
තරිඳු පායන්නේ රෑ අහසේය. සූර්යා දහවලය. තරිඳු සහ සූර්යා එක විට පායන්නේ නැත. පසුගියදා රිදී තිරය මත එවැනි ආශ්චර්යයක් සිදු විය. තරිඳු සූර්යා මත සමපාත වී තිබිණ. නිර්මාණකරු තිසර ඉඹුලානය. තිර පිටපත තිසර ඉඹුලාන සමඟ තිසර මංගල බණ්ඩාරගේය. සූර්යා දයාරුවන් මෝඩ තරිඳුගේ භූමිකාවට පණ පොවමින් රිදී තිරයේ මහා පෙරළියක් කරමින් සිටී. ‘මෝඩ තරිඳු’ යැයි ඇසූ පමණින් එය බුද්ධියෙන් අඩු බවක් හැඟවුණද එය එසේ නොවීමද මෙහි විශේෂත්වයකි. ‘මෝඩ’ යන්නට අර්ථකථනද බොහෝය. එය අවස්ථානුකූලව යොදා ගැනීම ප්‍රේක්ෂකයාට භාර කරමින් මෝඩ තරිඳු මේ දිනවල සාර්ථකව තිරගත වන්නේ පවුල් පිටින් නරඹා විනෝද විය හැකි සිනමා නිර්මාණයක් ලෙසිනි. සූර්යා දයාරුවන් අනෙක් පසින් දක්ෂ සම්මානිත ගායන ශිල්පියකි. රංගනයද ඊට නොදෙවැනිය. මෝඩ තරිඳු ලෙස මේ දිනවල ඔබේ ආදරය විඳිමින් සිටින සූර්යා අප හා කතාබහට එක් විය.
මේ දිනවල ඔබ මෝඩ තරිඳු. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
මෝඩ තරිඳු කියන්නේ තිසර ඉඹුලානගේ නිර්මාණයක්. මීට අවුරුදු කීපයකට කලින් මං තිසර එක්ක වැඩ කරලා තිබුණා. මගේ පළමුවැනි ගීතය ‘මගේ නේ’ ගීතයේ මියුසික් වීඩියෝ එක කළේ ඔහු. එතනදි තමයි අපි මුලින්ම හමු වන්නේ. ඊට පස්සේ තව මියුසික් වීඩියෝ එකක් කළා ‘මනසාවී’ කියලා. ඒ කාලෙ තමයි තිසර ‘මෝඩ තරිඳු’ කරන්න සූදානම් වෙමින් ඉඳලා තියෙන්නේ. තරිඳුගෙ කැරැක්ටර් එකට ඒ වෙද්දිත් කිහිප දෙනෙක්ම ‘ඔඩිෂන්’ කරලා තිබුණා. එදා ෂූට් එකේදි එක එක ෆ්‍රේම් එකෙන් ඔහු මා දිහා බලද්දි තමයි තරිඳුට හොඳම කෙනා මං කියල හිතිලා තියෙන්නේ. පහුවෙනිදම ඔහු මගෙන් ඇහුවා ‘මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා, කරමුද?’ කියලා. පිටපත කියවද්දි මටත් ආස හිතුණා.
මේක ‘බ්ලැක් කොමඩි’ ශානරයේ නිර්මාණයක්. ඔබ ඒ වගේ අත්දැකීමක් ලබන පළමු අවස්ථාව මෙය නේද?
ඇත්තටම මේ මං බලාපොරොත්තු නොවුණු පැත්තක්. මමත් විවිධ ශානරයේ ඒවා කරල තිබුණට බ්ලැක් කොමඩි සීරියස් පැත්තට බර කැරැක්ටර් එකක් ලැබුණු පළමු අවස්ථාව. හරිම ආසාවෙන් භාර ගත්තා.
‘මෝඩ තරිඳු’ කියද්දි කැරැක්ටර් එකේ බර ටිකක් අඩුයි. සූර්යාගේ ප්‍රතිරූපයට ඒක හානිකරයි කියල හිතුණෙ නැද්ද?
මේ මගේ දොළොස්වැනි සිනමා නිර්මාණය. ටෙලි නිර්මාණත් පනහකට වඩා කරල තියෙනවා. අරුණ ජයවර්ධනයේ ‘Happy Birthday’ ෆිල්ම් එකේ ප්‍රධාන විලන් කැරැක්ටර් එක. ‘තණමල්විල කොල්ලෙක්’ එකේ වෙනස්ම පැතිකඩක්. ‘සකර්ම’ එකේ රාගයට බර සල්ලාල චරිතයක්. ඒ වගේ විවිධ චරිත කළා. ප්‍රතිරූපයට හානියක් වෙනවා නම් ඒක කලින් නිර්මාණවලින්ම වෙන්න තිබුණා. මොකද සල්ලාල, මිනීමරු, රේප් කේස්වලට සම්බන්ධ චරිත මීට කලින් මං කරලා තිබුණා. ඒ නිසා මෝඩ තරිඳු මට හානියක් වේවි කියල කොහෙත්ම හිතුණෙ නෑ.
මෙහි අන්තර්ගතය ගැන කතා කරනවා නම්…
‘මෝඩ තරිඳු’ කියල නම තිබුණාට, මේකෙ ඇතුළෙ සාකච්ඡා වෙන්නෙ කර්මය ගැන. අපේ ජීවිතය, අපේ උපත, මරණය, ඊළඟ උප්පත්තිය පිළිබඳව, කලින් ආත්මවල කොහොමද අපි ගත කළේ කියන එක වගේ බෞද්ධ දර්ශනය ඇතුළෙ කියවෙන කතාවක් තමයි මෙහි තිබෙන්නේ. දේශපාලනය, ආදරය, කර්මය, මරණය මේ හැම දේම සම්බන්ධයි. බෞද්ධ දර්ශනය අනුව අපි දන්නවා අපි හොඳක් කළොත් හොඳ දෙයක් සිදු වනවා. නරකක් කළොත් නරක තැනක ඉපදෙන්න පුළුවන් කියන එක. මේකෙ ඇතුළෙ තියෙන්නෙ එහෙම දෙයක්. ‘මෝඩ තරිඳු’ කියන නම මෝඩ, හිස් කියන තේරුමට සීමා වෙලා නැහැ. මෝඩකම කියන්නේ හොඳකම කියන එක ඇතුළෙ ඉඳන් තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ. අද සමාජය දිහා බැලුවත් අපි ගොඩක් හොඳ කරන්න ගියොත් අහන්න වෙන්නේ ‘උඹ මහ මෝඩයෙක් නේ! ඇයි එච්චර කරන්න ගියේ?’ කියල නේ. ඒ වගේ: අපි මුළු හදවතින්ම ආදරය කරනවා; රැවටෙනවා; පරාද වෙනවා. ඔය දේවල් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.
මේ චරිතය ඔබට අලුත්ම අත්දැකීමක්. විශේෂ සූදානම් වීමක්, අධ්‍යයනයක් කළාද?
එහෙමත් නැහැ. තිරපිටපත කියවද්දි අපට යම් යම් දේවල් මැවෙනවා. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙන අනෙක් ශිල්පීන් කවුද කියල දැනගත්තමත් විශ්වාසයක් ගොඩනැඟෙනවා. කෞශල්‍යා ප්‍රනාන්දු, ශන්ද්‍රි, ශෙහානි, ධනුක, දසුන් ඇතුළු පිරිසක් හිටියා. එතකොට අපට තේරෙනවා අනෙක් කෙනාගෙන් ලැබෙන සපෝට් එක මොන වගේද කියලා. ඒ වගේම පිටපතේ තියෙන සාර්ථකත්වය, අධ්‍යක්ෂවරයාගේ වපසරිය, සහාය අධ්‍යක්ෂ, කැමරාකරුගේ දක්ෂතාව සහ පසුබිම වගේ හැම වටිනාකමක්ම මේකට එකතු වෙද්දි අපිටත් නිර්මාණය ඇතුළෙ කිසිම බයක් දැනෙන්නෙ නැහැ.
‘මෝඩ තරිඳු’ කියන නම යොදන්න හේතුව මොකක්ද?
ඒක ලොකුවටම හිතල දාපු නමක් නෙවෙයි. මෝඩකම කියන එක, එක එක විදිහට පාවිච්චි වෙනවා. මෝඩකමට, හොඳකමට, හොඳ වැඩිකමට, දුර්වලකමට යොදා ගන්නවා වගේම ආදරේටත් ‘මෝඩයා’ කියල කියනවා. මාකටින් පැත්ත බලලා තමයි මං හිතන්නේ ඒ නම දාල තියෙන්නේ. තරිඳුලා 350ක් ගෙන්නලා විශේෂ සිනමා දර්ශනයක් පෙන්නන්නත් පොඩි සූදානමක් තියෙනවා.
කොමඩි චරිතයක් කරනවා කියන එක ලොකු අභියෝගයක්. පළමු අත්දැකීම විදිහට කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?
හාස්‍ය උත්පාදනය කිවුවට මේක බ්ලැක් කොමඩි සීරියස් එකක්. අපි එතන හාස්‍ය උත්පාදනයක් විදිහට නෙවෙයි රඟපාන්නේ. සාමාන්‍යෙයන් දැන් මේ අපි කතා කරන විදිහට ස්වාභාවිකවමයි රඟපාන්නේ. අපි හිනා වෙන්න දෙයක් කිවුවෙ නැතත් ප්‍රේක්ෂකයන්ට හිනා යනවා. මේක පටන් ගැන්මේ ඉඳන් අවසානය දක්වාම ප්‍රේක්ෂකයන්ට හරි සතුටින් හිනා වෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක්. මට අභියෝගයකට කියල තිබුණේ මරණෙන් පස්සේ මං රඟපාන්නේ කොහොමද කියන එක විතරයි. මරණෙන් පස්සේ හොල්මනක් විදිහට ඇහිපිල්ලම් ගහන්නෙ නැතුව රඟපානවද? හෙවණැල්ලක් වැටෙන්න බැරිද? අපි යනකොට ගහක කොළයක්වත් හෙල්ලෙන්න නැද්ද? දහඩිය දාන්න බෑ. කඳුළක්වත් වැටෙන්න බෑ. ඒ වගේ දේවල් තමයි ගැටලු වුණේ. ඒත් ඒ දේවල් තිසර මේකෙ වෙනස්ම විදිහකට පෙන්නනවා. අනිත් එක තමයි මේකෙ සෙක්ස් සීන් පහක් විතර ලියල තියෙනවා. කොහොමද මේව කරන්නේ කියන ගැටලුව මට මතු වුණා. තිසර ඒකටත් වෙනමම කන්සෙප්ට් එකක් ගෙනැල්ලා තිබුණා. ඒක ඔහු පෙන්නුවේ ඩාන්ස් එකකින්. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඕනෑම කෙනකුට එකට ඉඳන් බලන්න පුළුවන් විදිහට ඔහු ඒක හරි අපූරුවට ගළපලා තිබුණා.
‘මෝඩ තරිඳු’ සිනමාවේ ලොකු පෙරළියක් කරාවි කියන මතය දැනටමත් පළ වෙමින් තිබෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ‘සමනල සංධ්වනියෙන්’ පස්සේ මේ වෙද්දි මං චිත්‍රපට දොළහක් කරලා තියෙනවා. මේක මගේ ජීවිතේ මට ලැබුණු වෙනස්ම චරිතයක්. ප්‍රේක්ෂකයාට මාව දැනෙන විදිහ වෙනස්ම වෙයි: සමහරු මෝඩයා කියලත් කියයි; තවත් සමහරුන්ට අහිංසකයා කියල දුක හිතෙන්නත් පුළුවන්. මෙතෙක් ලැබුණු ප්‍රතිචාරත් එක්ක බලද්දි ගොඩක් අය හරිම සංවේදීව මා දිහා බැලුවා. සමහරු ඇවිත් මාව බදාගත්තෙ හරිම ආදරෙන්. එයාලට දුකයි මගේ චරිතය ගැන. ඇත්තටම ‘මෝඩ තරිඳු’ බලලා ප්‍රේක්ෂකයාගේ ඇහෙන් වැටෙන කඳුළ දුකටද සතුටටද කියල වෙන් කරලා හඳුනාගන්න බැහැ. ප්‍රේක්ෂකයන්ගේ මුහුණුවල හිනාව දැක්කම ගොඩක් සතුටු හිතෙනවා. තමන්ගේ ප්‍රශ්න විතරක් නෙවෙයි, තමන්ට තමන්වත් අමතක වෙලා තමයි එතැන ඔවුන් සතුටින් ඉන්නේ. ඒක ගොඩක්ම වටිනවා. අපි නොහිතන තැන්වල පවා ඔවුන්ට හිනා යනවා. මගේ ජීවිතේ වෙනමම හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියල හිතුණා. සමාජ මාධ්‍යවල ගොඩක්ම ශෙයාර් වෙනවා; කමෙන්ට්ස් ලැබෙනවා; කෝල්ස් එනවා. ‘මෝඩ තරිඳු’ නිසා කලාකරුවකුට ලැබිය යුතුම වටිනාකම මට මේ දවස්වල ලැබෙනවා.
තරිඳුයි ආච්චියි අතරෙ තියෙන්නේ මැරුණත් අතාරින්න බැරි ආදරයක් නේද?
මගේ ආච්චිට ඉන්නෙ කෞශල්‍යා ප්‍රනාන්දු අක්කා. අපි දෙන්නාගෙ චරිත චිත්‍රපටය පුරා ලස්සනට ගලාගෙන යනවා. ආච්චිගෙයි, මුනුපුරාගෙයි අතරෙ තියෙන ආදරය ගැන අපි එතරම් හිතන්නෙ නෑ නෙ. අම්මා, තාත්තටත් වඩා ආච්චි, සීයා තමයි මුනුපුරු මිනිපිරියන් ගොඩක්ම බලාගන්නේ. මැරුණට පස්සෙ වුණත් මං බය වුණේ නැත්තෙ ආච්චි මගෙ ළඟ හිටිය නිසා.
ජීවත්ව ඉද්දි හැමෝටම නොලැබෙන අවස්ථාවක් සූර්යාට ලැබුණා. මිනී පෙට්ටියෙ ඉද්දි මොකද හිතුණේ?
මිනී පෙට්ටියේ ඉන්න විතරක් නෙවෙයි; පෙට්ටිය වහලා කර පිටින් ගෙනයන දර්ශනත් තිබුණා. මම ගායකයෙක් විදිහට වොයිස් ට්‍රේනිං කරල තිබුණ නිසා පෙට්ටිය ඇතුළෙ තියෙන වායුවෙන් හිමීට හුස්ම ඉහළ, පහළ දාන්න පුළුවන් වුණා. රෙදි මූණට වැටිලා කළුවර වුණාට පස්සෙ නම් පොඩි බයක් දැනුණා. මට දැන් ඇහෙනවා අර පැත්තෙන් අල්ලන්න, මේ පැත්තෙන් අල්ලන්න, මේ පැත්ත බර වැඩියි, එක්කෙනෙක් මේ පැත්තට එන්න වගේ සද්ද. අම්මලා අඬනවා ඇහෙනවා. ඒක වෙනම අත්දැකීමක්. ඒ වෙලාවෙ මට හිතුණේ ඇත්තටම මේ ජීවිතේ කියන්නෙ මොකක්ද කියන එක. ජීවිතේ කෙනකුට ගන්න බැරි මට මාවත් නැති වුණු මොහොතක්. හරිම සැහැල්ලුවක් දැනුණා. කිසිම ගැස්සීමක් නෑ. නිකම් පාවෙනවා වගේ. හරියට වතුරක් උඩ නිදාගෙන යනවා වගේ හැඟීමක්. ප්‍රේක්ෂකයා මේකෙ බලද්දි තත්පරයක් දෙකක් දුක හදාගෙන යද්දි අනෙක් තත්පර දෙකේ හිනායනවා. එතකොට කඳුළ ආවේ දුකටද සතුටට ද කියන එක වෙන් කරගන්න බැරි වෙනවා. මේක මාරම සංකල්පයක්. කවදාවත් හිතන්නෙ නැති විදිහට සිනමාව ඇතුළෙ මේක ගොඩක්ම ඉහළට එන සිනමා පටයක් වෙනවා. මේ සිනමාපටයට විශේෂම තැනක් ලැබේවි කියල හිතනවා.
රංගනයට වුණත් මිනී පෙටිටියක ඉන්නවා දකින්න අම්මලා කැමැති නැහැ නේ. ගෙදරින් එපා කිවුවෙ නැද්ද?
මං කිවුවම එයාලට දුකයි. අම්මා කිවුවා. ෆොටෝ එකක් එවන්න කියලා. මම ෂූට් කරපු පොටෝ එකක් දැම්මා. ඒ වෙලාවෙ නම් අම්මා ඒක බලලා හිනා වෙලා නිකම් හිටියා. මං ඒක ඩිලීට් කළා. මොකද: ඊළඟ මොහොතෙ එයාගෙ සිතිවිල්ල කොහොම වෙයිද දන්නෑ නේ! තාත්ත නම් දැක්කෙ නැහැ. කොහොම වුණත් මරණය කියන එක ගැන අපි කාටත් තේරුම් ගැනීමක් තියෙන්න ඕන.
