වේදිකාව, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාව තුළින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක ලෙස චමිලා පීරිස් හඳුන්වා දිය හැකිය. වසර තිස් පහකට අධික කාලයක් පුරා රංගන දිවියේ මතක සටහන් තැබූ ඇය මේ වන විට පුංචි තිරයට සහ වේදිකාවට නැතිවම බැරි දක්ෂ රංගවේදිනියකි. මේ දිනවල හිරු නාළිකාවෙන් විකාශය වන “අම්මා” ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් හමු වන ඇය සමඟ “හදගැස්ම” අපි කළ කතාබහයි.
“අම්මා” හි චරිතය පිළිබඳ කතා කරමු?
මේක මම කාලෙකින් රඟපෑ හොඳ චරිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා අම්මා කෙනෙක් කියලා කියන්න පුළුවන්. වර්තමානයේ ජීවත් වන අම්මා කෙනෙක් ළඟ තිබෙන ප්‍රශ්න සියල්ලක්ම මැය ළඟත් තිබෙනවා. මේ චරිතය ලොකු ඉතිහාසයක් තිබෙන චරිතයක්. ටෙලි නාට්‍ය නරඹන ඔබට ඉදිරියේදී එය දැකගන්න පුළුවන්. මේ අම්මා මේ තරම් හැඟීම්බර වෙන්නෙ, සැරපරුෂ වෙන්නෙ ඇයි කියලා මේ චරිතය දෙස බලන ඕනෑම කෙනකුට හිතෙනවා. නමුත් එයට බලපාපු ඉතිහාස කතාවක් තියෙනවා.
ඒ වගේම දරුවන්ගේ ආදරය, විශ්වාසය බිඳවැටීම් නැවත ගොඩනැඟීම්, සමහර දේවල් අත්හැරිලා නැවත අල්ලා ගැනීම සමඟ තමන්ගෙ පවුල එකතු කිරීමට උත්සාහ කරන අම්මා කෙනෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. සරලවම කිව්වොත් දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න උත්සාහ දරන්නියක ලෙස තමයි මම මේ චරිතය තුළ ජීවත් වෙන්නෙ.
මෙහි පිටපත වෙනස්. ඒ පිළිබඳ කතා කළොත්?
මෙම නාට්‍ය පිටපත ගයනි අගින්සලා තමයි ලියලා තිබෙන්නේ. වෙනත් රටක කතාවක් තමයි මේ නාට්‍ය සඳහා පසුබිම් වෙන්නෙ. මෙය තුර්කි කතාවක්. ඒ වුණාට ඒ කතාව හැඟීම්බරයි. ඕනෑම කෙනකුට තේරුම් ගන්න පුළුවන් හරිම ලස්සන කතාවක්. මේ නාට්‍ය තුළ මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. මට මෙම නාට්‍ය සඳහා ආරාධනා කළේ මෙහි නිෂ්පාදක මේනක රාජපක්ෂ. පිටපත අතට ලැබෙන්න කලින් මේනක මේ කතාව මට කිව්වා. එහිදී මට හිතුණේ මේ චරිතය කළාට කමක් නැහැ කියලයි.
අධ්‍යක්ෂවරයා ගැනත් යමක් කියන්න ඇති?
මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නෙ කපිල සුගත් විජේරත්න. මට මෙම චරිතය ගොඩනඟාගැනීමට ඔහු හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඔහු හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඔහුට අවශ්‍ය රඟපෑම අපෙන් හරි අපූරුවට ගන්නවා. චරිතයට අවශ්‍ය සාධාරණය කරන්න ඕනෑ කරන නිදහස අපට ලබා දෙනවා. අපේ පළපුරුද්ද උපයෝගි කර ගෙන චරිතයට අවශ්‍ය දේවල් චරිතයට එකතු කරනවා. හොඳ අවබෝධයක් තිබෙන සන්සුන් මනසකින් ක්‍රියා කරන අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහු හඳුන්වා දෙන්න පුළුවන්.
ලංකාව තුළ බිහිවන බොහෝ නිර්මාණ සමාජ ගවේෂණයකින් තොරව කරන ඒවා නේද?
මේක ලෝකයේ විදිහ නොවෙයි. අපේ රටේ ගවේෂණය කරමින්, අධ්‍යයනය කරමින් කරන නිර්මාණ බිහි වෙන්නෙම නැති තරම්. අපේ තිබෙන ආර්ථික මට්ටම, නිර්මාණශීලී බව, විකාශය කරන ආකාරය අනුව එහෙම අධ්‍යයනය කරමින් කරන ටෙලි නාට්‍ය හෝ සිනමාපට ලංකාවේ බිහි වෙන්නෙ නැහැ. එහෙම බිහි වූ නිර්මාණ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි. අපි ඉගෙන ගෙන තියෙන විදිහ තමයි එය. එහෙත් ලෝකය එහෙම නැහැ. නිර්මාණයක් කරද්දී ලොකු අධ්‍යයනයක් කරනවා. පිටපත, චරිතයන්හි මානසික මට්ටම විතරක් නොවෙයි ඇඳුම්-පැලඳුම් නළු-නිළියන්ගේ රංගනය පිළිබඳව සොයා බලනවා. අපිට එහෙම සොයා බැලීම් නැති නිසා අපේ රටේ විදිහට නාට්‍ය අධ්‍යක්ෂණය වීම සිදුවෙන්නේ. ඒ නිසා තමයි එවැනි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දැකගන්න අඩු.
ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
මම සාමාන්‍යයෙන් යූ-ටියුබ්, ෆේස් බුක් වගේ සමාජ මාධ්‍යයේ තිබෙන කමෙන්ට්ස් බලන්නෙ නැහැ. මට සජීවී ලෙස හමු වන මගේ යාළුවෝ, හිතවතුන් මගේ රඟපෑම ගැන විතරක් නොවෙයි සමස්ත නාට්‍යයම හොඳයි කියලා කියනව. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය තර්කානුකූල නැහැ. හැඟීම්බරයි. නිර්මාණයක් නැරැඹීමේදී මුලින්ම කරන්නේ එම නිර්මාණය හදවතින් වැලඳ ගැනීමයි. ඊට පසුව තමයි තර්කානුකූල වෙන්නෙ. මේ කතාව හෘදයංගමයි. එම තත්ත්වය නිසා මේ කතාවට ලැබෙන ප්‍රතිචාර කොහොමත් වැඩියි.
තාක්ෂණය උපයෝගි කර ගැනීම නිසා ටෙලි නාට්‍යයට, සිනමාවට ඇති වූ බලපෑම ගැන කතා කළොත්?
ටෙලි නාට්‍ය සහ සිනමාවට තාක්ෂණය උපයෝගි කර ගැනීම නරක දෙයක් නෙවෙයි. ඒ වගේම තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න නිර්මාණ තුළට තාක්ෂණය ඇතුළු වෙන එක නවත්වන්න පුළුවන්කමක් නැහැ. මේ වන විට ෆෝන් එක, ලැප්ටොප් එක වගේ දේවල් අපේ ජීවිත ඇතුළට රිංගලා තියෙනවා. මේ උපකරණ දරුවන්ට හොඳ නැහැ. මේවා භාවිතයෙන් දරුවා ගලවා ගන්න ඕනෑ වගේ දේවල් කිව්වත් එම උපකරණ භාවිතය නතර කරන්න බැහැ. දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වෙමින් ඇවිත් එම උපකරණ අත්‍යවශ්‍ය අංග බවට පත්වෙලා ඉවරයි. දැන් ඒවා භාවිතය අඩු කරන්න කිව්වාට කරන්න අමාරුයි. මේ වන විට ලෝක සිනමාව තුළ සිදුවන ආශ්චර්යන් සියල්ල සිදු කරන්නේ ස්ඩිටුයෝ එකක් තුළයි. එය දක්ෂතාවක්. එහෙත් තාක්ෂණය කොතරම් භාවිත කළත් සිනමාව, ටෙලි නාට්‍ය කියන්නේ කලාවක්. එය මනුෂ්‍ය හැඟීම් එක්ක සම්බන්ධයි. එම නිසා එම මානුෂීය හැඟීම් පිරිහීමට නොදී නිර්මාණයන් තුළට තාක්ෂණය උපයෝගි කර ගැනීම තමයි වැදගත්.
පිරිපුන් මිනිසෙක් බිහි කරන්න කලා මාධ්‍යයට ඇති හැකියාව පිළිබඳ කතා කළොත්?
පිරිපුන් සංස්කෘතික මිනිසෙක් බිහි කරන්න කලා මාධ්‍යයට පුළුවන්. එහෙත් අප රට තුළ මේ කාර්ය සිදු වෙනවා අඩුයි. මෙවන් මිනිසකුගේ අවශ්‍යතාව අපේ රටේ නිර්මාණකරුවාට දැනෙන්න ඕනෑ. නමුත් අපේ රටේ නිර්මාණකරුවන්ට එහෙම දැනෙන්නෙ හරි අඩුවෙන්. හොඳ, පිරිපුන් සාර්ථක නිර්මාණ නැතිව නොවෙයි. තිබෙනවා. නමුත් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයක්. වර්තමානයේ බිහිවන බොහෝ නිර්මාණයන් විකෘතිතාවලින් පිරිලා. එය එසේ නොවිය යුතුය යන්න තමයි මගේ අදහස. නිර්මාණයක් තුළින් මිනිස් සිත සුන්දර කරන්න ඕනෑ. නිවන්න ඕනෑ. එහෙත් මේ වන විට සමාජය තුළ සුන්දරත්වය, නිවීම එතරම් මාර්කට් වෙන්නෙ නැහැ. ඒ නිසා පිරිපුන් මිනිසකු බිහි වීම සඳහා අවශ්‍ය කලා නිර්මාණ බිහි වෙන්නෙ හරි අඩුවෙන්. ඒ පිළිබඳ හිත තුළ කනගාටුවක් තිබෙනවා.
ඇතැම් ප්‍රවීණයන් තමන්ට නිසි තැන නොලැබීම ගැන නඟන මැසිවිලි ගැන ඔබේ අදහස?
මට නම් තවමත් නිසි තැන ලැබෙනවා. හැබැයි අපට ලැබෙන බොහෝ අය නිසි තැන ලබා ගන්නවාද කියන ප්‍රශ්නය ඇති වෙනවා. නිසි තැන ලබා ගන්න නම් ඒ සඳහා අපි අපගේ දායකත්වයන් උපරිමයෙන් ලබා දීම අවශ්‍යයි. ඒ සඳහා අපේ හැසිරීම, වෘත්තීය භාවිතාව, වෘත්තීය නිපුණතාව, අවංක බව, කැපවීම ආදිය නිර්මාණය තුළ භාවිත කරනවාද යන්න වැදගත්. ඒ මත තමයි අපට ලැබෙන රංගන අවස්ථා අඩු වැඩි වීම්, නොලැබීම් හා හැලීම සිදුවෙන්නෙ. අදටත් නිර්මාණයක් තුළ මට ලැබිය යුතු තැන ලැබෙනවා. මේ ක්ෂේත්‍රයේ වසර 35ක කාලයක් මම රැඳිලා ඉන්නවා. එදා ලැබුණු ආදරය, ගෞරවය, සැලකිල්ල මට අදටත් ඒ විදිහටම ලැබෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ඔබ ආ ගමන්මඟ ගැන තෘප්තිමත්ද?
කරපු සහ කරන වැඩ ගැන තෘප්තිමත්. ඒ වුණාට මගේ රංග පරාසය මීට වඩා වැඩියි. ඉදිරි කාලයේදී මගේ රංග පරාසය තුළ මීට වඩා යමක් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම බැරි වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ ආව ගමන්මඟ ගැන තෘප්තිමත්.
අනාගතයේදී දැකගත හැකි නිර්මාණ ගැන කතා කළොත්?
මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය 2ක් ඉදිරියේදී එන්න තිබෙනවා. චිත්‍රපට දෙකක් සහ වේදිකා නාට්‍ය 2කට ආරාධනා ලැබිලා තිබෙනවා.
අරුණි ජයසේකර