සොෆියා ගස් නැග්ගට මට ගස් නගින්න බැහැ - ෂෙහානි කහඳවල

gossiplanka image 1
 


තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘මෝඩ තරිඳු’ මේ දිනවල රට පුරා ප්‍රදර්ශනය වෙන්නේ මුළු රටම සිනාවේ ගිල්වමින්. මෝඩ තරිඳු සිනමා පටයේ රටම කතා කරන නිළිය බවට දැන් ෂෙහානි කහඳවල පත්වී හමාරයි. ඕනම කෙනෙක්ට ආදරය කරන්න හිතෙන, දෙපාරක් හැරිලා බලන්න හිතෙන සොෆියා ගැන අපිත් කතා නොකළොත් අඩුවක් කියලා හිතුණා. මේ නිසා අද අපි මෝඩ තරිඳු තුළ ආකර්ෂණීය චරිතය සොෆියා සමග කතාබහකට මුල පුරනවා. සොෆියාට ලැබෙන ප්‍රතිචාරවලින්ම ඇය කතාව ආරම්භ කළා...








ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. බොහෝ දෙනා සොෆියාව ආදරෙන් බාරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ චරිතයට මම සාධාරණයක් කරලා තියෙනවා කියන ප්‍රතිචාරය මට ලැබෙනවා. ඒ ගැන හරි සතුටුයි. මොකද සොෆියා වෙනුවෙන් මම සෑහෙන්න කැප වුණා. ඕනෑම දෙයක් අපි අලුතින් කරද්දි මුල් දවස්වල පොඩි අභියෝගයක් වෙනවා. ඒ චරිතේ මම මගේ මුළු හිතින්ම සහ මුළු ඇඟෙන්ම මම කළා. සොෆියා කියන චරිතය තුළ ජීවත් වුණු කාලය සුන්දරයි. මම ඒ කාලය තුළ සොෆියා තුළ ජීවත් වෙමින් ඒ චරිතේ වින්දා. ඒ නිසාම වෙන්න ඇති සොෆියා ගැන මේ තරම් කතා කරන්නේ.




ෂෙහානි රංගනයෙන් දායක වන මුල්ම නිර්මාණය තමයි මෝඩ තරිඳු. මේ නිර්මාණයට වුණත් ඇය ඇවිත් තියෙන්නේ දැඩි විශ්වාසයකින්...




තිසරගේ නිර්මාණ ගැන කතා කරන්න දෙයක් නැහැ. මම ඒ විශ්වාසය මත මේ වැඩේට ආවේ. තිසර කියන්නේ තරුණ පරපුර නියෝජනය කරන කෙනෙක් විදියට එයාට හැකියාව ලැබිලා තියෙනවා ලංකාවේ හැම ඕඩියන්ස් එකකටම ගැළපෙන විදියට ඔබින විදියට මේ නිර්මාණය කරන්න. ඒ නිසා මම දෙපාරක් හිතුවේ නැහැ. මම එක සැරේටම මේ චරිතේ කරන්න කැමති වුණා.








චිත්‍රපටයේ 23 වැනි දිනය පසු කරන විට මෝඩ තරිඳු හවුස් ෆුල් දර්ශන වාර දහස පසු කළා. මෑත කාලයේ චිත්‍රපටයක් මෙවන් සාර්ථකත්වයක් ලැබිලා නැහැ. සිනමාශාලා ප්‍රේක්ෂකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරෙනකොට ශෙහානිට දැනෙන සතුට වචනයෙන් කියන්න බැහැ...




ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. මෝඩ තරිඳු හි මමත් ෆෑන් කෙනෙක්. ඒ තුළ මම රඟපෑ නිසා නෙවෙයි මම මේ කියන්නේ සමස්ත නිර්මාණය බලලා. මම ආයේ ආයේ බලනවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය වැලඳ ගන්න විදිය පවා හරිම ආදරණියයි. එදිනෙදා ජීවතේ අපි කතා කරන දේවල් තමයි එහි තියෙන්නේ. ඒ හැර වෙනම අමුතුවෙන් මවලා ලියලා නැහැ. සාමාන්‍යය ජීවතේ අපි ගත කරන විදියම තමයි දීලා තියෙන්නේ. අපිට දැනෙන්නේ අපි දිහාම බලන් ඉන්නවා වගේ. ඒ ගැන ප්‍රේක්ෂකයන් කතා වෙද්දී. එහි තියෙන දෙබස්වලට හිනා වෙද්දී ලොකු සතුටක් දැනෙනවා. එක සිනමාශාලාවක එක හිස් පුටුවක්වත් නැහැ. ඒ තරමට ඔක්කොම හවුස්පුල්.




කෞෂල්‍යා ප්‍රනාන්දු සහ සූර්යා දයාරුවන් එක්ක තමයි සොෆියාට වැඩිම රූප රාමු තියෙන්නේ. මේ නිසා ඔවුන් දෙදෙනා ගැන කතා නොකර කොහොමද...




අපි හැමෝම යාළුවො වගේ තමයි සෙට් එකේ දී හිටියේ. ඒ දෙන්නාගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි මගේ චරිතෙත් ලස්සන වුණේ. කෞෂල්‍යා ප්‍රනාන්දු කියන්නේ අපිට ඉන්න දක්ෂ ප්‍රවීණ ශිල්පිනියක්. හරිම නිහතමානී ආදරණීය චරිතයක්. එයා මට ලොකු සහයෝගයක් දුන්නා මෝඩ තරිඳු නිර්මාණය තුළ දී. සූර්යා කියන්නේ අදටත් මගේ හොඳම යාලුවෙක්. ඒ හැමදේම එකතුවක් වුණා ලස්සන නිර්මාණයක් හැදෙන්න.


සොෆියා කියන්නේ ගස් නගින කෙල්ලෙක්. ගස් උඩ ලව් කරන කෙල්ලෙක්. හැබැයි ෂෙහානි කහඳවල කියන්නේ නම් කොටින්ම ගහකටවත් නැගගන්න බැරි කෙල්ලෙක්. මම කොහෙද ගස් නගින්නේ.. පහළ ඉඳන් අතු තිබ්බොත් නම් කොහොම හරි ගහට නැග ගන්න පුළුවන්. නමුත් හැමෝගෙම සහයෝගය නිසා කොහොම හරි ගහට නැග ගත්තා. ගහට නැගගත්තහම නම් හරිම ෂෝක්. ඒක මට නම් වෙනම අත්දැකීමක්. මට එහෙම දැනෙන්නේ ගස් නැගලම නැති නිසා වෙන්න ඇති. හැබැයි ගහ උඩ වෙලාවක් ඉන්නකොට නම් ටිකක් අමාරුයි.








මෝඩ තරිඳු හැරුණාම මේ දවස්වල ෂෙහානි කියන්නේ ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුල ශිල්පිනියක්.




කොයි තරම් කාර්ය බහුල වුණත් ෂෙහානි කියන්නේ සරලව හා සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්...




ඇත්තටම මම ජීවිතේ මහ ලොකු බරක් විදිහට දකින්නේ නැහැ. හරිම සැහැල්ලුවෙන් සතුටින් වැඩ කරගෙන යනකොට තමයි ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.


මේ කාලේ සංගීතය පැත්තට වැඩි ඉඩක් දීලා කටයුතු කරගෙන යනවා. මම කාලයක් වැඩ නොකර හිටියා. නමුත් මම හිතනවා මගේ වැඩවලට හරියටම අවධානය දීලා වැඩ කරන්න හොඳම කාලය තමයි මේ කාලය. විදෙස් සංචාර එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය කාලේ මම කෙටි එපිසෝඩ් ප්‍රමාණයක නාට්‍යයකට දායක වුණා. ඉදිරියේදීත් එවැනි කෙටි එපිසෝඩ් නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි. කොහොම වුණත් ගායනය හා රංගනය යන දෙපැත්තෙන්ම වැඩ ටික බැලන්ස් කරගෙන යනවා. මොකද මේ කාර්යයන් දෙකටම මම හරිම කැමතියි.




මෝස්තර හා ෂෙහානි කියන්නෙත් දෙකක් නෙවේ, එකක්. ඒ තරමට ෂෙහානි හැඩට අඳින්න කැමතියි.




මම ගොඩක්ම ෆැෂන් කරන්න කැමති කෙනෙක්. මගේ අංක එක ෆැෂන් කිව්වොත් හරි. හැබැයි මම මගේ ඇඟට ඔබින විදියට තමයි ෆැෂන් කරන්නේ. ඒ වගේම මම කැමති පැෂන් තමා කරන්නේ.


ඇඳුම් මෝස්තර වගේම ටැටූවලටත් ෂෙහානි හරිම කැමතියි. ෂෙහානිගේ ඇඟ පුරා විශාල ටැටූ ප්‍රමාණයකුත් තියෙනවා. මේ කලාව ගැනත් ඇය තුළ තිබෙන්නේ මෙවන් හැඟීමක්. 


මගේ ශරීරයේ පොඩි පොඩි ටැටූ පහළොවක් විතර තියෙනවා. මම කැමති පොඩියට ටැටූ කරන්න. සමහර ටටූවලට විශේෂ හේතුවක් තිබුණත් සමහර ඒවා එහෙමනෑ.


මගේ එක අතක තියෙනවා 224 කියලා. ඒක මගේ උපන්දිනය (පෙබරවාරි 24). අනිත් ටැටූ වලින් එකක තේරුම අද හෙට සහ හැමදාම කියන එක. ඒ වගේම එන්ජල් කියලා එකක් තියෙනවා. හෝම් කියලා එකක් තියෙනවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා.


මගේ ශරීරයේ පොඩි පොඩි ටැටූ පහළොවක් විතර තියෙනවා. මම කැමති පොඩිවට ටැටූ කරන්න. සමහර ටැටූවලට විශේෂ හේතුවක් තිබුණත් සමහර ඒවා එහෙම නැහැ.




ෂෙහානි කියන්නේ තරුණ සුන්දර යුවතියක්. ඉතින් ෂෙහානි එක්ක ආදරේ ගැන කතා නොකළොත් ඒක ලොකු අඩුවක්. හැමදාම ආදරේ කියන ප්‍රශ්නෙදි ෂෙහානි පැනලා ගියත් අද අපි ඇයට එසේ යන්න නොදී කොටු කරගත්තා...




ඇත්තටම මම තාමත් ආදරවන්තියක් නෙවේ. ආදරය කියන වචනයෙන් මම පැනලා යන්න උත්සාහ කරන්නේ නැහැ. මමත් දන්නවා ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක් කියලා. හැබැයි එහෙම සුන්දර ආදර කතාවක් පටන් ගන්න නම් සුන්දර කෙනෙක් මුණගැහෙන්නත් ඕනේ. එහෙම නොවී කෙනෙක් ලැබුණොත් ඒ ආදර කතාව අසුන්දර එකක් වෙන්න පුළුවන්. මේ නිසා සුන්දර ආදර කතාවක් පටන් ගන්න නම් ඉවසීමෙන් ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.




නමුත් පවුලේ එකම දරුවා වෙච්ච ෂෙහානිට ගෙදරින් මේ ප්‍රශ්නය මගහැරලා ඉන්න ලේසි නැහැ කියලා තමා ඇය කියන්නේ...




ගෙදරින් නම් කියනවා දැන් ඔය විදිහට උන්නා ඇති කියලා. නමුත් එතැනින් පස්සේ ජීවිතේ ගත කරන්න ඕනේ මම. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ මම. ඒ නිසා නිවැරදිම තීරණය ගැනීමේ වගකීම මට තිබෙනවා. කවුරු කොහොම කිව්වත් හිතට හරියන කෙනා තාම මුණගැහුණේ නැහැ කියලා මම දන්නවා. හිතට දැනෙන කෙනා මුණගැහුණොත් ගෙදර අයට සතුටු වෙන්න පුළුවන් තීරණයක් අරගන්නවා.








මේ මුළු කතාව පුරාම අපට දැනෙන්නේ ෂෙහානි කියන්නේ හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලා. කිසිම පසුතැවීමක් ජීවිතයේ ඉතුරු කරගන්න ඇය තුළ කැමැත්තක් නැහැ. මේ නිසා ගත කළ ජීවිතය ගැන තෘප්තිමත් වගේම අනාගතය ගැනත් සුබ හැඟුම් ඇගේ සිතේ තිබෙන බව නම් පැහැදිලියි...




ලැබීම් සහ නොලැබීම් ගැන මම මහ ලොකුවට හිතන කෙනෙක් නෙවේ. ඒක තමා ජීවිතේ කියන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. අනේ මට මේක මිස් වුණා නේ. මෙහෙම කළා නම් හොඳයිනේ, තව හොඳට කරන්න තිබුණනේ කියලා හිතන්නේ නැහැ. මට ලැබෙන හැම දෙයක්ම මම සතුටින් බාරගන්නවා. ඉස්සරහටත් ලැබෙන දේවල් සතුටින් බාරගන්න මම සූදානම්. කොහොම වුණත් මට මෙහෙම හිතෙනවා. මම හරිම වාසනාවන්ත කෙනෙක්. කරන හැම දේකින්ම සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම ගෙවෙන කාලය ගැන මම හරිම සතුටින් ඉන්නේ. 

gossiplanka image 2
Previous Post Next Post