පළමු වතාවට සිනමා සම්මානයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ….?
ලොකු සතුටක් දැනෙනවා. මේ චරිතය වෙනත් සිනමා සම්මාන උලෙළවලදීත් විනිසුරුවන් ඉදිරියේ දිගහැරුණා. නමුත් කිසි කෙනෙකුට ඒ චරිතය පෙනිලා තිබුණේ නැහැ. සිග්නීස් සම්මාන තේරීම් කණ්ඩායමට එය පෙනීම ගැන සතුටුයි. සම්මානයක් කියන්නේ ඊළඟ වැඩවලට ලොකු දිරි දීමක් හැටියට මම සලකනවා. ජගත් මනුවර්ණ අධ්යක්ෂණ කාර්යයේදී වගේ ම තරුණයෙක් හැටියට මේ චිත්‍රපටය වෙනුවෙන් විශාල මහන්සියක් දැරුවා. පිරිවැය දරන්න නිෂ්පාදකවරයෙක් සොයා ගන්න ඔහුට පහසු වුණේ නැහැ. අපිත් මුදල් ගැන හිතන්නේ නැතුව නිර්මාණය පැත්තෙන් සහ අලුත් දේකට අත දෙන්න ඕනේ කියන හැඟීමෙන් කැපවීමෙන් මේ චිත්‍රපටයේ වැඩ කළා.
ජගත් මනුවර්ණ ඇතුළු මේ චිත්‍රපටය වෙනුවෙන් දහඩිය කඳුළු හැලූ හැමෝට ම මම ආදරෙයි. ස්තුතියි. මං ගැන හැරිලා බලද්දි මගේ ජීවිතයේ අමාරු ම අවස්ථාවලත් මේ රංගන ජීවිතය අත්නොහැර අල්ලගෙන ඉන්න හැකි වීම ගැන මම මුලින් ම මට ස්තුතිවන්ත වෙනවා.
රංගනයට අවතීර්ණ වන්නේ කොහොම ද…?
අවිස්සාවේල්ල මැදගොඩ මගේ ගම යි. මම පාසල් ගියේ සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට යි. පාසලේ මම කැපී පෙනෙන ශිෂ්‍යයෙක් නෙවෙයි. නමුත් පාසල් කාලයේ පටන් හොඳ සම්මානනීය ජාත්‍යන්තර චිත්‍රපට ආදිය ගැන මගේ විශේෂ උනන්දුවක් තිබුණා. මම ඒවා හොයාගෙන නැරඹුවා. රඟපෑම ගැන උනන්දුවක් තිබුණා. සිනමාව ගැන ලියවුණු පුවත්පත් ලිපි මම කියෙව්වා. පාසල් කාලයෙන් පස්සේ මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා පාඨමාලාව 1998 දී හදාරනවා. එච්. ඒ. පෙරේරා, ඩග්ලස් සිරිවර්ධන මහත්වරු ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගුරුවරු හැටියට ඒ පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ පාඨමාලා කාලය තුළ මගේ කිරි අම්මාගේ අවසන් කටයුතු සිදු කළ දවසේ හැර වෙන එක ම දවසකදීවත් මම නොගිහින් හිටියේ නැහැ.
ඒ තරම් උනන්දුවෙන් පාඨමාලාව හැදෑරුවා. යෞවන සම්මාන සඳහා ඒ කාලය තුළ කෙටි නාට්‍ය කළා. සම්මානත් දිනා ගත්තා. එයින් පසුව මහේන්ද්‍ර පෙරේරා කලාකරුවාගේ නාට්‍ය වැඩමුළුවකටත් සම්බන්ධ වෙලා හැදෑරීම් කරද්දි ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ සොල්දාදුවෙක් හැටියට රඟපෑවා. ඒ කාලෙ ම ධර්මසේන පතිරාජයන්ගේ ‘මතු යම් දවස’ චිත්‍රපටයට නළු නිළියන් තෝරද්දි මාවත් ඒ සඳහා තේරුණා. ඒ වගේ ම ජොරම් ද සිල්වාගේ ප්‍රථම සිංහල වේදිකා නාට්‍ය ‘මැක්බත්’ හි ප්‍රධාන චරිතය රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. තරුණ සේවා සභාවේ සුනිල් ජයන්ත නවරත්න මහතා සභාපති ව සිටියදී 2000 වසරේ ජනවාරි 01 වැනිදා සිට විකාශය කිරීම සඳහා ටෙලි නාට්‍ය නිර්මාණය කළා. එහිදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘රැජන’ ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපෑමෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පිවිසෙන්න මට අවස්ථාව ලැබුණා. පසු කාලෙක රඟපෑ සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිළෙන මාළුවෝ’, ‘වසන්ත ඔබේසේකරයන්ගේ අසනි වර්ෂා’ අශෝක හඳගමගේ ‘රාණි’ චිත්‍රපටත් මගේ සිනමා ජීවිතයේ මට ලැබුණු සුවිශේෂ අවස්ථා යි.
ටෙලි නාට්‍ය අතරින් විශේෂ වුණු චරිත රංගනයන් මොනවා ද…?
මම ප්‍රධාන චරිතයක් කළ පළමු ටෙලි නාට්‍ය ‘හිරුට හොරෙන්’ නාට්‍යය යි. ඒ ගැන අදටත් බොහෝ අය හමවුණා ම මාත් එක්ක කතා කරනවා. පහුගිය කාලේ විකාශය වුණු ‘කෝළම් කුට්ටම’ ටෙලි නාට්‍යයේ දොළේ මහත්තයා චරිතයත් ගොඩාක් ජනප්‍රිය වුණා. ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණ වැඩි ප්‍රමාණයකට මම සම්බන්ධ වුණා. ‘අඳුන් ගිර’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය සිග්නීස් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට නිර්දේශ වුණා. ශ්‍යාම් ප්‍රනාන්දු කළ ‘සඳමාලියේ මං පණපිටින්’ නාට්‍යයේ මං කළ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ චරිතයත් එසේ ම යි. මේ දවස්වල විකාශය වන නාට්‍ය කිහිපයක ම මම රඟපානවා. ‘පැබ්ලෝ’ ටෙලි නාට්‍යයේ පබලු, ‘රාග’ ටෙලි නාට්‍යයේ රංගන කියන චරිත දෙක මිනිස්සු අතරට ගිහින් තියෙනවා. ‘පහේ ළමයි’ ටෙලි නාට්‍යයේත් මම රඟපානවා. ටිකක් වැඩ වැඩි කාලයක් උදා වෙලා තියෙනවා.
මේ දවස්වල ඔබ සම්බන්ධයෙන් වැඩිපුර ම කතා කරන්නේ ‘ජහුටා’ ටෙලි නාට්‍යයේ සපුමල් ගැන නේද..?
ඔව්. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ප්‍රහසන ගණයට අයත් ටිකක් වෙනස් චරිතයක් නිසා මමත් ඒ චරිතයට ගොඩාක් කැමතියි. ඒ වගේ ම ඒ චරිතය හරහා සමාජයට යම් පණිවුඩයක් ලබා දෙනවා. ඒ වගේ චරිත මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. දැන දැනත් ඒ වගේ අයට මිනිස්සු රැවටෙනවා. සපුමල් චරිතය කාලීන යි.
රංගනයෙන් මිදුණු සැබෑ ජීවිතය කොහොම ද…?
මට පුතෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 11යි. ඉගෙනීම් වැඩ ඇතුළු ව සියල්ල බලන්නේ එයාගේ අම්මා යි. පුතා කිසි ම පෞද්ගලික පන්තියකට යන්නේ නැහැ. පුතාගේ අම්මා ඒ ගැන විශේෂයෙන් උනන්දු වෙනවා. තාත්තා හැටියට මගේ යුතුකම් කොටස ඉටු කරනවා වුණත් වැඩි ගෞරවය පුතාගේ අම්මාට හිමි වෙනවා. මගේ කාලයෙන් වැඩි කොටසක් රංගන අභ්‍යාසයන් සඳහා යොමු වෙනවා. විවිධ ස්ථානවල දේශීය කලාකරුවන් වගේ ම විදේශීය කලාකරුවන් සම්බන්ධ වෙලා කරන වැඩමුළුවලට මම නොවරදවා ම සම්බන්ධ වෙනවා. රංගනය වැඩි දියුණු කර ගැනීම සඳහා දෛනික අභ්‍යාසයන් අත්‍යවශ්‍ය යි. රඟපෑම ජීවිතයේ කොටසක් වෙලා ඉවරයි.