ගයියා එහෙමත් නැතිනම් ගයාන් පෙරේරා ටිකක් වෙනස් විදිහට හිතලා වෙනස් විදිහේ වැඩ කරන චරිතයක්නේ. ගයියා හැමතිස්සෙම ට්‍රයි කළේ තමන් වෙන්න තමයි. ගයියාට ඕනෑවුණේ නැහැ ලෙජන්ඩ් කෙනෙක් වුණ සුනිල් පෙරේරාගේ ආලෝකයෙන් බැබළෙන්න. තමන්ගේම කියලා අනන්‍යතාවයක් හදාගෙන හැමදාම ගේමක් ගහන ගයියාගේ අලුත්ම වැඩේ තමයි ‘THE සයිකෝ SHOW’ඇත්තටම මොකක්ද මේ ගයියාගේ THE සයිකෝ SHOW මෙදාපාර මීවිතෙන් ගයියත් එක්ක THE සයිකෝ SHOW ගැන පොඩි චැට් එකක් දැම්මා.
ගයියා, මොකක්ද මේ ද සයිකෝ ෂෝ කියන්නේ?
මේක මගේ පළමු ප්‍රසංගය. මේක හාත්පසින්ම වෙනස් ෂෝ එකක්. ඉතිං මේ ෂෝ එකේ සුවිශේෂීදේවල් ගොඩක් සිද්ධ වෙනවා. එකක් තමයි මේකේ ඇත්තටම වෙන කලාකරුවෝ කවුරුවත් නැහැ. මේකේ ප්ලේ කරන්නේ මමයි මගේ බෑන්ඩ් එකයි. දැන් මම අනෙක් ආර්ටිස්ට්ලා එක්ක සින්දු කියලා තියෙනවනේ. රයිනි එක්ක කිව්ව නීල කඳුගැටේ ගීතය වගේ තමයි තෝරාගෙන තියෙන්නේ. මේ යුග ගීත ගායනා කරන්න අපි තෝරාගන්නේ ප්‍රේක්ෂකයන්වමයි. ප්‍රසංගයට කලින් අපි තරගයක් පවත්වනවා. ඒ තරගයට සහභාගිවෙලා ඔවුන්ට පුළුවන් වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරන්න. ඒවායින් දක්ෂ අයව අපි තෝරාගෙන පුහුණුකිරීමක් සිදුකරලා විශේෂ අවස්ථාවක් ලබාදෙනවා අපිත් සමග එදාට ප්‍රසංගයේ දී ගායනා කරන්න.
ගයියාගේ ද සයිකෝ ෂෝ එකේදී රසිකයන්ටත් අවස්ථාවක් ලබාදෙනවා. එහෙමද?
ඔව්. ඔව්. දන්නවානේ ගයියාගේ වැඩ. මම කරලා තියෙන යුග ගීත කියන්න තමයි රසිකයන්ට අවස්ථාව ලබාදෙන්නේ. අනික මම ඒ යුග ගීත ගායනා කරපු කිසිම කලාකරුවෙක් මේ ප්‍රසංගයට ගෙනඑන්නේ නැහැ. මම ඒ අවස්ථාව ලබාදෙන්නේ රසික රසිකාවියන්ට. ඒක ලොකු අවස්ථාවක්. ෂෝ එකට කලින් ඔවුන්ව තෝරලා ස්ටුඩියෝ එකට ගෙනැල්ලා පුහුණු කරලා අපේම කණ්ඩායමේ එක්කෙනෙක් විදිහට ඔවුන්ව තියාගෙන තමයි ඒ වැඩේ කරන්නේ. හරියට වෘත්තීයමය කලාකාරයකුගේ අත්දැකීම ඔවුන්ට ලබාගෙන්න පුළුවන්.
ඇයි මෙහෙම වැඩක් කරන්න හිතුවේ ?
කවුරු හරි දක්ෂ නව පරපුරේ කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට මේක හොඳ අවස්ථාවක්නේ. අනෙක් පැත්තෙන් අපිටත් පහසුයි. දැන් අපි මේ වැඩේ කරන්නේ කොළඹ. එතකොට කොළඹ ඉන්න පිරිසට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. නුවර ගියොත් නුවර ඉන්න අයට අවස්ථාව හම්බ වෙනවා. ෂෝ එක යන පැත්ත අනුව අපි තෝරාගන්නවා දක්ෂ ගායක ගායිකාවෝ. ඉතිං ඔවුන්ට මේක හොඳ අවස්ථාවක්.
පළමු වතාවට ඔබේම වැඩක් එළියට එන්නේ?
ඔව්. මම රටගිහිල්ලා ආවට පස්සේ පළමු වතාවට තමයි මෙවැනි වැඩක් කරන්නේ. රට යනකොටත් මම ලෑස්තිවෙලා හිටියේ නැහැනෙ මගේම වැඩක් කරන්න. අනික ඒ කාලේ ලංකාවේ ප්‍රාසාංගික වේදිකාවත් ඒතරම් දියුණුවෙලා තිබුණේ නැහැ. දැන් මේ වැඩේ පටන්ගන්න හොඳ වෙලාවක් කියලා හිතෙනවා.
මේ වැඩේට දැනට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරි සන්තෝසයි. ප්‍රාසාංගික කලාවේ අපි මොකක්ද මේ කරන්න හදන්නේ කියලා මිනිස්සු උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නවා.
ඇත්තටම මොකක්ද වෙන්න යන්නේ?
වෙන්න යන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සරහට ප්‍රසංගයේදී තමයි ඒ දේවල් බලාගන්න වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා ටිකට් එකක් අරගෙන බලන ෂෝ එකක් නෙමෙයි. මේ ෂෝ එක වෙනස් වෙන කාරණා බොහෝමයක් තියෙනවා. ඒත් එක්කම මේ ෂෝ එකට සහභාගිවෙන හැමෝටම තෑගි හම්බවෙනවා. අපේ අනුග්‍රාහක භවතුන්ගෙන් තෑගි ඇදීමේ අවස්ථා තියෙනවා. මිස්ටර් මිස් සයිකෝ ලවර්ස් තෝරනවා. තරග තියෙනවා. මේක වෙනස්ම ප්‍රාසාංගික අත්දැකීමක්.
ද සයිකෝ ෂෝ එකත් එක්ක බෑන්ඩ් එකකුත් කරළියට එනව නේද?
මගේ බෑන්ඩ් එක මේ ෂෝ එකෙන් තමයි එළියට එන්නේ. බෑන්ඩ් එකේ නම ගයියා. මගේ බෑන්ඩ් එකේ බ්‍රාස් සෙක්ෂන් එකක් ඉන්නවා. සැක්සෆෝන්, ට්‍රම්පට්, ට්‍රොම්බෝන් වාදනය කරන හතරදෙනෙක් ඉන්නවා. ඊට ඩ්‍රම්ස්, බේස් ගිටාර්, පර්කශන් වාදනය කරන පිරිසකතුත් ඉන්නවා.
ගයියා කියන්නේ සාම්ප්‍රදායික බෑන්ඩ් එකක් නෙමෙයි?
ලංකාවට අනුව සාම්ප්‍රදායික නැහැ. නමුත් ඉතිං මේවගේ බෑන්ඩ් ලෝකයේ ඕනෑතරම් තියෙනවා.
ගයියා සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට වෙනස්ම වැඩකරන චරිතයක්. මෙදා පාර මොකක්ද මේ කරන්න හදන වෙනස?
ඉතිං ඒක ඇවිත් තමයි බලාගන්න වෙන්නේ. ෂෝ එකට එන්න. දැන් හැමෝම දන්නවා ඇති අපේ ද සයිකෝ ෂෝ එකේ මාර්කටිං කැම්පේන් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට අපිට හුඟක් ඉහළ ප්‍රතිචාරත් තියෙනවා. බනින පිරිසකුත් ඉන්නවා. එහෙම තමයි. මම කරන්නේ මොනවාද කියන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා.
වී අයි පී නෑ, වීවී අයි පී නෑ, ගයියා ළඟ ලොකු සීන් නෑ…. හරි අපූරු කැම්පේන් එකක්. මේක කාගේ නිර්මාණයක්ද?
ඒක ඇත්තටම හොඳයි. අපි ළඟ වී අයි පී නෑ, වී වී අයි පී නෑ. නමුත් අපි වෙනස්ම රසයක් ලබාදෙනවා. මේක වෙනස්ම අත්දැකීමක්. මේ වැඩේ එළැඹෙන නොවැම්බර් මස 23 වැනිදා විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන්නේ. මේක පැය දෙකහමාරක ප්‍රසංගයක්.
මේක රටවටා එහෙමත් නැතිනම් ලෝකේ වටා ගෙනියන්න අදහසක් තියෙනවාද?
ඔව්. එහෙම අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ ගැන බලමු. මුලින්ම මේ වැඩේ කරලා ඉන්න එපායැ.
ගයාන් පෙරේරා ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
සන්තෝසවෙන්න පුළුවන්. මහන්සිවෙලා වැඩ කරලා තියෙනවා. ඒකට සෑහෙන විදිහේ ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා.
ජිප්සීස් නැතිව මේ ගමන පටන් අරගෙන යන්න හිතුවේ ඇයි? ඒක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි නේද?
ඔව්. මම කොහොමත් ජිප්සීස් එකත් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැනේ. මම ආව දවසේ ඉඳලා කොහොමත් මගේ වැඩ තනියම කරගෙන හිටියනේ. ඒක ඉදිරියටත් එහෙම තමයි. ජිප්සීස් සම්බන්ධ කරගෙන මම මොනවා හරි ඉදිරියට වැඩක් කරාවි. නමුත් දැනට මම මගේ වැඩකටයුතු ටික තමයි කරගෙන යන්නේ.
පසුගිය කාලේ සයිකෝ ගීතයට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. පසුගිය කාලයේ ප්‍රසංග කිහිපයකට පවා සහභාගි වුණා. එහිදී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සියල්ලම විශේෂයි.
වැඩි සද්ද බද්දයක් නැතිව වෙඩින් එකත් ගත්තානේද?
ඔව්. ඔව්. ඒ වැඩෙත් වුණා. පොඩියට තමයි ඒ වැඩෙත් කළේ. මගේ ළඟපාත අයට විතරමයි කිව්වේ. ජීවිතය ගලාගෙන යනවා.
කොහොමද විවාහ ජීවිතය?
හොඳයි හොඳයි. වැඩේ නැඟලා යනවා.
බිරිඳගෙන් ප්‍රසංගයේ වැඩකටයුතුවලට සහයෝගය ලැබෙනවාද?
ඉතාමත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන ඇයට ස්තුතිවන්ත වෙනවා.
ණයවෙලා වෙඩින් කරන්න වුවමනාවක් නැහැ කියලා පසුගිය දවස්වල ඔබ කිව්ව කතාව සමාජ මාධ්‍යයේ හරියට කතාබහට ලක්වුණා නේද?
නෑ, ඉතිං ඇත්තනේ මම කිව්වේ. මට එහෙම එකක් නැහැ. අනික මගේ ලොකු විශ්වාසයක් නැහැ මහා පරිමාණයෙන් වියදම් කරලා වෙඩින් ගන්න. අනික මට එහෙම වියදම් කරන්න මහලොකු සල්ලියකුත් නැහැ. මට පුළුවන් විදිහට කළා. එච්චරයි. ඒක ලෝකෙට පේන්න කරන දෙයක් නෙමෙයි. විවාහයක් කියන්නේ පෞද්ගලික දෙයක්නේ. ඒක ඇවිල්ලා කාටත් පේන්න කරන්න ඕනෑදෙයක් නෙමෙයි. අපි දෙන්නෙක් එකතුවෙන එකට ආශිර්වාදයක් ලබාගන්න තමන්ගේ ළඟම ඥාතීන්ට කිව්වහම හොඳටම ඇති. එතැනින් එහාට අනෙක් උදවිය ගැන හිතන්න ඕනෑ කියලා මම නම් හිතන්නේ නැහැ. අනික වෙඩින්වලට අනවශ්‍ය කැම්පේන් ඕනෑ නැහැ.
කිව්ව විදිහටම ගයියා වැඩේ කළා කියලා කට්ටිය කියලා තිබුණා?
හොඳයි. දැන් ඉතිං වෙඩින් විකාරයක් වෙලානේ තියෙන්නේ. ඔළුව පොඩ්ඩක් පෑදිලා අපිට පුළුවන් විදිහට වැඩේ කළා. එච්චරයි. බොරුවට ණය වෙනවාට වැඩිය හොඳයිනේ. අනික ණය වෙන්නේ නැතිව තමන්ට පුළුවන් විදිහට වැඩේ කළා. කතාව එච්චරයි.
මෑත කාලයේ සංගීත කේෂ්ත්‍රයේ ඇතිවෙලා තියෙන පිබිදීම ගැන මොකද හිතන්නේ?
හොඳයි. සංගීත කේෂ්ත්‍රයට දැන් අලුතින් කට්ටිය එනවා. ඒක තියෙන්න ඕනෑ. එතකොටනේ මේක කර්මාන්තයක් විදිහට දියුණු වෙන්නේ. ඒක ඉතිං අපිටත් හොඳයිනේ. අපිටත් මහන්සිවෙලා වැඩකරන්න පුළුවන්. අභියෝග තියෙනකොට අපිටත් ඒක බලලා මහන්සිවෙලා වැඩකරන්න පුළුවන්.
ද සයිකෝ ෂෝ ලංකාවෙන් එළියට ගෙනියන්නත් අදහසක් තියෙනවාද?
අනිවාර්යයෙන්ම එහෙම අදහසක් තියෙනවා.
මේ ෂෝ එකේ කැම්පේන් එකට බැනුම් එහෙමත් ඇහැව්වා කියලා ආරංචියි ?
ඔව්. ඔව්. ඇහැව්වා. ඇහැව්වා. මම ඒවා එච්චර ගණන් ගන්නෙ නැහැ. මම කරන්නේ කැම්පේන් එකක්. කවුරු හරි ඒක පෞද්ගලිකව ගන්නවා නම් මට කරන්න දෙයක් නැහැ. කිසිම කලාකාරයෙක් එක්ක තරහක් නැහැ. නමුත් අපි කරන්නේ සයිකෝ කියන කන්සෙප්ට් එකේ කැම්පේන් එක. සයිකෝ වීඩියෝ එකෙත් තියෙන්නේ ඒක. සාමාජ මාධ්‍ය හරහා අපි දකින එක එක කට්ටිය හාස්‍යයට ලක්කිරීම තමයි අපි කරන්නේ. සයිකෝ ෂෝ එක ආවහමත් අපි ඒ ප්‍රචාරණ තීම් එකේ තමයි හිටියේ. සයිකෝ කියන්නේ තීම් එකක්. ඒක ඇතුළේ ඉඳලා දේවල් කරනකොට කලාවට සම්බන්ධ යම්කිසි ප්‍රසංග කලාකරුවෝ හාස්‍යයට ලක්වෙන අවස්ථා තියෙනවා.
මේ පාර වැඩේ පටන්ගත්තහම රසිකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර මොනවගේද?
මට එහෙම වෙනසක් නැහැ. අනික මගේ රසික ආදරයේ අඩුවක් නැහැ. මම හොඳ නිර්මාණයක් කරද්දී ඒක වටා එකතුවෙලා ඉන්නවා. හොඳයි. වැඩේ ඉතිං හොඳට යනවා.
ගෙදරින් මේ වැඩවලට ලැබෙන සහයෝගය?
ඉතාමත් හොඳයි. ඒකත් ඉතිං සෑහෙන වාසනාවක්.
මොනවද අනාගත සැලසුම්?
ප්ලෑන් එක තමයි මේ ෂෝ එක හොඳට කරන එක. ඒක ලංකාව වටේ වගේම රටින් පිට ගෙනියන්න තමයි අදහස.
අලුත්ම සංගීත ශෛලියන් ටිකක් අපි ඔබෙන් දකිනවා?
නැනිතනම් කම්මැලියි. එපා වෙනවානේ. එකම කළොත් වැඩක් නෑනේ. ඒක හින්දා අලුත්ම ශෛලියක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉස්සරහට එකට වැඩිය දෙකේ වෙනස් දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක දියුණු කරන්න අපි අලුතෙන් නිර්මාණ කරන්න ඕනෑ. එක එක විකාර බලන්න එපායැ. එතකොට තමයි අලුත් දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. රසිකයන්ව පිනවන්න පුළුවන් ක්‍රම තමයි අපි බලන්නේ. අපේ රස්සාව ඕකනේ. අපි කරන නිර්මාණ උපරිම මට්ටමෙන් කරන්නේ කොහොමද කියලා තමයි බලන්න ඕනෑ. මේ ප්‍රසංගයේදී නම් අලුත් ගීත එළිදැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දන්න සින්දු තමයි කියන්න ඕනෑ, අලුත් ගීත ෂෝවලදී එළිදක්වනවා කියන එකට මගේ එච්චර විශ්වාසයක් නෑ. ඇත්තටම මම කැමැතිත් මිනිස්සු කැමැති සින්දු ගහන්න. නැතිව මිනිස්සු දන්නේ නැති සින්දු ගහන්න මම කැමැති නෑ. මගේ ක්‍රමය ඒක. මිනිස්සු දන්න සින්දු ගහන්න තමයි මම කැමැති. නොදන්න සින්දු ගහනවාට වැඩිය.
තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැතිද?
ඒක දැන්ම කියන්න බැහැ. මොකද එතකොට ප්‍රසංගයේ වටිනාකම නැතිවෙලා යනවනේ. ඒකත් එක වෙනසක්නේ. තාත්තා කියන්නේ ඉතාමත් හොඳ තාත්තා කෙනෙක්. අපි කාගේ කාගේත් ජීවිත යම්කිසි තැනකදී කෙළවර වෙනවා. ඒකට හිතහදාගෙන යන්න ඕනෑ. ඒවා ගැන දුක්වෙලා වැඩක් නැහැ. අනික මම නිතරම උත්සාහ කළේ තාත්තා වෙන්න නෙමෙයි. තාත්තාගේ සින්දු ටිකක් කියලා සල්ලි ටිකක් හොයාගෙන පැත්තකට වෙලා මටත් ඉන්න තිබුණා. මම කැමැති නැහැ එහෙම. අනික වැඩකරන්නේ නැතිවනේ මිනිස්සු සල්ලි හොයන්න කැමැති. මම කැමැති වැඩ කරලා සල්ලි හොයන්න. නිකං ඉඳලා සල්ලි හොයන්න කැමැති නෑ. මට මෙච්ර දේවල් තියාගෙන මම ඔළුවෙන්ම හදාගන්නෙ මම ම දියුණුවෙන්න ඕනෑකියලා හිතාගෙන. මම එහෙම තීරණයක් ගත්ත එක ගැන සන්තෝසයි.
දිනේෂ් විතාන