චීනයේ පැවති ‘සුපර් මොඩ්ල් යුනිවර්ස් -2025’ (Super Model Universe – 2025) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සුදිනි සින්දවි වික්‍රමආරච්චි එහිදී ඇය ඉදිරිපත් කළ ඇඳුම් නිර්මාණයට එම තරගාවලියේ ‘හොඳම ජාතික ඇඳුම’ (Best National Costume)ට හිමි සම්මානය දිනාගත්තාය. මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 32 ක නිරූපණ ශිල්පිණියන් ඉදිරිපත් වී සිටි අතර, එය ඉකුත් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා චීනයේ ෂෙන්ෂෙන් නුවර දී (Shenzhen) පැවැත්විණි. මෙම තරගාවලියේ දී කිලෝග්‍රෑම් 22 ක බරකින් යුතු සීගිරි අප්සරාවියක් නිරූපණය වන ආකාරයට ඇය සිය ඇඳුම නිර්මාණය කර තිබුණි. ජයග්‍රහණයෙන් අනතුරුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව මීවිත පාඨයකයන් වෙනුවෙන් මෙලෙස අදහස් දැක්වූවාය.
මෙම තරගාවලිය සඳහා රටවල් තිහකට අධික සංඛ්‍යාවක් සහභාගි වුණා. එහිදී හැම තරගකාරිනියක්ම නැෂනල් කොස්ටියුම් එකක් ඇන්දා. ඒ හැමෝගෙන්ම මට මගේ රටට ප්‍රථම ස්ථානය ලබාදීමට හැකිවීම ලොකු ජයග්‍රහණයක්. අපේ සංස්කෘතිය නියෝජනය කරන සීගිරි අප්සරාවි කියන තේමාව අනුව තමයි ජාතික ඇඳුම නිර්මාණය කළේ. මම මේ සඳහා සහභාගි වුණේ තනියමයි. මට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ලොකු ජයග්‍රහණයක් ලබාදීමට හැකිවුණා යැයි ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ යන්න පැනයට ඇය පැවසුවාය.
ඇඳුම නිර්මාණය කළ ආකාරය ගැනත් සුදිනි පැවසුවේ මෙවැන්නකි. මගේ ජාතික ඇඳුම නිර්මාණය කළේ වෙදගේ නාමල් අයියා. මේ ඇඳුම කිලෝ විසිදෙකක් බරයි. තරගාවලිය සඳහා මම තනියම චීනයට ගිහින් සහභාගි වුණේ. තරගාවලියට සහභාගි වුණදාට පහුවෙනිදාම තමයි මම මේ තරගය පැවැත්වුණේ. මම නිදිමරාගෙන මහන්සිවෙලා ඇඳුම හදාගෙන ඇන්දා. තරගාවලියට සහභාගි වෙන්න දවස් දෙකකට විතර කලින් තමයි ඇඳුම නිර්මාණය කළේ. මේ ඇඳුම සඳහා අමතර ලොකු වියදමක් කරලයි චීනයට රැගෙන ගියේ. ඇඳුම නැවත ලංකාවට අරගෙන එන්නත් අපේ අතින් ලොකු වියදමක් දරන්න සිද්ද වුණා. තවද මම ෆ්ලයි කරන්න ඇඳපු ඇඳුම නිර්මාණය කරලා දුන්නා අශෝක් අයියා. මගේ ඡායාරූප ටික ප්‍රවීන් ලෝචන අයියා කරලා දුන්නා. මේකප් එක මට කරලා දුන්නා නැන්දි මනාලියෝ.
මට මේ අවස්ථාව හම්බවුණේ පසුගිය ජූලි මාසයේ පැවැති සුපර් මොඩ්ල් යුනිවර්ස් තරගය සහ මිස් ටුවරිසම් ශ්‍රී ලංකා තරගය ඇතුළේ තමයි මාව ජයග්‍රාහිකාව විදිහට තේරුණේ. ඒ අනුව තමයි මම නොවැම්බර් මාසයේ පැවැති මෙම තරගාවලියට ඉදිරිපත් වුණේ. මට මේ අවස්ථාව ලබාදීම ජාතික අධ්‍යක්ෂ දමිත් අංජු සර්වත් මේ වෙලාවේ මතක් කළ යුතුමයි. මගේ ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලබාදුන්නා.
මට මේ වගේ ඇඳුමක් අඳින්න අදහසක් තිබුණේ නැහැ. නමුත් මම වෙදගේ නාමල් අයියාගෙන් ඉල්ලුවේ අපේ සංස්කෘතිය නිර්මාණය කරන්න අනෙක් රටවල්වලට වඩා වෙනස් දෙයක් තමයි ඉල්ලුවේ. එතකොට මේ තරගාවලියට ඔවුන් ඔවුන්ගේ රටවල සංස්කෘතිය නියෝජනය වන පරිදි ඇඳුම් නිර්මාණය කරලා තිබුණා. ඒ අතුරින් මගේ ඇඳුමට විශේෂ අවධානයක් යොමුවුණා. කිලෝ විසිදෙකක් වුණාට මම මේ බර උහුලාගෙන ඉන්නේ රට වෙනුවෙන් කියලා හිතෙන කොට මට මාර ශක්තියක්.
මම පාසල් තුනකට ගියා.
හේනේගම ප්‍රාථමික විද්‍යාලය, හේනේගම මධ්‍ය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හැදෑරුවා. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරලා කොළඹ සෞන්දර්ය විද්‍යාලයේ සංගීත පීඨයට ඇතුළත් වුණා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. ඒ වගේම දැනට මම සංගීත විශාරදවරියක් විදිහට කටයුතු කරනවා. 2018 වසරේ තමයි මම සංගීත විශාරද වරියක් වුණේ. ඔය අතරේ නිරූපණ ක්ෂේත්‍රයේත්, රංගන ක්ෂේත්‍රයේත් දැනට වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි සංගීත ක්ෂේත්‍රයට තමයි මූලිකත්වය ලබාදීලා තියෙන්නේ යනුවෙන් සුදිනි අගේ පෞද්ගලික තොරතුරු මීවිත පාඨකයන්ට පැවසුවාය.
මම දැනට මගේම ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මගේම නිර්මාණවලට පද රචනාවන් සහ තනු නිර්මාණයත් සිදුකරලා තිබෙනවා. මගේ පළමු ගීතය සරස්වතී දේව මෑණියන්ට කරපු නිර්මාණයක්. දෙවැනි ගීතය මං ආවේ කියලා වෙනස් ශෛලියක ගීතයක්. තුන්වැන්න මට ආරාධනාවක් ලැබිලා මතක පොත කියලා ගීතයක් ගායනා කළා. ඊට පස්සේ මම රෙගේ ශෛලියට ගීතයක් ගායනා කළා.
මගේ පළමු ටෙලිනාට්‍ය තමයි 2022 වසරේ විකාශනය වුණු ශාන් ජයරත්න අයියා අධ්‍යක්ෂණය කළ අක්ෂි ටෙලිනාට්‍ය. ඊට අමතරව හර්ෂ උඩකන්ද අයියාගේ රෝස ආදරේ සිනමා නිර්මාණයටත් සම්බන්ධ වුණා. තව ශාන් ජයරත්නගේ සෝනා සිනමා නිර්මාණයෙත් පොඩි චරිතයකට සම්බන්ධ වුණා. දැනට මට දකුණු ඉන්දීය සිනමාවටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. සම්මුඛ පරීක්ෂණයකින් තමයි ඔවුන් මාව තෝරාගත්තේ. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න ලැබේවි. මම කොහොමත් තෝරාබේරාගෙන ගැළපෙන චරිත රඟපාන්න කැමැතියි. ඔය අතරේ දැනට මම බෙලෝස් ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන එම්. ඩී. චතුර පෙරේරාගේ පුතණුවන් විසින් මෙහෙයවන බුල්ඩෝග් කියන එකෝස්ටික් බෑන්ඩ් එකේ නිත්‍ය ගායිකාවක් විදිහට කටයුතු කරනවා.
දිනේෂ් විතාන