ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුතණුවන් වන ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියෙක් විතරක් නෙවෙයි, රංගන ශිල්පියෙක් විදිහටත් අපි දැන හඳුනගත් මේ සුන්දර කලාකරුවා වෙනුවෙන් ඔහුගේම මිතුරන් පිරිසක් විසින් සංවිධාන කරන හරි අපූරු ප්‍රසංගයක් ගැන දැන ගන්න ලැබුණා. ඒ ‘සුපුන් සඳක් - මියැසි රාත්‍රිය’ පැවැත්වෙන්නේ දෙසැම්බර් 6 වැනිදා BMICH හිදී. අපි ඒ ගැන කතා කළේ ප්‍රියංකර පෙරේරා සමග.
සෑහෙන කාලයකට පස්සේ නේද ඔබේ ප්‍රසංගයක් සංවිධානය වෙන්නේ....
ඇත්තම කිව්වොත් මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ මගේ වුවමනාවට වඩා මගේ මිතුරන්ගේ තියෙන දැඩි උනන්දුව වුවමනාව මත. මම ඉන්නේ අසනීප තත්ත්වයෙන්. මම කාලයක් තිස්සේ කිසිම ප්‍රසංගයක් සංවිධානය කළේ නැහැ. ඒ නිසාම මගේ මිතුරන් මා වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධාන කරන ගමන් මගේ පියාගේ ගීත එක්කම ‘සුපුන් සඳක් - මියැසි රාත්‍රිය’ නමින් ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා.
කවුද එදාට ගී ගයන්නේ...
මමත් මගේ පුතා ඩිල්මින් පෙරේරාත් ගීත ගායනා කරනවා. මගේ පියාගේ ගීතත් එක්ක තමයි මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ. එඩ්වඩ් - චරිතා, රෝහණ බෝගොඩ, චලක චමුපති පෙරේරා, අමල් පෙරේරා, ජානක වික්‍රමසිංහ, නුවන්ධිකා සේනාරත්න, නදීමාල් පෙරේරා, සනුක වික්‍රමසිංහ, කුමාරි මුණසිංහ, අමිලා නදීශානි, කිර්ති පැස්කුවල්, මහින්ද පතිරගේ, රොහාන් ද සිල්වා, පුන්සිරි සොයිසා, හිමාෂ මනුප්‍රිය, තනුර මධුගීත් වගේ බොහෝ දෙනෙක් එදාට ගීත ගායනා කරනවා. තිළිණ තුෂාර වෙල්ලාලගේ තමයි සංගීතය සපයන්නේ. එදාට කථනය සිදු කරන්නේ කැලුම් ශ්‍රීමාල්. මට ආදරය කරන ආදරණීය රසිකත්වයට බොහොම ආදරෙන් ආරධනා කරනවා. එන්න එදාට ඇවිත් අතීත මතකයන් එක්ක ගීත රසවිඳින්න.
ප්‍රියංකර අයියාට හොඳ මිතුරෝ ටිකක් ඉන්නවා නේද?
මම මේ ජීවිත කාලය තුළ උපයා ගත් වත්කමක් වේ නම් ඒ තමයි මමයි මගේ බිරිඳ දිල්හානියි එකතුවෙලා හදපු මේ ගෙදර, අපි දෙන්නාගේ දරුවා සහ මගේ මිතුරු පිරිස. මම වැටෙන හැම තැනකදීම මා එක්ක හිටියා. අදටත් එයාලා මා එක්කම ඉන්නවා. එයාලගේ උනන්දුවෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ.
දැන් ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැනත් අපි ටිකක් කතා කරමුද?
දැනට අවුරුදු 7කට විතර කලින් ඉඳන් තිබුණු යම් යම් රෝගී ලක්ෂණ නිසා තමයි අද මේ ඉන්න තත්ත්වය උදා වුණේ. ජීවිතේ හැටි ඔහොම තමයි ඉතින්. හැමදාම එක වගේ ඉන්නත් බෑනේ. සීනි සහ ස්නායු ආබාධයක් නිසා කකුලක් ඉවත් කරන්න සිදු වුණා. ඒ එක්කම වකුගඩු රෝගයටත් මුහුණ දුන්නා. දැන් ප්‍රතිකාර නිසා යම් මට්ටමක සුවෙන් ඉන්නවා. ඔය අතරේ බයිපාස් එකකුත් කළා. මේ කාලය තුළ විවිධ ශල්‍යකර්මවලට භාජනය වෙන්න සිද්ධ වුණා.
දැන් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ඉන්නවද?
ඔව් ගොඩක් දුරට කෑමබීම ජාති ගන්නේ ශරීරයට හිතකර දේවල්. එහෙමයි කියලා පැණිරස නොකා ඉන්නෙමත් නැහැ. ගෙදර අය නම් මට දෙන්නේ නැහැ. මම ඒත් ඉතින් තලබෝලයක් එහෙම කනවා. දිල්හානි දැක්කොත් එහෙම නම් බැනුම් අහනවා.
ජීවිතේ කඩා වැටුණු තැන් තියෙනවද?
එහෙම වුණේ නැහැ. මම බොහෝ වෙලාවට බෞද්ධ දර්ශනය එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසා මේ හැම දෙයක්ම මම උපේක්ෂාවෙන් දරා ගන්න පුරුදු පුහුණු වෙලා ඉන්නවා. අපිට හැමදාම එක වගේ ජීවත් වෙන්නත් බෑනේ. හැමදාම ජීවත් වෙන්නත් බෑනේ. කොහොමත් මම ජිවත් වුණේ හැමදේම අත්හරිමින්.
දැන් තියෙන බලාපොරොත්තු මොනවද?
තව එකම ආසාවක් තියෙනවා. ඒ තමයි මුනුබුරෙක් බලන එක. හැබැයි මම හිතන්නේ නැහැ, ඒකත් මට මේ ඉන්න කාලේ බලන්න ලැබෙයි කියලා. ලැබුණොත් ඒ බලාපොරොත්තුවත් හරි.
අවසාන වශයෙන් ප්‍රියංකර පෙරේරාට ආදරේ කරන රසිකයින් කියන්න දෙයක් ඇති...
මම කලාකරුවෙක් වීම ගැන බොහොම තෘප්තිමත් වෙනවා. එහෙම කියලා කවදාවත් මම ජනප්‍රිය කෙනෙක් කියන එක හිතට අරන් ජීවත් වුණේ නැහැ. මට පොඩි හෝ දෙයකට කතා කරා නම් මට ඒ වෙලාවේ ඒ දේ කරන්න පුළුවන් නම් මම කළා. ඒ නිසාම වෙන්න ඇති එදා වගේම අදටත් අපි ගැන කතා වෙන්නේ. බොහොම නිහතමානී සතුටක් ලබන ලැබෙන ප්‍රේක්ෂක රසික ආදරේ නිසා.