසීම්, සූදානම් වීම්, අධ්‍යයනයන් කරන්න ඕන. ඒහෙම නොවුණොත් ඒ විෂයය තුළ අපිට සාර්ථක ගමනක් යන්න බැහැ. ඒ නිසා හොබී එකට රඟපානව කියල මම කවදාවත් කියන්නෙ නැහැ.
මේ විෂයය තෝරාගත්තෙ ඇයි?
ඇත්තටම මේක මට පොඩිකාලෙ ඉඳන් තිබුණ ආසාවක් නෙමෙයි. ගොඩක් ළමයි වගේම ඒ කාලෙ මටත් තිබුණෙ ඩොක්ටර් කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, ටීචර් කෙනෙක් වෙන හීනයක්. මම ජීවත් වුණේ ඉතාලියේ. මගේ පවුලේ අය ඉන්නෙ එහේ. මම කරපු ෆොටෝ ෂූට් එකක් දැකල මගේ යාළුවෙක් හරහා චාමර සමරවික්‍රම අයිය මට කතාකරල කිව්වෙ ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරාගෙන තියෙනව, සම්බන්ධ වෙන්න පුළුවන්ද කියල. එතැනින් තමයි මම පළමු වතාවට රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ.
‘කෝටිපතියෝ’ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණා?
අනිවාර්යයෙන්ම. ඒ වනතුරු මම රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. ඒක මගේ විෂයය වෙලා තිබුණෙ නැහැ.
ලංකාවට ආවට පස්සෙ නිර්මාණ රැසක් ලැබුණා. නැවත ඉතාලියට යන්න අදහසක් නැද්ද?
පසුගිය කාලයේ මගෙ වීසාවල ප්‍රශ්නයක් නිසා සහ මගේ පවුලේ අය නිසා ලංකාවට එන්න ලැබුණෙ නැහැ. ඒ නිසා නිර්මාණවලින් මාව දකින්න ලැබුණෙත් නැහැ. මේ වතාවෙ මම ලංකාවට ආවෙ රජීව් සිවදාසන් මහත්මයාගෙ ‘ඇයයි මමයි’ කියන සිනමා නිර්මාණයේ රූගතකිරීම් වලට සම්බන්ධ වෙන්න. ඒ ආවට පස්සෙ මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් තෝරාගත් කිහිපයකට මම සම්බන්ධ වුණා. සිනමා නිර්මාණ දෙකක් සහ ටෙලි නිර්මාණ දෙකක් ඉදිරියේදි එළිදැක්වීමට නියමිතව තියෙනව. ඉතිං මේ වැඩ ටික ඉවර වෙනතුරු නැවත ඉතාලියට යන්න වෙන්නෙ නැහැ.
ඔබේ වැඩි කැමැත්ත මොන රටටද?
මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නෙ ලංකාවෙ ජීවත් වෙන්න. මොකද මට ජීවත් වෙනව කියල දැනෙන්නෙ ලංකාවෙ ඉන්නකොට. වෙන රටකදි මොන දේ අපිට තිබුණත් ලංකාවෙ ඉන්නකොට තමයි තමන්ගෙකම දැනෙන්නෙ. අපේ රට කියන හැඟීමෙන් අපිට තවත් රටක ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මගේ අදහසක් තියෙනව ඉදිරියේදී ලංකාවේ පදිංචි වෙන්න.
මහේෂ් එදිරිසිංහ