ඇය ගුරු මවක්. ඒ වගේම සොඳුරු කලාකාරියක්. ප්‍රේක්‍ෂකයන් ඇයව හඳුනාගන්නෙ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණය හරහා. එහි යමුනා ටීචර් තාමත් ගොඩක් දෙනකුට අමතක නැති චරිතයක්. මේ වනවිටත් චිත්‍රපට කිහිපයකට වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් තම රංගන දායකත්වය ලබාදීල තියෙන නිසා ළඟදීම වෙනස් චරිත කිහිපයකින්ම තමන්ව දැකගන්න ලැබෙයි කියලයි ජයනි වීරසිංහ අපිත් එක්ක කිව්වෙ.
ජයනිට මේ දවස්වල සිනමාවට වැඩිපුර ආරාධනා ලැබෙනව?
ඔව්, මම මේ වනවිට චිත්‍රපට පහකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒ අතරින් පළමු එක ඉරාණයේ දමිළ සිනමා නිර්මාණයක්. මම එහි ප්‍රධාන චරිතය රඟපානව. ඊළඟට ‘අපේ ප්‍රින්සිපල්’, සුනිල් ආරියරත්න සර්ගෙ ‘බුද්ධ මාතා’, සමීර නාඔටුන්න අයියගෙ ‘වයිෆ්’ සහ තිළිණ බොරලැස්ස අයියගෙ ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ යන නිර්මාණ වලට සම්බන්ධ වුණා. ඉරාණයේ සිනමා නිර්මාණය පළමු එක වුණාට පළමුවෙන්ම තිරගත වුණේ අපේ ප්‍රින්සිපල්.
යමුනා ටීචර් ඔබේ සිනමා දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණා?
ඔව්, මේ සඳහා මට ආරාධනා කරන්නෙ තිර රචක ලලිත් අරුණ රාපක්‍ෂ මහත්මයා. අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණයේ මගේ චරිතය වුණේ යමුනා ටීචර්. මේ හරහා තමයි මම ප්‍රෙක්‍ෂකයන් අතරට ගියේ. විශේෂයෙන්ම මමත් ගුරුවරියක් විදිහට මේ චරිතය නිසා පාසලේ දරුවන් අතර තවත් ජනප්‍රිය වුණා. අවසානයේ ජයනි ටීච කියනව වෙනුවට දරුවො මට කතා කළේ යමුනා ටීචර් කියල. ඔවුන්ගේ දෙමව්පියන්ටත් මාව හඳුන්වල දුන්නෙ යමුනා ටිචර් කියල.
තව නිර්මාණ දෙකක් තිරගතවීට නියමිතව තියෙනව?
‘වයිෆ්’ සහ ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ යන නිර්මාණ දෙක තිරගත වීමට නියමිතව තියෙනව.
‘වයිෆ්’ හි විශේෂ දර්ශනයක් පසුගිය දා පැවැත්වුණා. කොහොමද ලැබුණ ප්‍රතිචාර?
මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ උදාරි. මට ලැබිල තියෙන්නෙ ඇයගේ යහළුවාගෙ චරිතය. ඇත්තටම එදා විශේෂ දර්ශනයෙන් පස්සෙ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
උාදාරි සමග කළ රූගත කිරීම්වල අත්දැකීම් මොන වගේද?
ඇත්තටම උදාරි කියන්නෙ හරිම නිහතමානී, ආදරණීය චරිතයක්. මට වැඩිපුරම ෂූටිං තිබුණෙත් ඇය සමග. ඒ ගෙවුණ කාලය මට බොහොම සුන්දර අත්දැකීමක් වුණා.
‘මං හොයන්නෙ ප්‍රේමයක්’ ගැනත් කියමු?
මෙහි ප්‍රධාන චරිතවලට ඉන්නෙ අභිලාෂි සහ දර්ශන් තවරාජ්. මට ලැබිල තියෙන්නෙ අභිලාෂිගෙ අම්මගෙ චරිතය.
ටෙලි නාට්‍ය වැඩකටයුතු කොහොමද?
ටෙලි නාට්‍යවලට ආරාධනා ගොඩක් ලැබිල තියෙනව. ඒ අතරින් පහකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනව. මම ගුරුවරියක් හැටියට සේවය කරන ගමන්නෙ කලාවට සම්බන්ධවෙලා වැඩ කරන්නෙ. ටෙලි නාට්‍යවලටත් දිගින්දිගටම සම්බන්ධ වෙන්න ගියොත් මට මේ දෙක අනාගන්න සිද්ධ වෙනව. ඒ නිසා චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් තෝරාබේරාගෙන සීමිත ප්‍රමාණයකට විතරක් සම්බන්ධ වෙනව.
ගුරු වෘත්තිය සහ කලාව එකට කරගෙන යනකොට තියෙන අභියෝග මොන වගේද?
ගුරු වෘත්තිය කියන්නෙ වගකීම් සහිත රැකියාවක්. විභාගයට මුහුණ දෙන ළමයින්ගෙ සිලබස් කවර් කරන්න ඕන. ඒවා මගහරින්න පුළුවන්කමක් නැහැනෙ. ඒ නිසා මම පළමු තැන දීල තියෙන්නෙ ගුරු වෘත්තියට. කවද හරි මට හිතුනොත් මට මේ වැඩත් එක්ක ගුරු වෘත්තියට පළමු තැන දෙන්න බැහැ කියල, ළමයින්ට මගෙන් අසාධාරණයක් වෙනව කියල එදාට වෙන විකල්පයකට යන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.
ජයනි රඟපෑමට එන්නෙ?
ඇත්තටම රඟපෑම කියන්නෙ මට පොඩි කාලෙ ඉඳන් තිබුණ හීනයක්. මගේ අම්ම කියනව පොඩි කාලෙ ඉඳන්ම මම කළේ කන්නාඩිය ඉස්සරහ කැරකි කැරකි හිටපු එක කියල. රඟපෑම මගේ ඇඟේ තියෙන්න ඇති. නමුත් ඒකට පාර කැපෙන්නෙ 2011 අවුරුද්දෙ ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමාරිය වීමත් එක්ක.
ක්‍ෂේත්‍රය ඔබ දකින්නෙ කොහොමද?
ගොඩක් දෙනෙක් කියනව කලා ක්‍ෂේත්‍රයේ රැඳෙන්න හරි අමාරුයි, පරිස්සමින් ඉන්න ඕන තැනක් කියල. නිළියක් කිව්වාම සමහරුන්ගෙ පිළිගැනීමත් අඩුයිනෙ. නමුත් ඔනෑම ක්‍ෂේත්‍රයක රැඳෙන්න නම් අපි අපේ වගකීම් හරියට ඉෂ්ට කරන්න ඕන. ඒ වගේම හරියට ඉන්න දැනගන්න ඕන. එහෙම වුණොත් ඕනෑම ක්‍ෂේත්‍රයක අපිට ඉන්න පුළුවන්. ඒ වගකීම තියෙන්නෙත් අපි මතමයි.
කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිදු වුණාද?
ඒක ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට පාසලේදිත් අපිට කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිදු වෙනව. මම නම් ඒවා ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. තමන්ගෙ වැඩේ හරියට කරනව නම් ඒවා අදාළ වෙන්නෙ නැහැ. කොහොමත් මට ඉක්මන් ගමනක් නැහැ. ඒක හරිම හිමින් යන ගමනක්.
සීමා මායිම් තියෙනවද?
ගුරුවරියක් සහ මවක් විදිහට මම මටම සීමා මායිම් තියාගෙන ඉන්නව. ඒවා ඇතුළත තමයි මම වැඩකරගෙන යන්නෙ.
විශේෂයෙන් රඟපාන්න කැමති චරිතයක් ඇති?
ඔව්, මම බැඳපු අලුත වගේ මල් වැටුණ ගවුමක් ඇඳල ගැමි, දඟකාර චරිතයක් රඟපාන්න ආසාවක් තිබුණ. නමුත් එහෙම එකක් ලැබුණෙ නැහැ. දැන්නම් ඒ ආසාව ගිහිල්ලා. මේ කාලෙ නම් රජ කතාවල චරිත මට ගැළපෙයි කියල හිතෙනව.
සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඇත්තටම ඔහු ඉතාමත් කාර්යබහුලයි. සමහර වෙලාවට කන්න, නිදාගන්නවත් වෙලාවක් නැහැ. නමුත් මගේ වැඩවලදි දුරකතනයෙන් හරි සම්බන්ධවෙලා මං ගැන හොයල බලනව වගේම මං ගැන දැඩි විශ්වාසෙකින් ඉන්නව. ඒක මට ලොකු හයියක්. විශේෂයෙන්ම කියන්න ඕන මට ගෙදර තියෙන හයිය තමයි මගේ තාත්ත. මගේ බබාල තුන්දෙනාව බලාගෙන, මගේ වැඩවලටත් උදව්කරගෙන ඉන්නෙ එයා. නැත්නම් ගුරුපත්වීමත් මේ වනවිට අතහැරල. ඒ හැරුණම මගේ අම්මා, මහත්තයගෙ අම්මා, මේ හැමෝම මට උදව් කරනව.
පාසලෙන් ලැබෙන සහයෝගය?
මම දැනට තර්ස්ටන් විද්‍යාලයේ සේවය කරන්නෙ. එහි විදුහල්පතිතුමාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. බොහෝ අවස්ථාවල මට උපරිම සහයෝගය ලබාදෙනව. එතුමාත් කලාවට බොහොම ලැදි කෙනෙක්.
මහේෂ් එදිරිසිංහ