පසුගිය වසර කිහිපය ඇතුළේ අලුත් මූණු විශාල ප්‍රමාණයක් රංගනයට එකතු වුණත් දිගටම ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණේ ඉන් අතළොස්සක් විතරයි. ඒ අතරිනුත් අංජලී ජයසිංහ කියන්නේ ක්ෂේත්‍රය ඇතුළේ ඉතාමත් කෙටි කාලයක් තුළ ස්ථාවර පදනමක් දමා ගත් ශිල්පිනියක්. ඉන්ජිනේරු උපාධිය අවසන් කරලා,
අධ්‍යාපනය පැත්තෙන් තවදුරටත් ඉදිරියට යන්න හීන දකිමින් ඉන්න වෙලාවේ අහම්බෙන් දෛවෝපගත විධියට රංගනය එකතු වුණු ඈ අද වෙද්දි තමන්ට ඉගෙන ගන්න විතරක් නෙවෙයි රඟපාන්නත් හැකියාව තිබෙන බව රටටම ඔප්පු කරමින් ඉන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ දිනවල විකාශය වන ලවර්ස් ලීප් ටෙලි නාට්‍යයේ ආන්‍යා චරිතය.
ලවර්ස් ලීප් ගැන කියලම කතාව පටන් ගමු එහෙනම්?
ඇත්තටම මේ කතා කරන මොහොතේදීත් මම ඉන්නේ ලවර්ස් ලීප් රූගත කිරීම්වල. මේ දවස්වල කොළඹ තමයි රූගත කිරීම් සිදු වෙන්නේ. මේ වෙද්දි ලවර්ස් ලීප් රූගත කිරීම් ක්‍රමයෙන් අවසානයට ළඟා වෙනවා. අපිට තව කොටස් කිහිපයක් විතරයි රූගත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.
ආන්‍යාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ වෙද්දි ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කෙනෙක්ට කලාතුරකින් ලැබෙන විධියේ චරිතයක් තමයි ආන්‍යා කියන්නේ. ඒ චරිතය ඇතුළේ අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආන්‍යා චරිතය තුළින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. මට ක්ෂේත්‍රය ඇතුළේ තවමත් ලොකු අත්දැකීම් නැහැ. ඒ නිසාම මේ ආන්‍යා කියන චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මොකද මට එහි රඟපාන්න තියෙන්නේ මේ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ එක්ක. ඒ නිසාම ලවර්ස් ලීප් කියන්නේ මගේ රංගන දිවියට ලැබුණු ලොකු අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක්. ආන්‍යා වෙනුවෙන් ඇඳුමෙන්-පැලඳුමෙන්, කොණ්ඩෙන් පවා මම වෙනස් වුණා. ඒ දේවල් එක්ක ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර බලද්දි ඔවුන් මගේ චරිතයට කැමැති වීම ලොකු වාසනාවක් කියලා හිතනවා.
ප්‍රවීණයෝ රැසක් සමඟ වැඩ කරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?
ඇත්තටම මම මුලදි බය වුණා. මට එහි වැඩ කරන්න ලැබුණේ දිල්හානි අශෝකමාලා, ප්‍රියන්ත සිරිකුමාර, මාධනී මල්වත්තගේ, ශ්‍යාම් ප්‍රනාන්දු වගේ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ එක්ක. මම ඔවුන්ව මීට කලින් දැන හඳුනගෙන හිටියේ නැහැ. මම ඔවුන්ව දැකලා තිබුණේ ඔවුන්ගේ නිර්මාණවලින්. මුලදි මම බය වුණත්, අපි දර්ශනයක් රූගත කරද්දි පවා මට ඔවුන්ගෙන් විශාල සහායක් ලැබුණා. මගේ රංගනය සාර්ථක කරගන්න ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් ප්‍රවීණයෝ වුණත් අපිව අපහසුතාවට පත් කළේ නැහැ. අපි නොදන්න දේවල් පවා කියාදෙමින් අපිත් එක්කම ඉදිරියට යන්න තමයි ඔවුන් හැම වෙලේම උත්සාහ ගත්තේ.
මේ දිනවල ඔබ, ඔබේ පළමු චිත්‍රපටය වෙනුවෙන් සූදානම් වන බව ආරංචියි. ඒ ගැනත් කියමු?
මේ දවස්වල උදයකාන්ත වර්ණසූරිය මහතාගේ මේඝ වර්ෂා චිත්‍රපටයේ කටයුතු සිදු වෙනවා. මීට දින කිහිපයකට පෙර තමයි එහි රූගත කිරීම් අවසන් වුණේ. මාත් සමඟ එහි ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ දමිත් විජේතුංග සහ චතුර. මම තමයි ඒ චිත්‍රපටයේ වර්ෂා කියන ප්‍රධාන චරිතයට දායකත්වය දෙන්නේ.
ඔබට ඉතාමත් කෙටි කාලයක් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඒ ගැන මට ගොඩක් සතුටුයි. මේ තාම මගේ මුල් පියවරයන් විතරයි. මේක ඇතුළේ මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය ගැන මට හරිම සතුටුයි.
මේ වෙද්දි රංගනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරනවාද?
මම මගේ උපාධිය හැදෑරුවේ ඉන්ජිනේරූ ක්ෂේත්‍රයෙන්. මම රංගනයට යොමු වුණේ ඉතාමත් අහම්බෙන්. හැබැයි පොඩි කාලේ රංගනය සම්බන්ධයෙන් මගේ හිතේ කැමැත්තක් තිබුණා. ඒත් පාසල් අධ්‍යාපනයත් එක්ක කාර්යබහුල වෙද්දි ඒ ආසාව මගේ හිතෙන් යටපත් වුණා. පසුව උපාධිය අරගෙන ඉවර වුණාට පස්සේ තමයි මට අහම්බෙන් රංගනයට යොමු වෙන්න හැකි වුණේ. ඒ මීට වසර දෙකකට පමණ පෙර. ඒත් එක්කම මේ වෙද්දි මම රංගනය පිළිබඳව හදාරමින් ඉන්නවා.
ඉදිරියේදි දිගටම රඟපායිද නැත්තම් අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් කරයිද?
මම තාම මගේ වෘත්තීය සම්බන්ධයෙන් තීරණයකට ඇවිත් නැහැ. ඒ ගැන මම තාම හිතනවා. මේ ටික කාලයේ මේ ක්ෂේත්‍රයට යොමු නොවුණා නම් මගෙත් එක්ක හිටපු යාළුවෝ වගේ දිගටම අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යන්න තිබුණා බොහෝදුරට. ඔවුන් බොහෝමයක් දැන් පශ්චාත් උපාධියත් සම්පූර්ණ කරලා ආචාර්ය උපාධියටත් යොමු වෙලා. රංගනයට ආවේ නැත්තම් මගේ බලාපොරොත්තුව තිබුණේ ආචාර්ය උපාධිය හදාරලා ලෙක්චර් කෙනෙක් වෙන්න.
අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
මගේ ටෙලි නාට්‍ය තුනක් සහ චිත්‍රපටයක් ඉදිරියේදී එන්න තිබෙනවා. මේඝ වර්ෂා චිත්‍රපටයේ ගීතවල රූගත කිරීම් තව කරන්න තියෙනවා. භාතිය-සන්තුශ් අයියලා සහ උමාරියා අක්කා මේ දවස්වල ගීතවල වැඩ කටයුතු කරන ගමන් තියෙන්නේ. ඒක ඉවර වුණු ගමන් ඉදිරියේදී මේඝ වර්ෂා චිත්‍රපටයත් හැකි ඉක්මනින් තිරගත වේවි.
අක්ෂි මාපා වීරසිංහ