දක්ෂතාවේ උපරිමයද අවමයද කියලා දෙයක් නැහැ-බුද්ධදාස විතානාරච්චි

gossiplanka image 1
 


‘දඬුබස්නාමානයේ’ සේතං ගුරුන්නාන්සේ සුවහසක් දනන්ගේ සිත් සතන් තුළ අදටත් ජීවත් වන අයෙකි. මනා පෞරුෂයකින් යුතු ප්‍රතිභාපූර්ණ රංගධරයකු වන ඔහු තම කාර්යය තුළ රංගන ශිල්පියකු සතු මානුෂීය ගුණාංගවලින්ද යුක්ත වේ. ඔහු අන් කවරෙක්වත් නොව නමින් බුද්ධදාස විතානාරච්චිය. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘හිද්දලයෝ’ ටෙලි නාට්‍යයේ ගලගොඩ නිලමේ ලෙසින් ඔබ හමුවන ඔහු සමඟින් “හදගැස්ම” අපි කළ කතාබහයි මේ.


මේ දිනවල ඔබ රංගනයේ යෙදෙන අලුත් නිර්මාණය පිළිබඳ කතාබහ කළොත්?


මම මේ දිනවල ‘හිද්දලයෝ’ ටෙලි නාට්‍ය සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්ෂවරයා රනිල් කුලසිංහ. මෙම ටෙලිනාට්‍ය සෙනසුරාදා සහ ඉරිදා හවස 6.30ට හිරු නාළිකාවෙන් විකාශය වෙනවා.


ඔබගේ චරිතය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ‍‍‍ඓතිහාසික ශානරයේ නාට්‍යයක් කාලයකින් ප්‍රේක්ෂකාගාරගත වීම නිසා තමයි මෙතරම් ප්‍රතිචාර මෙම ටෙලි නිර්මාණය වෙනුවෙන් ලැබෙන්නෙ. අපේ රටේ අපේම මිනිස්සු යටත් විජිත සමයේ මුහුණ දුන්න අත්දැකීම් සමුදායන් මෙම ටෙලිනාට්‍යයෙන් දිග හැරෙන නිසා බොහෝ දෙනකු මෙය උනන්දුවෙන් බලනවා.


ඓතිහාසික කතා නිර්මාණය කිරීමේදී රූගත කිරීම් කරන දර්ශන තල සම්බන්ධයෙන් යම් යම් ගැටලු අභියෝග තිබෙනවා නේද?


ඓතිහාසික කතාවක් නිර්මාණය කිරීමේදී එයට ගැළපෙන ඓතිහාසික පරිසරය ඇතුළත් වීමත් වැදගත් වෙනවා. එහෙත් ලංකාවේ ඉන්න නිර්මාණකරුවන් මෙවැනි නාට්‍යයකදී ඉතිහාසය විකෘති කරනවා. ඒ සඳහා අදාළ පසුබිම සකස් කරන්නේ නැහැ. උදා:- ලෙස ඉතිහාසය කතාවක් සඳහා අවශ්‍ය නිවෙසක් යොදා ගනිද්දි බොහෝ දුරට වලව් යොදාගෙන රූගත කිරීම් කරන්න වෙනවා. වර්තමානයේ ඉතිහාස කතාවල බොහෝවිට යොදා ගන්නේ කොළඹ අවට තියෙන ලැටිස් ගහපු ගෙවල්. ඒවා වලව් නොවෙයි. වලව් කියන්නේ හැබෑ රදල පවුල් ජීවත් වූ නිවාස. ඊයේ – පෙරේදා ධනවත් වුණු ව්‍යාපාරිකයන්ගේ ගෙවල් යොදාගෙන වලව් කියලා පෙන්වලා හරි යන්නේ නැහැ. රාජධානියක රාජකාරි කරපු නිලමෙවරුන්ගේ නිවාස තමයි වලව් කියලා හඳුන්වන්නේ. අපි ‘හිද්දලයෝ’ නිර්මාණය කරද්දි එවැනි රදල වලව්වක් වුණු දුහුල්ලෑවෙ වලව්ව යොදා ගත්තා. එහෙම සත්‍ය දේවල් යොදාගත් විට එම නිර්මාණයේ ඓතිහාසික බව ආරක්ෂා වෙනවා. එහෙම නොකළොත් එම නිර්මාණ ඓතිහාසික බව පිරිහෙනවා. අද බොහෝ ඉතිහාස කතා රැගත් නිර්මාණවල වෙලා තියෙන්නෙ ඒ දෙයයි.


රංගන ශිල්පියකුට වඩාත් වැදගත් වෙන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාරද? සම්මානද?


ඉදිරි ගමනක් යන්න කියලා අපි නම් කවදාවත් සම්මාන බලාපොරොත්තු වෙලා නැහැ. සම්මාන කියන්නේ වර්තමාන පරපුර තුළ තිබෙන ආකල්පයක්. මොකද සම්මාන කියන්නේ ඇගයීමක් විතරයි. එමඟින් රංගන ශිල්පියකුගේ හරි ශිල්පිනියකගේ හරි ඉදිරි ගමන තීරණය වෙන්නෙ නැහැ. හැකියාව සහ දක්ෂතාව තමයි ඉදිරි ගමනට ඉවහල් වෙන්නෙ. මේ වන විට වසර 50ක පමණ කාලයක් රංගන ක්ෂේත්‍රයේ ඉන්න මම නමක් හදාගෙන තියෙන්නෙ සම්මානවලින් නොවෙයි. නිර්මාණයට සුදුසු පරිදි අවශ්‍ය දායකත්වය ලබාදීලයි.


දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස වර්තමාන ටෙලිනාට්‍ය වේදිකාව සහ සිනමාව පිළිබඳ ඔබේ කියැවීම?


කාලයත් සමඟ සියල්ල වෙනස් වෙනවා. එහිදී කාලයට සාපේක්ෂව නිර්මාණ බිහිවෙනවා. 1940 – 50 හෝ 60 – 70 දශකවල තිබුණු සිනමාව නොවෙයි අද තිබෙන්නේ. ඕනෑම කලාවක පරිණාමයක්, පරිවර්තනයක්, ප්‍රවර්ධනයක් සිද්ධ වෙනවා. එය එම කාලයට සාපේක්ෂව මිසක් සමස්තයක් ලෙස හොඳද නරකද කියලා ගන්න බැහැ.


නිර්මාණ කාර්යය සඳහා ඔබගේ හැකියාව උපරිම ලෙස ප්‍රයෝජනයට අරගෙන තියෙනවද?


දක්ෂතාව, හැකියාව උපරිමයද අවමයද කියලා එකක් නැහැ. එහෙම හිතුවොත් එය විකෘති අදහසක් වෙනවා. උපරිමද අවමද කියන එක නොවෙයි වැදගත් වෙන්නෙ නිර්මාණයන් තුළින් දායක වෙන්න ලැබෙන චරිතය සම්පූර්ණ කිරීමයි. එහෙම නැතිව එය උපරිමද අවමද කියලා දෙයක් නැහැ. තමන් භාරගත් සෑම නිර්මාණ කාර්යයකදීම උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබාදීමයි වැදගත්.


ජනතාවගේ හදවත්වල ලැගුම් ගන්නා අයුරින් රඟපෑමේ නියැළීමේ රහස දැනගන්න කැමැතියි.


ඒ සඳහා කිසිම උපක්‍රමයක් භාවිත කළේ නැහැ. මම ජනප්‍රියද ජනතාව මාව පිළිගන්නවද ඒ ගැනවත් මම හරියට දන්නෙ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. මට නිර්මාණයක චරිතයක් ලැබුණම එම චරිතයට අදාළ ගතිගුණ, චරිතයේ ස්වභාවයට චරිතයේ පසුබිමට අදාළව චරිතය ගොඩනැංවීම සිදු කරනවා. එහෙම ගොඩනංවන චරිත රසිකයන්ට දැනුම ඔවුන් එය අගය කරනවා. ඉතින් මම එදා සිට මේ දක්වා දායක වුණු නිර්මාණවල චරිත සාර්ථක ඇති. ඒ නිසා තමයි රසිකයන් මේ තරම් මට ආදරය කරන්නෙ.


දේශපාලන තුළ සක්‍රිය වීම නිසා ප්‍රවීණ රංගධරයකු ලෙස ඔබ හදාගත් ප්‍රතිරූපයට හානියක් වුණාද?


කිසිම හානියක් වුණේ නැහැ. මොකද මම දේශපාලනය කරන්නේ අවුරුදු 60ක විතර කාලයක සිටයි. මේ රට පාලනය කළ සියලුම නායකයන් රට පාලනය කළ විදිහ දෙස මම බලාගෙන සිටියා. එය මා ගැන දන්න අය දන්නවා. අවස්ථානුකූලව මම කළ දේ නිවැරැදි බව බොහෝ දෙනා කිව්වා. මම මගේ හිතට එකඟව හරි දේ තෝරා ගත්තා සහ ඒ මතය දිනවන්න ක්‍රියා කළා. ඒ නිසා මගේ ප්‍රතිරූප විනාශ වුණේවත් වෙනස් වුණේවත් නැහැ.


නැවතත් නිර්මාණවලට දායක වනවාද? එහෙම නැති නම් මේ නිර්මාණයෙන් පසුව නැවතත් විදේශගත වෙනවාද?


ඉස්සර වගේ නොවෙයි, ලංකාවේ ඉන්නවද විදේශගත වෙනවද? කියන එක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. හිතුණොත් ලංකාවේ ඉන්නවා නැත්නම් විදේශගත වෙනවා. මොන රටක හිටියත් මට ගැළපෙන සුදුසු නිර්මාණයක් ලැබුණොත් මම එම චරිතය භාරගන්නවා. ඒ වගේම ඒ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකරනවා.


ඉදිරියේදී නිර්මාණ කටයුතුවලින් දැකගන්න පුළුවන්ද?


නිර්මාණයක් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. එහි වැඩ තවම පටන් ගත්තෙ නැහැ. ඉදිරි කාලයේ ඒ සඳහා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post