දමිළ චිත්‍රපටවල රඟන සිංහල නිළිය

gossiplanka image 2
 

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ ‘නීරුපුත්ත නෙරුප්පු’ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් පසුගියදා තිරගත වුණා. එහිදී බොහෝ දෙනෙක් ඉන්දියානු සිනමා නිළියක් වටා එක්රොක් වී ඉන්න බව අපිට දැකගන්න ලැබුණා. නමුත් ඇය ඇත්තටම ඉන්දියානු නිළියක් නොවෙයි, අපේ කෙනෙක් බව බොහෝ දෙනෙක් දැනගත්තෙ කතාබහ කරනකොට. ඒ තරම්ම ඇයගේ රංගන හැකියාව සහ භාෂාව හැසිරවීම නිර්මාණය තුළ සුවිශේෂී වුණා.


වගීෂා සල්ගාදු, ඇයගේ තුන් වැනි දමිළ සිනමා නිර්මාණයේ වගතුග ‘මීවිත’ සමග මේ විදිහට බෙදාහදා ගත්තා.



වගීෂා, ‘නීරුපුත්ත නෙරුප්පු’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයෙන් පසුව ලැබුණ ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම මේ විශේෂ දර්ශනයෙන් පස්සෙ හිතාගන්නත් බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන්ගත්තා. මේ මගේ තුන් වැනි දමිළ චිත්‍රපටය. මෙහි මම රඟපාන්නෙ ප්‍රමිලාගේ චරිතය. ඒ වගේම දමිළ භාෂාවෙන්මයි මම දෙබස් කිව්වෙ.


මොනවද ඔවුන් කිව්වෙ?


මීට කලින් මම රඟපෑ අනෙක් නිර්මාණ දෙක ලංකාවේ ඒවා නෙවෙයි. ‘නීරුපුත්ත නෙරුප්පු’ හරහා තමයි මම පළමු වතාවට ලංකාවේ දමිළ නිර්මාණයකට සම්බන්ධ වෙන්නෙ. මම දමිළ භාෂාවෙන්ම මගේ චරිතයට දෙබස් කිව්ව නිසා ගොඩක් දෙනෙක් බැලුව කොහොමද මම මෙහෙම කරන්නෙ, ඒ ඉමෝෂන් ගත්තෙ කොහොමද කියල. ඒ නිසා හැමෝම කිව්වෙ ඔයා හොඳින් භාෂාව හසුරුවන ගමන් ලස්සනට ඉමෝෂන්ස් අරගෙන චරිතය හොඳින්ම කළා කියල. ඒ අතර ප්‍රවීණයන් වගේම මගේ සමකාලීන අයත් ඉන්නව.



කොහොමද ඔබ දමිළ භාෂාව මනාව හසුරුවන්න පුරුදු වුණේ?


මගේ තාත්තටත් දමිළ භාෂාව හොඳට පුළුවන්. තාත්තගෙන් තමයි මම මුලින්ම ඉගෙනගත්තෙ. ඒ ආභාෂයත් එක්ක පුංචි කාලෙ ඉඳන්ම මම දමිළ භාෂාව ලියන්න වගේම කතාකරන්නත් පුරුදු වුණා. ඒක දිගින් දිගටම ප්‍රගුණ කරල අද වනවිට හොඳින්ම භාවිත කරන්න පුළුවන්.


අභියෝගයක් තිබුණෙම නැද්ද?


නැහැ කියන්න බැහැ. මොකද මේ චිත්‍රපටයේදි අපිට භාවිත කරන්න සිදු වුණේ යාපනයේ භාවිත වන දමිළ භාෂාව. ඒක කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල භාවිත කරන දමිළ භාෂාවට වඩා කථනය සම්පූර්ණයෙන්ම වෙනස්. මට තිබුණ ලොකුම අභියෝගය තමයි ඒක. මම හැමදාම උදේට පිටපත පාඩම් කරනව. ඒ වගේම මට ඩයලොග් කෝච් කෙනෙක් හිටියා. ඔහුගෙන් තමයි අපි කථනය හදාගත්තෙ.


ඔබේ පෙනුමට ලැබුණ ප්‍රතිචාර විශේෂයි?


ඔව්, එදා විශේෂ දර්ශනය දවසෙ ඉන්දියාවෙන් පවා පිරිසක් ඇවිත් හිටියා. ඔවුන් කිව්වෙ, අපිට හිතාගන්න බැහැ ඔයා ලංකාවෙ කෙනෙක් කියල, අපි හිතුවෙ අපේ රටෙන් ඇවිත් ලංකාවෙ රඟපානව කියල. ලංකාවෙ අයත් හිතුවෙ මම ඉන්දියාවෙ කෙනෙක් කියල. ඒ නිසා වෙන්න ඇති, දමිළ අය මගෙත් එක්ක කතා කළේ දමිළ භාෂාවෙන්මයි.


දකුණු ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී සහ සිනමා අධ්‍යක්‍ෂ බෝස් වෙන්කට්ගෙ පුතාත් ඔබ සමග මෙහි රඟපානවා?


ඔව්, තේජස්වින් ඉතා හොඳ කෙනෙක්. ඔහුගෙ පළමු සිනමා නිර්මාණය වෙන්නෙත් ‘නීරුපුත්ත නෙරුප්පු’. ඒ වගේම තිරයේ ඔහුගෙ පළමු වැනි පෙම්වතිය වෙන්නෙ මම. චිත්‍රපටයේ වැඩකරගෙන යන අතරතුර දේවින්ද අන්කල් තේජස්වින්ට වර්ක්ෂොප් එකක් කරන්න මට අවස්ථාව ලබා දෙනව. මම ඔහුට රංගනය වගේම අපේ භාෂාව උගන්වනව. ඒක බෝස් අන්කල් පවා අගය කළා.


නැවතත් ඉන්දියාවට යනව කියල ආරංචියි?


ඔව්, තවත් සිනමා නිර්මාණයකට මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නව. ඒ ගැන දැනට ලොකු දෙයක් කියන්න යන්නෙ නැහැ. සාකච්ඡා සාර්ථක වුණොත් දෙසැම්බර් මාසයේදි අපි වැඩ පටන්ගන්නව. එහෙම වුණොත් මගේ හතර වැනි දමිළ සිනමා නිර්මාණයත් ඉක්මනින්ම එළිදකීවි.


වගීෂා දමිළ සිනමාවටම නතුවෙයිද?


අනේ නැහැ. මම අපේ රටේ වැඩවලට තමයි මුල් තැන දෙන්නෙ. දෙසැම්බර් මාසෙ යන්න කලින් ලංකාවෙ වැඩ දෙකක් ඉවර කරනව.


ලංකාවේ ටෙලි නාට්‍ය සහ සිනමා වැඩකටයුතු කොහොමද?


දමිළ නිර්මාණයට සම්බන්ධ වෙන්න කලින් මම අලුත් අධ්‍යක්‍ෂවරයකුගෙ සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වුණා. නම තවම ප්‍රසිද්ධ කරල නැහැ. ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසෙ තවත් චිත්‍රපටයක් රූගත කරන්න සැලසුම් කරල තියෙනව. ටෙලි නාට්‍ය ගත්තාම දැනට හතරක රූගතකිරීම් අවසන් කරල තියෙනව. පස්වැනි එක ලබන මාසයේදී පටන් ගන්නව.


වගීෂා වෘත්තියෙන් රංගන ශිල්පිනියක්?


ඔව්, මගේ පළමු වෘත්තිය වෙන්නෙ රංගනය. ඊට අමතරව මනෝ වෛද්‍ය උපදේශකවරියක් හැටියටත් කටයුතු කරනව. රංගනය සහ මනෝ වෛද්‍ය විද්‍යාව මම දකින්නෙ බොහොම ළඟ ක්‍ෂේත්‍ර දෙකක් හැටියට.


ලස්සනට ගීත ගායනා කරන්නත් පුළුවන්?


මගේ තාත්තා දමිළ භාෂාවෙන් වගේම සංගීතය පැත්තෙනුත් ඉදිරියට ගිය කෙනෙක්. මටත් ඒක පිහිටල තියෙනව. ඉදිරියේදී සංගීතය පැත්තෙනුත් ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්නව.


වගීෂා වැඩි සද්දබද්දයක් නැහැ?


ඇත්තටම මම කැමති නැහැ වැඩිය සද්ද කර කර වැඩ කරන්න. නිහඬව ඉඳල මිනිස්සුන්ට පුදුමයක් දෙන්නයි මට ඕන. අදටත් ගොඩක් දෙනෙක් අහනව ඇයි වැඩිය ටීවී එකේ දකින්න නැත්තෙ, දැන් මොකද කරන්නෙ වගේ දේවල්.


වගීෂා රංගනයට යොමු නොවුණා නම්?


පොඩි කාලෙ ඉඳන් මම හීන දැක්කෙ මනෝ වෛද්‍යවරියක් වෙන්න. රංගනයට යොමු නොවුණා නම් බොහෝ දුරට මම මනෝ වෛද්‍ය පැත්තෙන් ඉදිරියට ගිහින් තියෙයි. එහෙම නැත්නම් අන්තර්ජාතික සම්බන්ධතා නිලධාරිණියක් විදිහට කටයුතු කරයි.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post