මෝඩ තරිඳු හම්බවුණේ නැතිනම් මම ලංකාවේ නැහැ – ධනුක

gossiplanka image 2
 



මේ දවස්වල සිනමාහල්වලට ගොඩවැදුණු අලුත්ම චරිතය තමයි මෝඩ තරිඳු. මේ මෝඩ තරිඳු ලංකාවේ හතර දිග්භාගේ දුවන අතරේ අපි අල්ලාගත්තේ පිටකොටුවේදී. ඒ මෝඩ තරිඳු විතරක් නෙමෙයි. මෝඩ තරිඳුවා මෙහෙයවපු ඩිරෙක්ටර් මහත්තයයි, මෝඩ තරිඳුගේ ආදරයට හරස්වුණු රසිකවයි මේ ටි්‍රබල. ‘සොරි සර්, ආනෙ සර්, මාගෙ සර්, බුදු සර්’ කිය කිය කොටුවේ කාගිල්ස් බිල්ඩින් එක හරියේ ඇවිදගෙන යනකොට තමයි අපේ කට්ටියට හම්බවුණේ. මෙච්චර වෙලා කිව්වේ චිත්‍රපටයෙ ඉන්න තුන්දෙනා ගැනනේ. කවුද දන්නවාද මේ තුන්දෙනා. මෝඩ තරිඳුගේ චරිතය රඟපාන්නේ සූර්යා දයාරුවන්. මෝඩ තරිඳුගේ පරම හතුරා රසික තමයි ධනුක දිල්ෂාන්. මේ සියලුම පිරිවර මෙහෙයූවේ තිසර ඉඹුලාන, කාලෙකට ඉහතදී නිනෝ ලයිව් කරපු හාදයා. ඉතිං හැමෝම කතාවෙන මෝඩ තරිඳු ගැන අපිත් මේ තුන් දෙනා එක්ක පොඩි කතාවක් දැම්මා.


රසික මෝඩ තරිඳුට කරන වැඩ ගැන දුක හිතෙන්නේ නැති ද කියලා අපි ධනුක දිල්ශාන් ගෙන් ඇහැව්වා.


තරිඳුට කරන දේ පව් නැද්ද කියලා ඇහැව්වාම මට කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩාක් කට්ටිය කතාබහ වෙනවා මෝඩ තරිඳු, තරිඳුලාට කරන නිග්‍රහයක් කියලා. ඇයි මේ මෝඩ කියලා කෑල්ලක් දැම්මේ. මොකද තරිඳු කියන නම මාස් ක්‍රවුඩ් එකේ නැති තැනක් නැහැ. ඒ කියන්නේ අනූව දශකයේ. හැත්තෑව දශකයේ, අසූව දශකයේ ඉඳලා තවම තරිඳු කියන නම යොදන කාලයක් තමයි මේ තියෙන්නේ. එතකොට තරිඳුලා ගොඩාක් ඉන්නවා. චිත්‍රපටයේ නම බලල මොකක්ද මේ කියන්නේ කියලා තීරණය කරන්න එපා. තිසර ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එකතුවෙලා කරලා තියෙන්නේ වෙනස්ම වැඩක්. මෝඩ තරිඳු කියල අපි මාර්කටින් කළාට මේක ඇතුළෙ තියෙන්නේ වෙන කතාවක්. වෙන කියැවීමක්, වෙන කලාවක්, වෙන දර්ශනයක්.



අපි කරන මෝඩ වැඩ ටික ද මේ තියෙන්නේ?


ඔව්. අපි හැමෝම මේ කාලීන සමාජයේ ජීවත්වෙද්දී අපි හැමෝටම අපිව රවට්ටගෙන එදිනෙදා ජීවිතයේ අපිටම කරගත්ත හෙණ හූනියම් ටික තමයි මේකෙ තියෙන්නේ. ඉතිං බෞද්ධ දර්ශනයේ කර්ම වක්‍රය පිළිබඳව කතාබහ වෙනවා. මේක තිසරලා දෙන්නා කොහොම කෙරුවද කියල කියන්න මට තේරෙන්නේ නැහැ. මේ නිර්මාණයෙන් මිනිස්සුන්ගේ ඇස් ඇරෙයි කියල මම හිතනවා.


මෝඩ තරිඳුවාගේ කතාව කියවද්දි මොනවගේ ආතල් එකක්ද දැනුණේ?


මම මේ චිත්‍රපටයේ රඟපෑවේ නැතත් මම හිතන්නේ මේක ඇවිල්ලා පැරසයිට් වගේ ලෝකයම හොල්ලන්න පුළුවන් පිටපතක්. මේකෙන් කියැවෙන්නෙ නැති දෙයක් නැහැ. ජීවිතයට ආදර්ශයක්. ජීවිතය කියලා කියන්නේ චක්‍රයක් කියලා තමයි මේකෙන් කියැවෙන්නේ.


ධනුක ඒ වගේ කතාවක් කියන කොට මෝඩ තරිඳුගේ චරිතය කරපු සූර්යා දයාරුවන් මෝඩ තරිඳුගේ පිටපත ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.



“ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට මම කවදාවත් හිතුවෙ නැහැ මේ වගේ චරිතයක් මට ලැබෙයි කියලා. සමහර වෙලාවට මාවත් කොටුවෙලා තිබුණා නිශ්ශබ්ද චරිතයක් විදිහට. හැබැයි ඉතිං ජීවිතයේ කවදාවත් නොකරපු චරිතයක් තමයි මෝඩ තරිඳු කියන්නේ. ඒ වගේ චරිතයක් කරලම නැහැ. පළමු වතාවට තිසරට ස්තුතිවන්ත වෙනවා මෝඩ තරිඳු චිත්‍රපටයට මට ආරාධනා කිරීම සම්බන්ධව. පිටපත කියවද්දි සර්ප්‍රයිස් වුණා වගේම හරි ආස හිතුණා. ෂූටින් පටන්ගන්නේ කවද්ද වගේ කියලා අපිට තිබහක් ඇතිවෙනවා වගේ දෙයක්. ඒක වෙනස් කන්සෙප්ට් එකක්. සමහරක් දේවල්වලට සර්ප්‍රයිස් වුණා. මේ වගේ දේවල් කොහොමද කරන්නේ කියලා. මේක ඕනෑම කාලයකට මැච් වෙන කන්සෙප්ට් එකක්. සර්වකාලීන මාතෘකාවක්.


ඩිරෙක්ටර් මහත්තයා වුණ තිසර ඉඹුලාන මෝඩ තරිඳුව දැක්කෙ මෙන්න මේ විදිහට.


මෙහෙමයි. අපි මීට කලින් අපේ වැඩ කරපු කට්ටියත් එක්ක මෝඩ තරිඳු නරඹලා තිබුණා. එතකොට අපිට දළ අදහසක් තිබුණා මෙන්න මේ විදිහට වෙයි කියලා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සියයට සියයක් අපි බලාපොරොත්තු වෙච්ච විදිහේම ප්‍රතිචාර ලැබෙයි කියලා. මමයි තිසර මංගල බණ්ඩාරයි අවුරුදු විස්සක විතර ඉඳලා එකට වැඩ කරන දෙන්නෙක්. අපිට ඇත්තටම ඕනෑ වුණා නිනෝ ලයිව් එකෙන් පස්සේ අපි ඊළඟට හදන චිත්‍රපටය මොකක්ද කියලා, අපි ඊළඟට කරන වැඩේදි මූලිකව ප්‍රේක්ෂකාගාරය මෙන්න මේ විදිහටයි අඳුරගන්න ඕනෑ කියන අදහසේ හිටියා. අපි ලංකාවේ කාටද චිත්‍රපට කරන්නේ. චිත්‍රපටයක් හැදුවොත් එහෙම කාවද ශාලාවලට ගෙන්වන්නේ. එතකොට ඒ ප්‍රේක්ෂකාගාරය තමයි අවුරුදු පහළොවක් විතර තිස්සේ නිනෝ ලයිව් එකෙන් පස්සේ අපි අධ්‍යයනය කළේ. අපි ඒ ප්‍රේක්ෂකාගාරය තේරුම් ගත්තේ අපි කරපු ගීත, රූප රචනාවලින් වගේම වෙළෙඳ දැන්වීම් තුළින්. එතකොට අපිට තේරුම් ගියා ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ රසඥතාව කොයිවගේ ද කියලා. අපි කොච්චර සිනමාත්මක අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට උත්සාහ කළත් වැඩක් නැහැ, අපි ඒ ප්‍රේක්ෂකාගාරය දන්නේ නැතිනම්. අපි ශ්‍රී ලාංකික ටෙම්පෝ එක අඳුරගන්න ඕනෑ. අනික අපි දැනගන්න ඕනෑ චිත්‍රපට ශාලාවලට එන්නේ කව්ද? ඒකට එන්නේ ශ්‍රී ලාංකික මිනිස්සු නම් ඒගොල්ලන්ගේ රහ මොකක්ද කියලා. ඉතිං ඒ රහට සැපයුමක් තමයි අපි දෙන්න උත්සාහ කළේ. එතකොට කාටහරි කියන්න පුළුවන් මේක නිෂ්පාදනය කළේ දැන් තියෙන මාර්කට් එකට කියලා. මාර්කට් එකට තමයි අපි හදන්න ඕනෑ මොකද මේක බිස්නස් එකක්නේ. හැබැයි ඒකෙ අපේ අනන්‍යතාවය තියාගන්නේ කොහොමද? ඒකනේ මූලිකම වැඩේ. නිකං ප්‍රඩක්ට් හදල විකුණලා වැඩක් නැහැ. අපි මේ චිත්‍රපට රස්සාව කරන්නේ අපිටත් මේ ගැන මොකක් හෝ ආසාවක් තියෙන හින්දනේ. එතකොට ඒ ආසාව ඉෂ්ට කරගන්නත් ඕනෑ. ඒ වගේම මේකට ආයෝජනය කරන ආයෝජකයාගේ වගේම මේකට මහන්සිවෙන නළු නිළියන්ටත් මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වෙන්නත් එපායැ. ඒ දෙක බැලන්ස් කරන එක තමයි අපි කළේ. ඉතිං ඒකෙ ප්‍රතිලාභයක් විදිහට තමයි මෝඩ තරිඳු ඇවිත් තියෙන්නේ.



සමන් කතරේ දෙබස හැදුණේ කොහොමද?


සමන් කතරේ වචනය ගෙන ආවේ ඇත්තටම පොඩී. නැත්නම් තිසර මංගල බණ්ඩාර. ඒක ප්‍රාදේශීය ව්‍යවහාරයක්. සමන් දෙවි පිහිටයි සහ කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි කියන කියමන් දෙක එකතු කරලා කියන යෙදුමක් තමයි සමන් කතරේ කියන්නේ. ඒ වචනය ගොඩක් භාවිතා වෙන්නේ සබරගමු පළාතේ. දකුණු පළාතටයි සබරගමු පළාතටයි මායිම තියෙනවානේ. අන්න ඒ පැත්තේ මිනිස්සු තමයි ගොඩාක් වෙලාවට සමන් කතරේ කියලා පාවිච්චි කරන්නේ. එතකොට අපේ චරිතය ගොඩනඟාගෙන යනකොට තමයි ඒ වදන, යෙදුම තිසර මංගල බණ්ඩාරගේ අත්තම්මා තමයි ඔය වචනය නිතරම කියන්නේ. ආච්චිගේ චරිතයට විෂුවල් ටී්‍රට්මන්ට් එක මම ගත්තේ අපේ ආච්චිගෙන්.


එයාගෙ ලුක් එක තමයි මට තනිකරම ඕනෑ වුණේ චිත්‍රපටය ඇතුළෙත් පෙන්වන්න. හැබැයි කතා කරන දෙබස් තිසර මංගල බණ්ඩාරගේ ආච්චිගේ ඒවා එතකොට ඒ ආශ්‍රයෙන් තමයි අපි චරිතය නිර්මාණය කළේ.



ආයෙමත් අපි ධනුකගෙන් ඇහැව්වා මොකද මේ මෝඩ තරිඳු ගැන හිතෙන්නේ කියලා?


මම මෙච්චර කාලයක් බලාගෙන හිටිය ෆිල්ම් ඇක්ටර් කෙනෙක් වෙන්න. පළමු චිත්‍රපටය වගේම දෙවැනි චිත්‍රපටයටත් හොඳ චරිතයක් මට හම්බ වුණා. මේ මගේ තුන්වැනි චිත්‍රපටය. මේක ඉතාමත්ම වෙනස් චරිතයක්. මම ආදරවන්තයෙක් විදිහට ලංකාවේ සිනමාවේ කවදාවත්ම පෙනී ඉඳලා නැහැ. මගේ තුන්වැනි ෆිල්ම් එකට මට මේ වගේ අවස්ථාවක් හම්බ වෙච්ච එකම මට ලොකු අවස්ථාවක්. මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා හිතනවා. මේ වගේ ෆිල්ම් එකකට දායක වෙන්න ලැබීම මගේ ජීවිතයේ මම ලබපු ලොකුම භාග්‍යයක්. තවත් නළුවෙක් මේකෙ හිටියේ නැහැ කියන ලෝභකම ඇතිවෙන ෆිල්ම් එකක්. ඒ වගේම තිසරල එක්ක වැඩ කරන්න ලැබුණා. අපි ඔක්කොම යළුවෝ. මේක ටීම් වර්ක් එකක්. අපි පවුලේ වැඩක් විදිහට මේක කළා. ඒ තියෙන සතුට හැමදාම තියේවි.


මම හිතනවා මේක ලංකාවේ සිනමාලෝලීන්ට වගේම ලංකාවේ සිනමා රසිකයන්ට වගේම සිනමා නිර්මාණ කරන්න ඉන්න හැමදෙනකුටම ලොකු තෝතැන්නක් වෙයි කියලා. ඉස්සරහට මෝඩ තරිඳු ගැන ගොඩක් දේවල් ලියැවේවි. මේක දැවැන්ත නිර්මාණයක් වෙනවා.


මොනවද මේ දවස්වල කරන්නේ?


මම කොටස් හැටේ ටෙලිනාට්‍යයක වැඩ කරගෙන යනවා. ඊට පස්සෙ මම හිතන්නේ නැහැ මම ටෙලිනාට්‍යවල වැඩ කරාවි කියලා. මෝඩ තරිඳු ෆිල්ම් එකෙන් පස්සෙ ආයෙ වැඩක් මම භාර අරගෙන නැහැ. මේ වැඩේ දුවනකම් තමයි ඉන්නේ වැඩක් භාරගන්නවාද? නැද්ද කියලා. නැතිනම් මගේ පාඩුවේ ඉන්නවාද කියලා තීරණය කරාවි.


කාලයක් ඔබ මේ ක්ෂේත්‍රය දාල යන්නත් හැදුවා නේද?


ඔව්. මම තවම එතැන තමයි ඉන්නේ.


දාල ගියා නම් මෝඩ තරිඳුව හම්බ වෙන්නේ නැහැනේ?


මම මේක දාල යන්න තමයි හිටියේ. එතකොට තිසර තමයි නවත්තගත්තේ. තිසර තමයි මගේ අදහස වෙනස් කරල යන්න එපා බං ඔහොම හිටපං කියලා කිව්වේ.


ඊට පස්සෙ මම කිව්වා හරි මම උඹගේ ෆිල්ම් එක කරන්නම් කියලා. මේ ෆිල්ම් එක ලංකාවේ ඕල්ටයිම් බ්ලොක් බ්ලාස්ටර් එකක් වෙනවාමයි. ඒක ඉතිං ෂුවර් ඇන්ඩ් ෂොට් මම මේකම කරන්න ආසයි, මේක හරියට වෙනවා නම් කර්මාන්තයක් විදියට. මේකෙ අර්බුද ගොඩාක් තියෙනවානේ. මේක මෙහෙම තිබ්බ කර්මාන්තයක් නෙමෙයිනේ. මේකට දේශපාලනය එකතුවෙලා මේකට කෙළවෙලා තියෙන්නේ. මොකද සියයට හැත්තෑවක් ෆිල්ම් බලපු සමාජයක තමයි අපි ඉඳලා තියෙන්නේ. මම ඒ කාලෙ හිටියේ නැහැ. එතකොට අද සියයට දහයකටවත් අඩු තැනකට පත්වෙලා තියෙනවා. අපි, තිසරලා එකතු වෙන්නේ මෙතැනට යන්න. එතැනට යන්න බැරි වුණොත් ඇත්තටම ආපහු රඟපාන්නේ නැහැ. මම එහෙම වුණොත් ලංකාවෙන් පිටට ගිහිල්ලා ඉතාම සතුටෙන් ජීවත් වෙන්න ඉන්නේ.


ධනුක කියන නළුවාට ආදරය කරපු රසික රසිකාවියන්ට මොකද වෙන්නේ?


ඒක කරන්න දෙයක් නැහැ. සොරි තමයි කියන්න තියෙන්නේ. එහෙනම් සොරි නොකියන්න මෝඩ තරිඳු බලන්න. එතකොට සියල්ලම වෙනස් වේවි.


දිනේෂ් විතාන

gossiplanka image 1


Previous Post Next Post