
මායාවී ටෙලි නිර්මාණය ගැන කතා කරන කිසිම විටෙක පවන්සිරි මඟ හැර යා නොහැක. මංගේෂ්වරී ගැන කතා කළත් හිතෛෂී ගැන කතා කළත් පවන්සිරි කොහේ කොතැනක හෝ සිටියි. පසුගිය දා පුංචි තිරයේ ආදරණීයම යුවළ බවට පත්වූයේ ද පවන් සහ මංගේෂ්වරීය. කොහේ සිිරි ගියත් මොනවා කළත් ඔවුන් පසුපස ලුහුබඳින ප්‍රේක්ෂකයින් පිරිසක් සිටියි. කෙටි කලක් පෙනෙන්නට නොසිටි පවන්සිරි දැන් තිරය මත වැඩි වැඩියෙන් දකින්නට ලැබෙයි. පවන්සිරි ලෙසින් තම රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කළ හෂාන් රත්නායක අද අප හා කතාබහට එක්වීය.
පහුගිය දවස්වල පවන්සිරි වැඩිය පේන්න හිටියෙ නැත්තෙ ඇයි?
පහුගිය දවස්වල ගොඩක් අය ඒ ගැන කතා කළා. ගොඩක් අයට ගැටලුවක් වෙලා තිබුණා. මුල්ම කාලෙ පවන්සිරි නිතරම හිටියා. පහුගිය කාලෙ පේන්න හිටියෙ නෑ. ඇයි දැන් පේන්න නැත්තෙ කියලා ගොඩක් අය මගෙන් අහන්න ගත්තා. ඔන්න දැන් ඒකට උත්තරය ලැබිලා තියෙනවා. පවන්සිරි දැන් ආයෙමත් කරළියට ඇවිත්. හැබැයි ඉස්සර පවන් වගේ අහිංසක නැහැ. ටිකක් දරුණු වෙලා. ඒත් ඒ දරුණු වීම අසාධාරණ නෑ කියල මායාවී නරඹන ඔබ තේරුම් ගනීවි. තමන්ගෙ ආදරය නැතිවීමත් එක්ක පවන්සිරි ගොඩක් හිත් වේදනාවෙන් ඉන්නේ. ගොඩක් අය මුල ඉඳන්ම පවන්සිරිට ආදරය කළ නිසා පවන්සිරි පේන්න නොහිටියත් හොයල බලනවා.
ඔබ රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ගියේ පවන්සිරි නිසා නේද?
ඇත්තටම ඔව්. මහේෂ් රත්සර සර්ගේ ලස්සන තිරපිටපත වගේම සඳුන් රාජකරුණා සර්ගේ අධ්‍යක්ෂණයෙන් පවන්සිරිගේ චරිතය වෙනස්ම මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගිහින් තියෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි. මං කාලෙකින් කරපු ලස්සනම චරිතයක්. හෂාන් රත්නායක කියන පුද්ගලයා ගොඩක්ම මිනිස්සු අතරට ගියේ පවන්සිරි කියන චරිතයත් එක්ක. ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න ලැබීම ගැන මං ගොඩක් සතුටුවෙනවා.
මුලින්ම පවන්සිරි එන්නේ හරිම අහිංසක විදිහට. ඒත් දැන් එන්න එන්නම දරුණු වෙනවා. ලැබෙන ප්‍රතිචාරවල වෙනසක් තියෙනවද?
ගොඩක් අය කියනවා පවන්සිරිගේ මුල් කාලෙ දැකපු විදිහ සහ අද දකින විදිහේ ලොකු වෙනසක් තියෙනවා කියලා. බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තිබුණේ මම වගේ කෙනෙක් ඒ වගේ චරිතයකට පණ පොවයිද කියලා. පවන්සිරි හොඳටම බීලා කෑ ගසමින්, සංකල්පගෙ ඔළුවට පොල්ලකින් ගහන සීන් එකක් තිබුණා. ඒ සීන් එකට මං ලොකු සූදානමක් වුණා. මේ ක්ෂේත්රයට ආවට පස්සේ මගේ ඇට ලේ, මස්, නහරවලින්ම කැපවෙලා කරපු සීන් එකක් ඒක. ඒක මගේ ඇඟටම දැනුණා. ඒක හෂාන්ව සම්පූර්ණයෙන්ම අමතක කරලා පවන්සිරි බවට පත්වුණු මොහොතක් කිව්වත් හරි. මට නම් ඒක ලොකු සතුටක්. මොකද ඒ හරහා මට මගේ රංගන ධාරිතාව පෙන්නන්න අවස්ථාව ලැබුණා. මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගෙන මේ චරිතය සාර්ථක කරගන්න උදවු කළ හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. පවන්සිරිගේ චරිතයත් එක්ක පහුගිය සම්මාන උලෙළවල ජනප්‍රිය කාණ්ඩය යටතේ මං නොමිනේට් වෙන්නත් පටන් ගත්තා.
පවන් – මංගේෂ්වරී යුවළට ආදරය කළ විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදිල තිබුණා. පහුගිය දවස්වල ඒ සම්බන්ධය බිඳෙන්න පටන් ගැනීමත් එක්ක ප්‍රේක්ෂක ප්‍රතිචාරවල වෙනසක් වුණා ද?
මෑත කාලයේ ප්‍රේක්ෂකයින් ඒ තරම් අසීමිතව ආදරය කළ යුවළක් හිටියද කියන එකත් සැකයි. පවන් – මංගේෂ්වරී සම්බන්ධය බිඳ වැටෙද්දි මිනිස්සුන්ට පුදුම විදිහට ලෝබ හිතුණා. ඇයි එහෙම කරන්නේ කියල තිරපිටපත් රචකයට බණින තැනටත් මිනිස්සු පත්වෙලා තිබුණා. මෙහෙම කරන්න එපා අපි මේ දෙන්නට ආදරය කරනවා. මේක බිඳින්න එපා කියල අධ්යක්ෂවරයාගෙන් ඉල්ලීම් කරලත් තිබුණා. එහෙම වාතාවරණයක් නිර්මාණය කරන්න පුළුවන් වේවි කියල ඇත්තටම අපි හිතුවෙත් නැහැ. තාමත් තිරයෙන් එළියෙදි වුණත් පවන්- මංගේෂ්වරී පොටෝ ෂූට් එකක් කළත් ඉවෙන්ට් එකකට ගියත් ඒ ආදරේ ඒ විදිහටම ලැබෙනවා. ඉස්සරහදි ඒ චරිත දෙකට තව තවත් ආදරය කරන්න පටන් ගනීවි. මගේ ජීවිතයේත් ඒක අමතක නොවන අත්දැකීමක් නිසා ප්‍රේක්ෂකයාටත් එහෙම වේවි කියල හිතෙනවා.
හෂාන් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා වගේ ?
ඔව්. ඔව්. මං මේ දවස්වල තවත් මෙගා නාට්‍යයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයක්. තිරරචනය සහ අධ්‍යක්ෂණය විදේශිකා රත්නායකගේ. ඒක පවන්සිරිට හාත්පසින්ම වෙනස් චරිතයක්. ළඟදීම විකාශය වේවි. ඒ වගේම සිනමා නිර්මාණ දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මමයි සුධීක්ෂයි ප්‍රධාන චරිත මවන සාරාවී සිනමාපටය ඒ අතරින් විශේෂයි. යසිත් වික්‍රමගේ අධ්‍යක්ෂණයක්. සාරාවී සඳහා ආරාධනා ලැබෙන්නෙත් මායාවීහි පවන් – මංගේෂ්වරී නිසා. පවන් – මංගේෂ්වරී දෙන්නට ආදරේ කරන හැමෝම සාරාවිටත් ආදරේ කරාවි කියල බලාපොරොත්තු වෙනවා.
