හොඳ නළුවෙක් වෙන්න ආසයි – මෙතික නවීන්

gossiplanka image 2
 


පුංචි තිරය වගේම රිදී තිරයේ හරි හරියට දස්කම් පාන පුංචි කොලුපැටියෙක් අපිට මුණගැසුණා. මේ දවස්වල මෙයා රඟපාන ළමා චිත්‍රපටයකුත් තිරගත වෙනවා. චිත්‍රපටයේ නම සිහින සරුංගල්. ලෝක ළමා දිනයට සමගාමීව තිරගත කිරීම ආරම්භ කරපු සිහින සරුංගල් චිත්‍රපටය වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන අකුරට යන වෙලාවේ කියන ටෙලිනාට්‍යයෙත් මේ පුංචි කොල්ලා රඟපානවා. නමින් මෙතික නවික් සෙනරත් නමැති මේ පුංචි තරුව ලාංකීය කලාවේ මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවෙක් කියලත් වෙලාවකට හිතෙනවා. මොකද මෙතික පසුගිය වසර දෙකේම හොඳම ළමා නළුවාට හිමි සම්මානය හිමිකර ගන්නවා. ඉගෙන ගන්න ගමන් රඟපාන වැඩෙත් හරියට කරන පුංචි මෙතිකගේ කතාවයි මේ.


මොකද මේ දවස්වල වෙන්නේ?


මේ දවස්වල නම් ‘අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වැඩ දිගටම තියෙනවා. ඒත් එක්කම වෙළෙඳ දැන්වීම්වලට ලැබෙන වැඩ ටිකත් කරගෙන යනවා. තව පුබුදු චතුරංග මාමාගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩ කළා. තව ටෙලිනාට්‍ය දෙක තුනකට කතා කරලත් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී වැඩිවිස්තර කියන්නම්කෝ.



සිහින සරුංගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයෙන් ලැබුණ අත්දැකීම් මොන වගේද?. කට්ටිය මොනවාද ඒ ගැන කිව්වේ?


සිහින සරුංගල් සිනමා නිර්මාණය ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. තම සීයාගේ සෙනෙහසේ හැදෙන වැඩෙන, දෙමව්පියන් අහිමි පාසල් වියේ පසුවන දිරිය දරුවකුගේ ජීවන කතා පුවතක් තමයි මේ සඳහා පාදක කරගෙන තියෙන්නේ. අත්දැකීම් විදියට ගත්තොත් ප්‍රවීණ නළු, නිළියන් එක්ක රඟපාන්න හම්බවුණ එකම ලොකු අත්දැකීමක්. තවද ප්‍රවීණ නළු නිළියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මේ ෆිල්ම් එක ලස්සන ලොකේෂන් වල ෂූට් කළා. තව හොඳ යාළුවෝ ටිකක් හම්බ වුණා. අපිට කොළඹින් ලබා ගන්න නොහැකි වුණ අත්දැකීම් අපි ඒ පරිසරයෙන් ලබා ගත්තා. සිහින සරුංගල් රූගත කිරීම් කාලය හරිම සුන්දරයි.


මෙතික රංගනයෙන් දායක වුණ නිර්මාණ ගැන කතා කළොත්?


ටෙලිනාට්‍ය නම් තිස්පහක විතර ඉඳලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් තිහ හතළිහක් විතර කරලා තියෙනවා. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් ‘මාණික්කාවත’යි ‘පුංචි අන්දරේ’ තමයි අමතකම වෙන්නේ නැති ටෙලිනාට්‍යය දෙක. මොකද මාණික්කාවතට 2023, 2024 පිනකල් සම්මාන උළෙලේ හොඳම ළමා නළුවාට හිමි සම්මාන දෙකක් හම්බ වුණා. පුංචි අන්දරෙත් ඒ වගේමයි, ලස්සන කතාවක්. මේ වෙනකොට චිත්‍රපට පහළොවක විතර ඉඳලා තියෙනවා.



ඔබේ රඟපෑම් වැඩවලට අම්මා තාත්තාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?. රඟපාන්න එපා ඉගෙන ගන්න කියලා බනින්නේ නැතිද?


අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි විතරයි. අම්මා තමයි ඉතිං ගොඩක්ම මාත් එක්ක ඇවිල්ලා මට සපෝට් කරන්නේ. තාත්තාට නම් ඉතින් වෙලාවක් නැහැ. මොකද තාත්තගේ වැඩත් එක්ක. ඒ වුණාට තාත්තාත් පුළුවන් හැම වෙලාවකම උදව් කරනවා. ඉතින් අම්මා තමයි ගොඩක්ම සපෝට් කරන්නේ.


මෙතික පසුගිය වසර දෙකේදීම හොඳම ළමා නළුවාට හිමි සම්මානයටත් හිමිකම් කිව්වා නේද?


මට 2023, 2024 වසර දෙකේම හොඳම ළමා නළුවාට හිමි සම්මානය ලැබුණා. ඒත් එක්කම 2025 ත් හොඳම ළමා නළුවට හිමි සම්මාන ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මට ඒකත් හම්බ වෙයි කියලා.


අධ්‍යාපනයයි රඟපෑමයි සමබරව කොහොමද කරගෙන යන්නේ ?


ගොඩක් වෙලාවට ඉස්කෝල් නම් යන්න වෙන්නේ නැහැ. යාළුවන්ගෙන් ඉල්ලලා තමයි අතපසුවුණ විෂයන්වල වැඩ ටික සම්පූර්ණ කරගන්නේ. ඉස්කෝලේ යාළුවෙන්ගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් එක්කම බාහිර පන්ති ගිහිල්ලා තමයි ඒ ටික ජදඩැර කරගන්නේ. මට, අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමාගෙන් සහ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ඉස්කෝලේ යන්නේ මොරටුවේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කුමර විදුහලට.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද කිව්වොත්?


මට අනාගත බලාපොරොත්තු නම් දෙක තුනක්ම තියෙනවා. එකක් තමයි හොඳ ජනප්‍රිය නළුවෙක් වෙන එක. ඒත් එක්කම කැමැතියි රට යන්න. රට ගිහිල්ලා වැඩ ටික කරගන්න. ඉතින් තාම මම පොඩියිනේ. ඉස්සරහට බලමු නේද මොකද වෙන්නේ කියලා.


ඔබ රඟපෑ සිහින සරුංගල් චිත්‍රපටය තිරගත වෙනවා. මේ වෙලාවෙ මතක් කළ යුතු අය කවුරු හරි ඉන්නවද?


ඔව්. සිහින සරුංගල් චිත්‍රපටයේ නිෂ්පාදකතුමන්ලා වන නවීන් රත්නායක අයියාත්, රෝහණ වන්නිආරච්චි මාමවත් අධ්‍යක්ෂතුමන්ලා වන උපුල් වීරසිංහ මාමවත්, තාරක අධිකාරී මාමවත් ආදරයෙන් මතක් කරනවා. මාව මෙම චිත්‍රපටයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු දසුන් තරින්ද මාමවත්, නිවන්ත මාමවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.


හංසි ද සිල්වා

gossiplanka image 1
Previous Post Next Post