ශාන් ජයරත්න අධ්‍යක්‍ෂණය කරනු ලබන පහේ ළමයි ටෙලිනාට්‍ය මේ දිනවල රාත්‍රි 7.30ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වෙනවා. මේ හරහා අප දන්න චරිතයක් දකින්න ලැබෙනවා. පහේ ළමයි එක්ක ඔන්න ආපහු ශේෂාද්‍රි ප්‍රියසාද් කරළියට එනවා. කාලෙකින් පුංචි තිරයට ගොඩවුණු ශේෂාද්‍රිගේ නැවුම් තොරතුරු මීවිත පාඨකයන්ට මෙන්න මේ විදිහට අපි පෙළගැස්සුවා.
කොහොමද පහේ ළමයි එක්ක ගෙවන ජීවිතය?
තවම ටෙලිනාට්‍ය විකාශනය වෙලා ඉතාම කෙටි කාලයක් වෙන්නේ. ඒ වුණාට මට ඉතාම හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ ආපහු මාව දකින්න ලැබුණ එක සතුටක් කියලා තමයි.
කොච්චර කාලෙකට පස්සෙද ආපහු පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ?
මගේ අන්තිමට ටෙලි නාට්‍යයක් විකාශනය වුණේ 2021 වසරේ.
වන්ස් අපෝන් අ ටයිම් ඉන් කළම්බෝ ටෙලි නාට්‍යය. ඊට පස්සේ මම 2023 වසරේ ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒක තවම විකාශනය වුණේ නැහැ. 2021 ටෙලි නාට්‍යයට පස්සේ මේක තමයි විකාශය වෙන ටෙලි නාට්‍යය.
දිගු නිහැඬියාවකට පසුව නේද? මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. පසුගිය කාලයේ මම සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීව හිටියානේ. ඒ වෙලාවේ මගෙන් ගොඩක් දෙනෙක් ඇහැව්වේ ඇයි දැන් වැඩ කරන්නේ නැත්තේ කියලා. පස්සේ අලුත් ටෙලි නාට්‍යය විකාශනය වෙන්න පටන් ගත්තාට පස්සේ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක හරිම සතුටුයි.
පහේ ළමයි ටෙලිනාට්‍යයට ආරාධනාව ලැබුණේ කොහොමද?
මට මේ ටෙලිනාට්‍ය සඳහා ආරාධනාව ලැබුණේ එහි අධ්‍යක්‍ෂ ශාන් ජයරත්නගෙනි.
රශිනි කියන ගුරුවරියකගේ චරිතයක් තමයි මට රඟපාන්න තියෙන්නේ. ඒ චරිතය මගේ සැබෑ ජීවිතයට යම්තාක් දුරට සමානකම් තියෙනවා වගේ දැනුනා. කාලයක් මම ගුරුවරියක් විදිහටත් වැඩ කරපු හින්දා ළමයි එක්කත් මම වැඩකරන්න ආසා කෙනෙක්. ඒ හින්දා මම ඒ චරිතයට හරි කැමැති හින්දා භාරගත්තා.
දර්ශන තලයේදී ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?
මේ ටෙලිනාට්‍යයේ වැඩ කරන්නේ අපි ඔක්කොම දන්න කියන කට්ටිය. ඒ සියලුදෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. කාලෙකට පස්සේ රඟපාන්න දර්ශන තලයට ගිය වෙලාවේ මටත් තිබුණා පුංචි බයක්. පළමු දවසේ කැමරාව ඉස්සරහට ගියහම “අම්මෝ මට දැන් රඟපාන්න පුළුවන්ද?” කියලා හිතුන අවස්ථාවත් තිබුණා. අධ්‍යක්‍ෂවරයා ඇතුළු සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලැබුණු සහයෝගයත් එක්ක මගේ හැකියාවත් ආපහු පෙන්වන්න පුළුවන් වුණා.
රෂිනි ශේෂාද්‍රිට සමානයිද?
පොඩ්ඩක් විතර සමානයි. මමත් කාලයක් ගුරුවරියක් විදිහට සේවය කලානේ. රංගන ශිල්පිනියක් වගේම මම ගුරුවරියක් නේ. මම ගුරුවරියක් විදිහට පුංචි බබාලත් එක්ක නේ වැඩ කළේ. ඒ අත්දැකීම් මට මතක් වෙනවා මම පහේ ළමයි ටෙලිනාට්‍යයේ වැඩ කරද්දී.
ඔබ රඟපෑ චිත්‍රපට එහෙමත් තියෙනවා නේද?
ඔව්. මම රඟපෑ චිත්‍රපට කිහිපයක් තියෙනවා. හැබැයි ඒවා ටිකක් පරණයි. මම 2012, 2013 කරපු නිර්මාණ තමයි තියෙන්නේ. ඒවා දැන් තිරගත වුණත් මට දැන් වැඩක් නැද්ද කියලත් හිතෙනවා. ඒක ඇත්තටම නිෂ්පාදකවරයාට ලොකු පාඩුවක්. සල්ලි වියදම් කරපු කෙනා විදිහට ඔහුට කොතරම් පාඩුවක්ද? එතකොට රංගන ශිල්පිනියකටත් කොච්චර පාඩුවක්ද? 2012 වසර කියන්නේ මට අවුරුදු 18ක් 19ක් විතර වෙන්නේ. දැන් මට 34ක්. එතකොට මගේ වයස පරතරයයි පෙනුම වගේම රංගන හැකියාවෙත් වෙනසක් වෙලා තියෙන්න පුළුවන්.
දැන් ඔබ සුපුරුදු විදිහට වැඩ කරනවාද?
ඔව්. ඔව්. මම ආයෙමත් වැඩ.
පහේ ළමයි හින්ද අලුත් ආරාධනා ලැබුණද?
ටෙලි නාට්‍යයකට නම් ආරාධනා ලැබුණා. දීර්ඝ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අමාරුයි. කොටස් අඩු ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. මට තව චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක ලබන ජනවාරි මාසයේ ආරම්භ කරනවා.
නංගි ෂනුද්‍රි රඟපෑ චිත්‍රපට දෙකක් (මෝඩ තරිඳු, නීරා) මේ දවස්වල හරි ජනප්‍රියයි. කොහොමද චිත්‍රපට දෙක බැලුවද?
ඔව්. ඔව්. බැලුවා. නීරා ගත්තොත් වාසව බදුගේ ඔහුගේ ශෛලියට කරපු තවත් ලස්සන නිර්මාණයක්. මම කැමති නීරා චිත්‍රපටයට. ෂනු හරිම ලස්සනයි ඒ චිත්‍රපටයේ. ෂනුගේ හොඳම රංගනය දැක්කෙත් නීරා චිත්‍රපටයේ. මෝඩ තරිඳු ගත්තොත් ඊට වඩා හාත්පසින්ම වෙනස්ම චිත්‍රපටයක්. ඒකේ ෂනුගේ චරිතයට එයා උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. ඒකේ මම ගොඩක් ආස වුණේ ෂෙහානි නංගි රඟපාන සොපියාගේ චරිතයට.
ශේෂාද්‍රි නිහඬව හිටපු කාලයේ නංගි ෂනු සෑහෙන දුරක් ගියා කියලා හිතෙන්නේ නැතිද?
අනිවාර්යයෙන්ම යන්න එපැයි. මම නිහඬව හිටපු කාලයේ එයා දුරගමනක් ගියා කියලා හිතන්නේ නැහැ. අපි දෙන්නව සසඳන්න පුළුවන්ද කියලා හිතන්න බැහැ. අනික ඔය චරිතවලට මාව ගත්තොත් ගැළපෙන්නේ නැහැනේ. නංගි රඟපෑ චරිතවලට එයාගේ වයසත් එක්ක එයාට හොඳට ගැළපෙනවා.
අක්කා දිනක්‍ෂි මෑත කාලයේ අතිශය කතාබහට ලක්වෙන දක්ෂ රංගන ශිල්පිනියක්. මොකද හිතෙන්නේ එයා ගැන?
මෑතක සිට විකාශනය වන පට්ටි ගෙදර ටෙලි නාට්‍යයෙන් පස්සේ මටත් හිතාගන්න බෑ. මම එහි එක දර්ශනයක දැක්කා කාටද බනිනවා. මම බැලුවේ ගෙදරදී කාටවත් බනින්නේ නැතිව හිටපු කෙනා කොහොමද මේක කරන්නේ කියලා. මොකද එයා තමයි අපේ ගෙදර අහිංසකම ළමයා. එයත් ගොඩක් කට්ට කාලා තමයි මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. සමහර චරිතවලට හොඳ වගේම මිනිස්සුන්ගෙන් බැණුම් පවා ඇහැව්වානේ. අක්කා දැන් හරි දක්‍ෂයි.
නිහඬව හිටපු කාලයේ ඇත්තටම මොනවද කළේ?
මම මුලින්ම කළේ මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළා. උපාධියේ වැඩකටයුතුත් අවසන් කළා. ඒක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. ඊට පස්සේ මම ගුරුවරියක් විදිහට අවුරුදු දෙකක් විතර වැඩ කළා. එතැනින් පස්සේ ඇත්තටම මට මොකද දන්නවාද වුණේ. කොවිඩ් වසංගතය වගේම රටේ ආර්ථික අර්බුද ආවා. ඒ වෙලාවේ මට ලැබුණු ආරාධනාවල නිර්මාණ කටයුතු සිදුකළේ නැහැ. සියල්ලම වගේ කල් දැම්මා. ඊටත් පස්සේ මම විවාහ වෙලා බබා ලැබුණට පස්සේ ආයෙමත් නැවතුණා. සියලු විරාමයන්ගෙන් පස්සේ දැන් තමයි ආපහු හරියට වැඩකරන්න පටන් ගත්තේ.
විවාහ ජීවිතය එහෙම කොහොමද?
ඉතාමත්ම හොඳයි. සැමියාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මොකද එයා මට කිසිම දෙයකට යන්න එපා කියලා කියන්නේ නැහැ. එයා මට උපරිම නිදහස දීලා තියෙන්නේ තෝරලා බේරලා හරි දේ වගේම මගේ හිතට සතුට ගෙනදෙන දේ කරන්න. හැබැයි කොයිම වෙලාවකවත් ඇඟිලි ගහලා ප්‍රශ්න කරලා කතා කරන්නේ නැහැ. මම වැඩකට ගියත් ලොකු සහයෝගයක් ලබාදෙන්නේ.
දිනේෂ් විතාන