
ඇය ඇතුගල් පුරයෙන් කලා ලොවට පෑයූ යොවුන් රංගන ශිල්පිනියකි. වේදිකාව, පුංචි තිරය සේම නිවේදනයද ඇයට ආගන්තුක හැකියාවක් නොවේ. මේ දිනවල ‘සින්ටෝ, සික්ස් පැක්’ ටෙලි නාට්‍යය තුළින් ඇයගේ රුව ඔබට දැක ගත හැකිය. නෙළුම් අබේසේකර වන ඇය සමඟ කතාබහ මෙසේ අරඹමු.
නෙළුම් මේ දවස්වල රංගන කටයුතු එක්ක කාර්යබහුලයි නේද ?
ඔව් ටෙලිනාට්‍ය වගේම වේදිකා නාට්‍ය එක්ක කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ වගේම මෑතකදි මම විවාහ වුණා. පෞද්ගලික ජීවිතෙයි, කලා ජිවිතෙයි සමබරව ගෙනියනවා.
අධ්‍යාපනය ගැනත් කතා කරමු.
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පොල්ගහවෙල බර්නදෙත් මහා විද්‍යාලයෙන්. ඉන් අනතුරුව පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික පාසලෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. පාසල් කාලේ ඉඳලා කලාව වගේම ක්‍රීඩාත් කළා. ඇරබික් ජිම්නාස්ටික්වලට තමයි මම ගොඩක්ම දක්ෂ. කලා විෂයය ධාරාවෙන් උසස් ලෙස සමත් වෙලා කැලණිය විශවවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදි උපාධිය මේ වෙනකොට හදාරලා අවසන් කළා.
කලාවට පැමිණීම අහම්බයක්ද? නැත්තම්හීනයක් හැබෑ වීමක්ද ?
මං පොඩි කාලේ ඉඳලම කතාවට චතුර ළමයෙක්. අම්මා ඉස්සර මං සෙල්ලම් කරනකොට නූල් කෝන් එකක් දෙනවා සෙල්ලම් කරන්න. මං ඉතින් ඒක අරගෙන වත්ත පුරා සෙල්ලම් කරන ගමන් ගඩොල් කැටයක් උඩට නැගලා සද්දෙට සින්දු කියලා, කෑ ගහලා එනවුන්ස් කරලා තියෙනවා. නූල් කෝන් එක තමයි මගේ පුංචි කාලේ හැරවුම් මයික් එක වුණේ. වයස අවුරුදු දහයෙදි තමයි මම මුතුහර ළමා සමාජයට සම්බන්ධ වෙන්නේ. සුධාරා මිස් යටතේ මම නර්තනය, ගායනය, නිවේදනය, රංගනය ඉගෙන ගත්තා. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ‘පාට පාට‘ වැඩසටහනේ නිවේදිකාවක් සහ මුතුහර, නුග සෙවණ වැඩසටහන්වල නිවේදනයටත් දායක වුණා.
මුලින්ම රංගනයෙන් එක්වුණු නිර්මාණය මොකද්ද?
2011 වසරේදි ‘පුංචිකෝච්චිය‘ කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක මුතුහර දක්ෂතා කඳවුරේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ තියපු අඩිතාලම තමා 2025 වසර දක්වාම මම හොඳම නිළිය, දක්ෂතම නිළිය කියන ඇගයීම් ලබන්න මුල් වුණේ. මාව ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ වේදිකා නාට්‍ය නිළියක් විදිහට. මේ වෙන කොට වේදිකා නාට්‍ය පහළොවකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. තව වේදිකා නාට්‍ය පහක පමණ මේ දවස්වල වැඩ කරගෙන යනවා.
ඔබේ මේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා. මගේ මහත්තයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැප්ටන් කෙනෙක් විදියට සේවය කරනවා. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් කලා කටයුතු වලට ලැබෙනවා. තාත්තා පොලිස් සේවයෙන් විශ්‍රාමිකයි. අම්මා ඇඟලුම් ක්ෂේත්රයේ කළමනාකරණ අධ්යක්ෂවරියක් විදියට කාලයක් කටයුතු කරලා මල්ලිගෙයි මගෙයි අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න ඕන නිසා රැකියාවෙන් ඉවත් වුණා. හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.
නෙළුම්ගේ අනාගත බලාපොරොත්තුව වුණේ වෘත්තීයමය රංගන ශිල්පිනියක් වීමද ?
නැහැ, මම උසස් පෙළ කරන කාලෙදි හිතා ගෙන හිටියේ නර්තන ගුරුවරියක් වෙන්න. ඒ බලාපොරොත්තුව කණපිට හැරෙන්නේ අපේ පාසලට ඒ කාලේ උසස් පෙළ නාට්‍ය හා රංග කලාව සඳහා ආපු කැටවල මිස් නිසා. ඇය මාව නාට්‍යයක් සඳහා තෝරා ගත්තා. ඒ නාට්‍ය අන්තර් පාසල් නාට්‍ය තරගාවලියේ විශිෂ්ට සම්මානයක් ලැබුවා. ඒ නාට්‍යය වෙනුවෙන් 2018 වසරේදී වයඹ පළාත් හොඳම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ සම්මානය තමා මගේ නර්තන ගුරු හීනය පසෙකට දාලා රංගනය කියන අලුත් හීනය උපද්දපු හැරවුම් ලක්ෂ්‍යය.
උසස් පෙළ සඳහා මම නාට්‍ය හා රංග කලාව විෂයයක් විදියට හදාරලා උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පළවෙනි හා දෙවෙනි වසර වලදි මම අන්තර් විශ්වවිද්‍යාලයීය නාට්‍ය තරගාවලියේ හොඳම නිළිය සම්මානය වසර දෙකෙදීම ලබා ගත්තා. විවිධ තරග ඉසව්වලදී රංගනය වෙනුවෙන් සම්මාන එකොළහක් දිනා ගෙන තියෙනවා.
රඟපෑම් කටයුතුවලදී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
නවක රංගන ශිල්පිනියක් විදියට මම දකින්නේ සෙට් එකේදි ටී බෝයි ගේ පටන් හැමෝම ප්‍රවීණයෝ විදියට. මට කලින් ඒ අය මේ ක්ෂේත්රයේ දවසක් හෝ පරණයි සහ තමන්ගේ ක්ෂේත්රය තුළ ඒ අය ප්‍රවීණයි. රූගත කිරීම්වලදී මට හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම සින්ටෝ ටෙලි නාට්‍යයේ නළු නිළි කැල මතක් කරන්න ඕන. එතන ගොඩක් ඉන්නවා වේදිකා නාට්‍යවලින් ටෙලි නාට්‍යය රංගනයට ආපු අය. ඒ අය බොහොමයක් දෙනා මට හුරු පුරුදුයි. මට නම් රූගත කිරීම් දිනයක් කියන්නේ හිනාවෙන් පිරුණු දවසක්
ඉදිරියට පූර්ණ කාලීනව රංගනයේ නියැළෙන්නද ඔබේ අදහස ?
නැහැ. මේ වෙනකොටත් ෆ්රීලාන්ස් මේකප් ආටිස් කෙනෙක්, නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. රංගනයට අමතරව අනාගතයේදී නාට්‍යය හා රංග කලා ගුරුවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ වෙනකොට ඔබ සාර්ථකයි කියලා හිතනවද ?
ඇත්තටම. මට ගොඩාක් වටිනා අවස්ථා කලාව තුළින් ලැබිලා තියෙනවා. කලාව කියන දේට මං පුදුමාකාර විදියට ආදරෙයි සහ භක්තිමත්. ආර්ථික වශයෙන් අපිට කලාවෙන් හොඳ ස්ථාවරයක් තවම හදාගන්න බැරි වුණත් කලාව අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. අනාගතයේදී හොඳ තැනක් හැදෙයි කියන විශ්වාසයෙන් මම දිගටම වැඩ කරනවා. අම්මගෙයි තාත්තගෙයි ලොකුම බලාපොරොත්තුවත් ඒක. මං හිතන්නේ දරුවන්ගේ සාර්ථකත්වය තමයි දෙමාපියන්ගේ නිවන. මම අද කලාවෙන් යම් තැනක ඉන්නවා නම් ඒ වෙනුවෙන් ස්තූති කරන්න ඕන සුධාරා රන්දිනී , කැටවල , බණ්ඩාර කැකුලන්දර, අකිල සපුමල් යන මිස්ලට සර්ලට.
රංගන කටයුතුවලදී ඔබට පනවා ගත්ත සීමා මායිම් ගැන කතා කළොත් ?
මම ටෙලි නාට්‍ය රංගනයේදී ඇදුම් පැලඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ගොඩක් කොට ඇඳුම්, ශරීරය අනවශ්‍ය විදියට නිරාවරණය වෙන ඇඳුම් අඳින්න කැමති නැහැ. තැනට ගැළපෙන විදියට විලාසිතා කරනවා. වේදිකා නාට්‍ය හෝ ටෙලි නාට්‍ය වේවා සිප වැලඳ ගැනීමේ දර්ශනවලට පෙනී ඉන්න මම කැමති නැහැ.
ඉස්සරහට එන්න නියමිත නිර්මාණ මොනවද ?
ඉදිරියේදී මම සහභාගි වෙන වේදිකා නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා, ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී මගේම කෙටි නාට්‍යයක් එන්න නියමිතයි.
