නතාෂා පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ජනප්‍රිය ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි නතාෂා ව පහුගිය කාලේ නම් අලුත් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. දිගු නිහැඬියාවකට පස්සේ නතාෂාගෙන් කවර් සෝන්ග් කිහිපයක්ම අහන්න ලැබෙනවා. ඒ ගැන වගේම මේ දවස්වල මොකද වෙන්නේ කියලා අපි නතාෂාගෙන්ම ඇහුවා.
‘‘පසුගිය කාලේ ගත්තම වැඩිපුර කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණා. හැබැයි දැන් නම් ලංකාවට ඇවිත් සුපුරුදු විදියට කාලය ගත කරමින් ඉන්නවා. ඒ එක්කම පහුගිය අවුරුද්දක කාලයක් මම සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍යයෙන් ඈත් වෙලා හිටියා. ඉස්සර මම හැමදාම සමාජ මාධ්‍යට මොකක් හෝ පොස්ට් එකක් දාපු කෙනෙක්. ඒක මම සම්පූර්ණයෙන්ම නවත්තලා ලොකු බ්‍රේක් එකක් ගත්තා. ඇත්තම කියනවා නම් සමාජ මාධ්‍යවල පළ වෙන දේවල් බලන එකත් මම නතර කළා. ඉතින් එහෙම දින 300කට වැඩි කාලයක් ඉඳලා ආයෙම පටන් ගන්න ඕනේ නිසා තමයි මම ආස ගීත කවර් සෝන්ග් විදියට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දුන්නේ.
මේ වෙද්දී කවර් සෝන්ග් හතරක්ම කරලා තියෙනවා. හැබැයි තවම ප්‍රේක්ෂකයන්ට අහන්න දුන්නේ ගීත දෙකක් පමණයි. ඒ අතරින් ‘නුඹට දුන්නු ආලේ’ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවේ මම කාලයක් සමාජ මාධ්‍ය තුළ දැක්කේ නැති නිසා මාව ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා ඇති කියලා. හැබැයි මම මේ ‘නුඹට දුන්නු ආලේ’ කවර් සෝන්ග් එක එළියට දැම්මත් එක්කම මම නිහතමානීව සතුටක් ලැබුවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම මේ තරම් ආදරයක් මට දෙනවට. සුළඟක් වී ගීතයෙන් මම එන්නේ. මේ වෙද්දී අවුරුදු 22ක් ගතවෙලා. තාමත් එදා වගේම ආදරේ ලැබෙන එකම කොයි තරම් නම් වාසනාවක්ද? ඒ එක්කම මේ දවස්වල මගේම කියලා ගීත කිහිපයකට පසුබිම සකසාගෙන යනවා. ඒ දේවල් හැකි ඉක්මනින් ආදරණීය රසිකත්වයට දෙන්න සූදානම් වෙනවා.’’
ප්‍රිහාන් එක්ක එකතු වෙලා යුග ගීතයක් එහෙම කරන්න අදහසක් නැද්ද කියන එකත් මේ කතාබහෙදීම ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්...
‘‘ඒකට නම් තවම උත්තරයක් දෙන්න විදියක් නැහැ. මොකද ඒ දේවල් කොහොම වෙයිද කියන එක දැන්ම කියන්න බැහැ. කටකතා ගොසිප් කියන දේවල් මට මගේ ජීවිතේ අද ඊයේ ආව දේවල් නෙවෙයි. එක එක කාලවල්වලදී එක එක ටොපික්වලින් කටකතා ගොසිප් හැදෙනවා. ඒ දේවල් සාමාන්‍ය දේවල් විදියට දැක්කොත් ප්‍රශ්නයක් නැහැ. මම කොහොමත් මගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ශෙයාර් කර ගන්න කෙනෙක් නෙවෙයි. මම හැම වෙලාවෙම බෙදා ගන්නේ මගේ නිර්මාණ කටයුතු. මම හිතන්නේ ඒක හොඳයි කියලා.
සමාජ මාධ්‍ය ඔස්සේ මට හොඳ වගේම නරකත් කාලෙන් කාලෙට එනවා. ඒ හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්න කෙනෙක්. ඒ නිසා කවදාවත් ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න මම යන්නේ නැහැ. ජනප්‍රියත්වය කියන දේ මේ ලෝකේ තියෙන අනෙකුත් සංසිද්ධීන් වගේම සදාතනික දෙයක් නෙවෙයි. ඒක අද තියෙනවා හෙට නැති වෙනවා. ඒක අපි හැමෝටම පොදුයි. අද මම ජනප්‍රියද නැද්ද කියන එක මම දන්නෙත් නැහැ. මම නිර්මාණ කරන්නේ ආදරෙන්. මම ආදරෙන් කරන නිර්මාණ පොදු රසිකත්වයට දෙන එක තමයි මට වැදගත්.
මට හැමදාම තියෙන ලොකුම අභියෝගය මමයි. මම කරන නිර්මාණ සහ මම ප්‍රේක්ෂකයාට මොන වගේ දේවල්ද දෙන්නේ කියන කාරණාව. දක්ෂතා තියෙන අය එනවා කියන්නේ ක්ෂේත්‍රයේ දියුණුවක් තියෙනවා කියන එකනේ. ඒ නිසා දක්ෂතා තියෙන අය ඕනෙම ක්ෂේත්‍රයකට ආ යුතුමයි.
මම ඔස්ට්‍රේලියාවට යන්න කලින් ලංකාවේ දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගෙන් රංගනයට ආරාධනා ලැබුණා. හැබැයි අකමැත්තෙන් හරි ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා මගේ ඔස්ට්‍රේලියා ගමන නිසා. මම ඉතාම ගෞරව කරන, ගෞරවණීය අධ්‍යක්ෂවරුන්ගෙන් මට ඒ ආරාධනා ලැබුණේ. මම හිතන්නේ ඒ අතින් මම හරි භාග්‍යවන්තයි කියලා. ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න ඉඩ තියෙනවා.
අවුරුදු 22කට වැඩි කාලයක් තිස්සේ මට දෙන ආදරේට හිස නමා ආචාර කරනවා. මොකද කලාකරුවන් විදියට අපිට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බැහැ. ඒ ආදරේ නිසයි මම අද මෙතැන ඉන්නේ. එදා දුන්නු ආදරේම අදත් දෙනවට බොහොම ස්තුතියි. සංගීතය නැති දවසක් මගේ ජීවිතේ නැති තරම්. මාව ධෛර්යමත් කරන හැමෝටම ගොඩක් පිං.’’