ගයියා කියන නම ඇහුවම නොදන්න දෙයියෙක් නැහැ. ගයියා කියන්නේ වෙනස් විධියට හිතන පතන ෆුල් ආතල් සිරා බුලට් එකක් කිව්වොත් නිවැරැදියි. කොටින්ම සංගීත ක්ෂේත්‍රය වෙනස් කරන්න දන්න කාලේ ඉඳන්ම ෆුල් වෙහෙසක් දරන කලාකරුවෙක් ලෙස ගයියා හඳුන්වන්න පුළුවන්. ගයියා මේ දවස්වල සයිකෝ තත්ත්වයක සිටි බව වරින් වර වාර්තා වුණා. කෙසේ හෝ ගයියාගේ සයිකෝ ෂෝ එක ගැන කතාබහ කරන්න ඔහු අපි සමඟ එක් වුණා. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ ගායක සහ වාදක ගයාන් පෙරේරා හෙවත් ගයියා.
මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු.
මේ දවස්වල ජීවිතය ගෙවී යන්නේ ඉතා කාර්යබහුල අයුරින්. මගේ ප්‍රථම ඒකපුද්ගල ප්‍රසංගය වන සයිකෝ ප්‍රසංගයේ වැඩ කටයුතු සහ පෙර පුහුණු වීම් සමඟ මේ දවස් ගෙවී යනවා. ඉතින් සයිකෝ නිසා අම්බානෙකට වැඩ.
විවාහයෙන් පස්සේ අලුත් ජීවිතය ගැන කියමු?
ඇත්තටම මට විවාහය ගැන වැඩි දෙයක් කියන්න නැහැ. මම විවාහ වුණා. දැන් විවාහ වෙලා මාසයක් විතර ඇති. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. මායි මගේ බිරියයි දන්නේ අවුරුදු හතරක පහක විතර ඉඳලා. ඉතින් මේ දේවල්වල පිළිවෙළක් තිබෙන්නත් එපැයි. අපේ ගෙදර පොඩි උත්සවයක් අරගෙන අපි විවාහ වුණා.
මේ ප්‍රසංගය සයිකෝ කියන නමින් නිර්මාණය කළේ ඇයි?
මම නිර්මාණය කළ සින්දු ගොඩක් තිබෙනවා. ඒ ගීත අතරින් මස්සිනා හෝ බොරුකාරි කියලා මට මගේ ප්‍රසංගය නම් කරන්න තිබුණා. ඕනේ නම් වරෙන් යන්න අපිත් එක්ක කියලා හෝ හද මන්දිරේ කියලා මේ ප්‍රසංගය නම් කරන්න තිබුණා. මස්සිනා කියලා අපි මේ ප්‍රසංගය නම් කළා නම් අපිට 70 දශකයේ විධියට ඇඳලා පැලඳලා මේ වැඩේ කරන්න තිබුණා. ඉතින් වඩාත්ම සුදුසු නම මොකක්ද කියලා අපි කල්පනා කළා. දැන් මස්සිනා ටිකක් පරණ වැඩියි. මස්සිනා ගත්තත් බොරුකාරි ගත්තත් ඔය හැම ගීතයකටම අදාළ චරිතයක් තිබෙනවා. ඔය සෑම චරිතයක්ම එකම වචනයකින් විග්‍රහ කරනවා නම් ඒ අයුරින් විග්‍රහ කරන්න පුළුවන් එකම වචනය තමයි සයිකෝ කියන්නේ. ඉතින් අපි සයිකෝ කියලා නම් කළා.
සයිකෝ ෂෝ එකේ ප්‍රචාරණ කැම්පේන් එක නිසා විවිධ විවේචන එල්ල වෙමින් පවතිනවා මේ ගැන කියනවා නම්
සයිකෝ කියන මගේ ගීතය අනුව තමයි මේ ෂෝ එකේ තීම් එක නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් අපි මේ සඳහා යොදාගත්තේ ඒ ගීතයේ තිබෙන අන්තර්ගතය. ඒ ගීතය තුළ සමාජයේ සිටින විවිධ චරිත හාස්‍යයට ලක් කොට තිබෙනවා. ඉතින් මේ විකාර සහගත දේවල් අනුව තීම් එක යොදා ගත් විට අපේ ප්‍රසංගය නවතම මුහුණුවරකින් සිදු කරන්න පුළුවන් කියලා අපි සිතුවා. මාකටින් කැම්පේන් එක, මේ ප්‍රසංගය පවත්වන විධිය, ඉන්පසුව නැවතත් මේ ප්‍රසංගය පැවැත්වෙන විට සිදු කරන දේවල් වෙනස්ම මුහුණුවරකින් මේ ආකාරයෙන් සයිකෝ තීම් එකක් යොදා ගත් විට කරන්න පුළුවන්. කෙසේ හෝ මේක වෙනස් විධියක තීම් එකක් මිසක් මට මගේ අනෙක් සහෝදර කලා ශිල්පීන්ට මඩ ගහන්න වුවමනාවක් නැහැ. මේකත් එක්තරා කලාවක්. ඒක ඉතින් පෞද්ගලිකව ගන්න එපා. මේ වගේ වැඩක් කරන එක හරිම රිස්කි වැඩක්. ඉතින් කරන්න දෙයක් නැහැ මම ඒ දෙය කරනවා. මට කිසිම කෙනෙක් එක්ක කිසිම ඇරියස් එකක් නැහැ.
සංගීත කණ්ඩායම්වලින් ගායකයාට ලබා දිය යුතු දායකත්වය පිළිබඳව ඔබ විවේචනයක් එල්ල කොට තිබුණා. මේ ගැන කියමු…….
මම ලංකාවේ සංගීත කණ්ඩායම්වලට කිසිම විටෙක චෝදනාවක් එල්ල කරනවා නෙවෙයි. හම්බ කරන්න ඕන කාලේ හම්බ කරන්න කියලා කවුද කතාවක් කියලා තිබෙනවා. ඔව්. හම්බ කරන කාලේ හම්බ කරන්න ඕන, නමුත් හැම දෙයම වවාගෙන කන්න ගියොත් ඔයා කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. ඔයා හැම දෙයම කරන්න ගියොත් ඔයා කරන දෙයෙහි ප්‍රමිතියක් නැති වෙනවා. සංගීත කණ්ඩායම්වල අයටත් වෙලා තිබෙන්නේ එහෙම දෙයක්. නමුත් අපි ඔවුන්ගේ අනන්‍යතාව ගරු කරනවා. අපි පොඩි රටක්. අපේ ක්ෂේත්‍රය තවම තිබෙන්නේ වර්ධනය වෙමින්. සමහර ආටිස්ලට සමහර සංගීත කණ්ඩායම් පෙර පුහුණු වීම් සඳහා කාලය ලබා දෙන්නෙ නැහැ. ඔවුන්ව ප්‍රසංගවලට ගන්න එපා කියා බලපෑම් කිරීම පවා සිදු කරනවා. ඒ දේවල් ගැන අපිට කරන්න දෙයක් නැහැ. කෙසේ හෝ මට පෙර පුහුණු වීම් කියන දෙය හොඳින්ම තිබෙන්න ඕන. ඒ නිසා මම මගේම ක්‍රමයක් සොයා ගන්න කියලා සිතුවා. ඒ නිසා මම මගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගෙන මේ වැඩේ කරනවා. ඒක මට සුදුසුයි. ඒ හේතුවත් මගේ සංගීත ප්‍රසංගය කරන්න බලපෑවා.
ලංකාවේ වත්මන් ප්‍රසංග කලාව ගැන ඔබේ අදහස මොනවගේද? ගයියා මෙය වෙනස් විය යුතුයි කියා සිතනවාද?
ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තිබෙන තැන ගැන මට හරි සන්තෝෂයි. ඊ.ඩී.එම්. සංගීත ශානරයේ සංගීත ප්‍රසංග වැනි දේවල් දැන් සෑහෙන ලෙවල් එකකට ඇවිත් තිබෙනවා. විවිධ සංගීත ශානරවල ප්‍රසංග තිබෙන්න ඕන. එතකොට ක්ෂේත්‍රයක් ලෙස අපි දියුණු වෙනවා. රටක් ලෙස අපි දියුණු වෙනවා.
ඇල්බම් එකක් කරන්න අදහසක් නැද්ද?
ඇල්බම් කියන දෙය තාමත් වලංගුයි. ගීත එකතුවක් එළිදක්වන්නේ නැති එක දැන් වැඩිය දකින්න නැත්තේ මිනිස්සු සින්දු අහන ක්‍රමය වෙනස් වී තිබෙන නිසා. ඉස්සර ගීත ඇහුවේ කැසට්, සී.ඩී. හරහා. දැන් ඩිජිටල් අවකාශයන් තුළින් තමයි ගීත අසන්නේ. දැන් ගීත එකතු කරගෙන කල් ගන්න ඕන නැහැ. නමුත් ඇල්බම් එකක් කරන්න ඕන නැහැ කියලා දෙයක් නැහැ. මම නම් දැන් එච්චර ඇල්බම් පස්සේ දුවන්නේ නැහැ. ගීත එකින් එක නිකුත් කරන විට ගීතවලට අවධානය ලැබෙනවා කියා මට සිතෙනවා.
සයිකෝවල විශේෂත්වය කුමක්ද?
සයිකෝ කියන්නේ මගේ ෂෝ එකක්. මේකේ කිසිම ගෙස්ට් ආටිස්ට් කෙනෙක් නැහැ. නමුත් මම ගායනා කළ යුග ගීත සඳහා පොඩි තරගයක් පැවැත් වෙනවා. මගේ රසික-රසිකාවියන් අතුරින් තමයි මේ ගීත ගායනා කරන්න කෙනෙක් සොයා ගන්නේ. මේ දෙයින් තව අලුත් ආටිස් කෙනෙක් බිහි වෙයි. මමයි මගේ සංගීත කණ්ඩායම තමයි මේ ෂෝ එක පුරාවට ඉන්නේ. ඉතින් නොවැම්බර් මාසේ සයිකෝ එක්ක පැය 2 1/2 කාලයක් ගත කරන්න මගේ රසිකයන්ට පුළුවන්.
ගිහාන් සචින්ත