මෙයාට අපි ආදරේට කියන්නේ ලොකු අයියා කියලා. රඟපෑමේදී නම් මෙයා ඇත්තටම ලොකු අයියා තමයි. තමන් කරන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන දක්ෂ රංගධරයෙක්. ඉන්දියන් සාගරයේ මුතු ඇටයෙන් ඔබ්බටත් දැන් දැන් මෙයාගේ රඟපෑම් වැඩ ගැන කතාබහට ලක්වෙනවා. ඒ විතරක් නෙමෙයි සම්මාන උළෙලවල හොඳම නළුවාට නිර්දේශත් වෙනවා. ඔය අතරේ ලොකු අයියාගේ චිත්‍රපට දෙකක් ලංකාවේ මේ දවස්වල තිරගත වෙනවා. එකක් තමයි අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාරියා’ චිත්‍රපටය. අනෙක් චිත්‍රපටය තමයි චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ Mr. මිසිස්. මේ චිත්‍රපට දෙක වගේම හෙට අනිද්දාට ඔහු සහභාගිවන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙල පිළිබඳවත් අපේ ලොකු අයියා එහෙමත් නැතිනම් මහේන්ද්‍ර පෙරේරා එක්ක පොඩි චැට් එකක් දැම්මා.
ඔබ සහ රන්දික රංගනයෙන් දායක වුණු රිවස්ටන් චිත්‍රපටයේ ඔබ දෙදෙනා සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට නිර්දේශවෙලා තිබෙනවා නේද?
මේ ආරංචිය ලැබුණහම ඇත්තටම ලොකු සතුටක් ආවා. ඒ වගේම ඒ චිත්‍රපටයේ රන්දිකගේ රඟපෑම් ඉතාම විශිෂ්ටයි. ඒක මාරයි. මම හිතාගෙන හිටියා කොහොම හරි තැනකදී රන්දික හොඳම නළුවාට නිර්දේශ වෙනවා ෂුවර් කියලා. නමුත් අපි දෙන්නම නිර්දේශ වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඉතිං සන්තෝෂයක් ආවා ලොකු අයියේ ඊළඟ පරම්පරාවත් එක්ක අපිත් ඉන්නවා කියලා.
තවම ලොකු අයියා වැඩේ අතහැරලා නැහැ. කාගෙන ඉන්නවා? එහෙමද?
අල්ලගෙන ඉන්නවා, මේක කාගෙන විකාගෙන ඉන්නවා. ඊළඟ පරම්පරාව කියන්නේ මේ ළඟම පරම්පරාවනේ. ළඟම පරම්පරාව එක්ක මෙහෙම ඉන්නවා කියන එකට මටම සන්තෝෂ හිතුණා. සම්මානය හම්බ වුණත් එකයි නැතත් එකයි. ඇත්තටම අපි මේ රඟපෑම කරගෙන යන විදිහ ගැන සන්තෝෂයක් දැනෙනවා. ඒත් එක්කම ලලිත් රත්නායකට ස්තූතිවන්ත වෙන්න ඕනෑ අපිව මෙහෙයවපු විදිහට. ඒක හරිම සුන්දරයි. බොහොම අමාරු පරිසරයක තමයි ෂූට් කළේ.
ඔය අතරේ ඔබ රංගනයෙන් දායක වුණු ‘පැරඩයිස්’ චිත්‍රපටයටත් කේරළ රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් හිමි වෙනවා නේද?
ඒ ගැනත් විශේෂ සතුටක් තියෙනවා. මලයාලම් සිනමාව, ඉන්දියානු සිනමාව ඇතුළේ ඒ වගේ තැනකට එන්න ලේසි නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක් කියලයි මට නම් හිතෙන්නේ. අපි එළියට යන්න දොරටු විවර කරගන්න හදන තවත් එක්තරා අවස්ථාවක් කියලයි මට නම් හිතෙන්නේ.
ඇත්තටම ඔබට වෝනර් බ්‍රදර්ස්, යුනිවර්සල් වැනි චිත්‍රපට සමාගම් සමග වැඩ කරන්න හීනයක් නැතිද? ඔබ දොරටු විවර කරගෙන නේද ඉන්නේ?
නැහැ. මෙහෙම කේස් එකක් තියෙනවානේ. මම හීන දකින්නේ නැහැ ලොකු අයියේ. හීන දකිනවා නම් ඔයා නිදාගන්න. නිදාගත්තොත් හොඳට හීන දකී. නමුත් අවදිවෙලා ඉන්න කොට හීන දකිනවා කියන කොට මට හිතාගන්න අමාරුයි. අරමුණක් තියෙන්න ඕනෑ, ඒ අරමුණ පැහැදිලි වෙන්න ඕනෑ. ඒ ජර්නි එකට ගමනට ලෑස්ති වෙන්න ඕනෑ. මගදී කන්න නැතිවේවි. වතුර නැතිවේවි.
හොයාගෙන යන්න ඕනෑ. ආපහු යන්න බැහැ. මේ ජර්නි එක වෙනමම කතාවක් ලොකු අයියේ.
ඔබ ඒ කතාවේ යම් දුරක් මේ වෙනකොට ඇවිත් කියලා හිතෙන්නේ නැතිද?
එහෙම ඇවිත් තියෙනවා කියලා මට හිතෙනවා. මේ ළඟකදී මට මලයාලම් සිනමාවේ චිත්‍රපටයක ඇක්ට් කරන්න හම්බ වුණා. මුළු චිත්‍රපටයටම මට දර්ශන හතරයි තිබුණේ ඇක්ට් කරන්න. මං ඒ දර්ශන හතර ඇක්ට් කරන්න ඉන්දියාවට ගියා. එහෙම තෝරා ගැනීමක් සිද්ධ වුණේ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය හින්දා. ප්‍රසන්න මට වෙනම දොරක් ඇරල දෙනවා ඉන්දියාවට ගමනක් ආරම්භ කරන්න.
එතකොට එක්තරා අවස්ථාවකදී ප්‍රසන්නගේ පැරඩයිස් චිත්‍රපටයේ, මුම්බායි විචාරක සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට නිර්දේශ වෙනවා. පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙන් මම මුම්බායි යනවා. නමුත් මට සම්මානය හම්බ වුණේ නැහැ. මට නම් සම්මානය හම්බ වුණා වගේ තමයි. එතකොට නිව්ටවුන් සිනමා සමාගමේ අන්ටෝ කිව්වා “හරි සන්තෝෂයි ඔයා මුම්බායි විචාරක සම්මාන උළෙලේ හොඳම නළුවාට නිර්දේශවීම. ඒකට ගරු කිරීමකට මම තව මලයාලම් චිත්‍රපටයක් කරනවා සලීම් අහමඩ් කියල අධ්‍යක්ෂවරයෙක් සමග. එයාගේ චිත්‍රපටයේ දර්ශන හතරක් මම ඔයාට දෙනවා කියලා කිව්වා. ඊට පසුව මම දෙවරක් ඉන්දියාවට යනවා. ඒ දර්ශන හතර රඟපාන්න. මගේ විෂන් එකත් තව පොඩ්ඩක් එහාට ගන්න ඕනෑ කියන තැනට මාව තල්ලුවෙලා ගියා. ඉතිං ඒ සියලු දේ සිද්ධ වුණේ ප්‍රසන්න විතානගේ නිසයි. ප්‍රසන්න මාව පැරඩයිස් චිත්‍රපටයේ සාජන් බණ්ඩාරගේ චරිතයට තෝරා නොගත්තා නම් අද මේ කිසිදෙයක් මට හම්බවෙන්නේ නැහැ.
සාජන් බණ්ඩාර කියන්නේ ඔබේ ජීවිතයට තීරණාත්මක චරිතයක්. එහෙමද?
ඇත්තටම තීරණාත්මක චරිතයක්, ලොකු හැරවුම් ලක්ෂයක් වගෙයි. එතැනින් පස්සේ මට සිද්ධ වෙනවා ඇක්ටින්වලින් වෙන තැනකට තල්ලු වෙලා යන්න. ඇක්ටින් කියන්නේ මගේ ජීවිතයම කරගෙන ඉන්න එකක්. ජීවිතයේ නොම්මර එක. මේ සොයායෑම එහෙමමයි.
ඔබ රඟපෑම උගන්වන ගමන් අධ්‍යයන කාර්යයේ යෙදෙන රංගධරයෙක් විදිහට අපි දකිනවා?
නැහැ ඉතිං එහෙම වෙන්න වෙනවා. හැමෝටම එහෙම වෙන්න පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ. මොකද මම හැත්තෑ ගණන්වල මේකට එන්ටර් වෙන කොටයි, අසූවෙදි කරපු දේවලුයි, මං අනූවෙදි කරපු දේවලුයි, 2010, 2020, 2025 වෙනකොට කරපු දේවලුයි ඇත්තටම වෙනස්නේ. හැත්තෑ ගණන්වල තිබිච්ච ලෝකයද දැන් තියෙන්නේ. නැහැ හැත්තෑ ගණන්වල තිබිච්ච සමාජය ද පරිසරය ද දැන් තියෙන්නේ. නැහැ. සියලුම දේ වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේක විතරක් වෙනස් නොවී තියෙන්න බැහැ. මම මේක තුළ තවමත් සොයාගෙන යෑම කළ යුතුමයි.
මේ දවස්වල ඔබේ විශිෂ්ට රංගනයක් අපි දකිනවා. ‘මාරියා’ හි කැප්ටන් (විලී) ගේ චරිතය හරහා?
ඔය පිටපතේ ඔයිට වඩා මහා විශාල වෙනස් පිටපතක් තිබුණේ. ඔය ප්ලොට් එකත් එක්ක මායි අරුණ ජයවර්ධනයි අපේ ගෙදර වගේම එක එක තැන්වල සෙට්වෙලා කතා කළා. ඊට පස්සේ ඔය කතාව වෙනස් වෙවී වෙනස් වෙවී ආවා. කාලයක් අරුණගෙයි මගෙයි ඔය පිටපතත් එක්ක ලොකු ඇසුරක් තිබ්බා ඕක වෙනස්වෙන විදිහ. ඒකට නළු නිළියන් තෝරගන්න විදිහ ගැනත් අරුණ මාත් එක්ක කතා කළා. එහෙම පෝෂණය වෙලා ආපු චිත්‍රපටයක් තමයි මාරියා.
මුහුද මැද රූගත කිීරීම් කරපු කාලය ගැන මොකද හිතෙන්නේ?
මුලදී නම් මේක බිහිසුණු අත්දැකීමක් කියල හිතුණේ නැහැ. ගැඹුරු මුහුදට ගියහම තමයි වැඩේ ගැඹුර දැනුණේ. තනි බෝට්ටුවයි නළුවන් හත් දෙනයි කැමරා අධ්‍යක්ෂවරයයි, අධ්‍යක්ෂවරයයි වැඩේ ලේසි නැහැ.මෙහි නිෂ්පාදක ඉන්ද්‍රජිත් විශාල සහයෝගයක් ලබාදුන්නා අපිට කිසි අඩුපාඩුවක් කළේ නැහැ.
මෙහෙම අත්දැකීමක් වින්දේ ජීවිතයේ පළමු වැනි වතාවට ද?
පළමු වැනි වතාවට.
ඔබට පිහිනන්නත් බැහැ නේද?
බැහැ බැහැ. මට පීනන්න බෑ.
එතකොට බය හිතුණේ නැත්ද?
නැහැ. මම ඉතිං කොහොමටත් වතුරට පනින්නේ නැහැනේ.
එතකොට ඇන්ටන්ට (හේමාල්) පනින්න කිව්වේ?
ඒක සීන් එකේ හැටියට කියන්න වෙනවානේ. හේමාල්ටත් ලොකුවට පිහිනන්න බැහැ. හැබැයි ඔහු වෙනමම පිහිනීම ඉගෙන ගත්තා. වැඩ ටික ඉගෙන ගෙන තමයි ෂූට් එකට ආවේ. දර්ශනයට අවශ්‍ය විදිහට වතුරේ හැසිරෙන්න ඔහු අවශ්‍ය දේවල් හදාගෙන ආවේ. මට පනින්න කිව්ව නම් මොකක් හරි සෙල්ලමක් දානවා. වතුරට පනින්න ගිහිල්ලා හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනවානේ. මූදු වතුරට නම් කොහොමටත් බයයි. ගැඹුරු මුහුදට ගිහිල්ලා වතුරේ පාට දැක්ක විතරයි ඇඟ රත්වෙලා ගියා.
මහේන්ද්‍රට පීනන චරිත හම්බවෙනකොට මොකද වෙන්නේ?
එහෙම පීනන චරිතයක්නේ, අස්වැසුම කරන්න ගිහිල්ලා කෝට් එකේ අත්දෙක හිරවෙලා මම වතුරේ ගිලුණේ. නමුත් එහෙම මට පිහිනන්න තිබ්බොත් ඔවුන්ට කියනවා මට එහෙම බැහැ. මෙන්න මෙහෙම කරමු කියල ඕකට කොහොම හරි උප්පර වැට්ටියක් දාගන්නවා.
හැම වැඩේම දන්න මහේන්ද්‍ර පීනන්න පුරුදු වෙන්න උනන්දු නැත්තේ ඇයි?
මම පොඩි කාලෙ ඉඳලා හැදුණේ ගල්කිස්සේ. ගල්කිස්සේ හැඳිලා, ගල්කිස්සේ බීච් එකේ දවසේ පැය 24 ම ඉඳපු වෙලාවලුත් තියෙනවා. ඒ ඉඳලත් මට පීනන්න බැහැ. මගේ යාළුවෝ බස බස බස ගාලා පීනනවා. මම එදා ඉඳලා වතුරට බයයි.
කැප්ටන් එක්ක වැඩ්ඩෝ හත් දෙනෙක් එකට රඟපානවා. මොකද හිතුණේ?
ඒක හින්දා වෙන්න ඇති වියට්නාම් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හත් දෙනාටම හොඳම නළුවා සම්මානය හම්බ වුණේ. අපි හැමෝම ඒක හරි ලස්සනට බෙදා හදාගෙන කිසිකෙනෙක් කැපී පෙනෙන්න දඟලන්නේ නැතිව වැඩේ කළා.
ඔබත් සමග මෙහි රඟපෑ දර්ශන් ධර්මරාජ් චිත්‍රපටය තිරගත වෙනකොට අපි සියලු දෙනාම හැරගිහිල්ලා?
ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. රඟපාන්න දැඩි වුවමනාවකින්, දැඩි ආසාවකින්, දැඩි කැපවීමකින් ආපු නළුවෙක්. හරි අඩුයි ඒ වාගේ නළුවෝ බිහිවීම.
මෙහි හේමාල් සහ අශාන්ගේ රංගනයන් ඔබ දකින්නේ කොහොමද?
ඉතාම දක්ෂ නළුවෝ. රඟපෑම කියන විෂයට ආත්මය කැප කරලා ඉන්න නළුවෝ. ඒ කැපකිරීම විවිධයි. ඒ වුණාට රඟපෑම දැඩි වුවමනාවකින් දැඩි කැපවීමකින් සොයාගෙන යන දෙන්නෙක්. ඒ දෙන්නා විතරක් නෙමෙයි ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණත් එහෙමයි. මේ විෂය තුළ සොයාගෙන යන සාධාරණව හැසිරෙන නළුවෝ.
මේ නළුවන් මාරියා සඳහා තෝරා ගැනීමේදී ඔබත් සමග අරුණ කතාබහ කළා ද?
ඔව්… ඔව්… ඔය පිටපත හයදෙනා බවට වර්ධනය වුණේ දෙන්නෙක්ගෙන්. මුලින්ම සාමාන්‍ය බෝට්ටුවක ඉන්න දෙන්නෙක්ට වෙන අතවරය තමයි ගෙනැල්ලා ගෙනැල්ලා ට්‍රෝලර් එකට ගෙනැල්ලා හත්දෙනෙකුට පුළුල් කළේ. මුලින් හිටියේ දෙන්නයි. මායි තව එක්කෙනෙකුයි.
ට්‍රෝලර් යාත්‍රා පදවන්න එහෙම පුරුදු වුණාද?
රූගත කිරීමට පෙර අපි දවස් දෙකක් විතර මුහුදේ ගිහිල්ලා අත්දැකීමක් ලබාගත්තා. මම කැප්ටන් එක්ක ගිහිල්ලා ඔහු බෝට්ටුවක් හසුරුවන විදිහ කොම්පාස් එකෙන් නැවිගේට් කරන විදිහ ගැන එහෙම අත්දැකීමක් ලබාගත්තා. මොකද එහෙම සූදානමක් නැතිව දවස් දෙකකින් මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මෙහි කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියටත් විශාල මහන්සියක් දරන්න සිද්ධ වුණා.
හැනෝයි ෆෙස්ටිවල් එකේදී ජූරිය විමසනවා මේක ඇත්තටම මුහුදේද රූගත කළේ? නැත්නම් දර්ශන තලයකද කියලත්?
ඔව්… ඔව්… එහෙම අහලා තිබුණා. අපිත් මුලදී මේ ගැන කතාබහ කරන කොට සෙට් එකක් ගහලා වතුර පුරෝගෙන ටයිටැනික් කළා වගේ කරන්න බැරිද කියලා තමයි හිතුවේ. ඒක අපිට කරන්න බැහැ. මේක ඇවිල්ලා වෙන විශාල වැඩක්. ඊට වැඩිය ලේසියි ගැඹුරු මුහුදට ගිහිල්ලා බෝට්ටුවක මේක ෂූට් කරන එක.
ඔබ රංගනයෙන් දායක වුණු ඵරග මිසිස් චිත්‍රපටයත් තිරගත වෙනවා නේද?
ඔව්… ඔව්… වැඩේ තියෙන්නේ එකම දවසේ දෙකම තිරගතවීම. චරිත් අබේසිංහගේ ඵරග මිසිස් කියන්නේ හාස්‍යෝත්පාදක වැඩක්. ඒක ත්‍රිල් එකේ බලන්න පුළුවන් වැඩක්.
දිනේෂ් විතාන