මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දිනවල ටෙලි නාට්‍ය තුනක් නාළිකා තුනක විකාශය වනවා. එකක් සිරස නාළිකාවේ මායාවී, ඒ වගේම ස්වාධීන රූපවාහිනි නාළිකාවේ මගේම දෝ ටෙලි නාට්‍යයත්, දෙරණ නාලිකාවේ ඉස්කෝලේ ටෙලි නාට්‍යයත් විකාශය වනවා. ඉතින් ඒ ටෙලි නාට්‍යය තුනේ රූපගත කිරීම් තිබෙනවා. ඊට අමතරව කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යය වේදිකාගත වනවා. අලුතෙන්ම අපි කෝලම් කාරයෝ කියන වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඒ නාට්‍යයේ පළමුවැනි දර්ශනවාරය නොවැම්බර් මාසයේ 21 වැනිදා සවස 6.30ට නවලෝක රෝහල් ශ්‍රවණාගාරයෙහිදී පැවැත්වෙනවා.
කෝලම් කාරයෝ අනෙක් වේදිකා නාට්‍යවලින් වෙනස් වූ අත්දැකීමක් වන්නේ ඇයි?
ලංකාවේ ඩිජිටල් වේදිකාවක් මත දිගහැරෙන පළමුවැනි වේදිකා නාට්‍යය තමයි කෝලම් කාරයෝ. ඉතින් මම හිතන්නේ ඒක අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි. ඒක හැමෝටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් නිර්මාණයක් වගේම කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලට ටිකක් හිනා වෙලා යන්න පුළුවන් නිර්මාණයක්. මේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සරත් දික්කුඹුර. ඒ වගේම නිෂ්පාදනය සුදත් රෝහණයන්ගේ.
වේදිකාවත් සමඟ කාර්යබහුල වී සිටින ඔබට කතරගම ප්‍රේමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යයට ඉහළම ප්‍රතිචාර ලැබුණා. මොකද එවැනි වේදිකා නාට්‍යයක් මම හිතන්නේ මෑත කාලයේ දකින්න ලැබුණේ නෑ. ඒක සත්‍ය කතාවක්. කතරගම මනම්පේරී රූමතියට සිදුවුණු ඛේදවාචකය ගැන තමයි කියැවෙන්නේ. ඉතින් ඒක ගොඩක් හදවත් සසල කරවපු සංවේදී කරවපු වේදිකා නාට්‍යයක්. අපි පෙන්වපු හැම දර්ශන වාරයකදීම ගොඩාක් හොඳ ඉහළ ප්‍රතිචාර ලැබුවා. මෙහි කතරගම රූමතියගේ චරිතය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වනවා.
පුංචි තිරය, සිනමාව සමඟ වැඩ කිරීමේදී ලැබෙන ප්‍රතිචාරවලට වඩා ක්ෂණිකව වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර දැනෙන්නේ කොහොමද?
ඒක ඇත්තටම පුදුමාකාර සතුටක්. අපි වේදිකාවත් එක්ක හරි හරියට හැප්පෙනවා. පුදුම විධියට කැපවෙලා ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරලා මුළු පිටපතක්ම අපි හොඳින් මතක තබාගෙන ඉඳලා තමයි ෂෝ එකක් කරන්නේ. ඒ දේ හරි බැරෑරුම් වැඩක්. ඉතින් ඒ වෙලාවේ ලබන ප්‍රතිචාර සමඟ අපට ඒ මහන්සිය අමතක වෙනවා. හරියටම කුසේ දරුවකු දස මාසයක් තබාගෙන ඉඳලා එළියට ගත්තම දැනෙනවා වගේ හැඟීමක් සතුටක් ඇතිවනවා.
මෙතෙක් පැමිණි කලා දිවියේ ඔබේ රංගන පරාසය පෙන්වීමට හැකි චරිත ඔබට ලැබුණා යැයි සිතනවාද?
අපේ සමාජයේ චරිත නම් කොයිතරම් තිබෙනවාද? එක චරිතයක පැතිකඩ කොතරම් තිබෙනවාද? නමුත් එක අවස්ථාවක අපට එක චරිතයක පෙන්වන්න පුළුවන් එක පැතිකඩක් විතරයි. ඉතින් රඟපාන්න ආශා කරන චරිත ඕනෑ තරම් තිබෙනවා. මට වැඩක් කළා කියලා සතුටු වෙන්න පුළුවන් චරිත ලැබිලා තිබෙනවා. නමුත් ලැබුණ ප්‍රමාණයට වඩා කරන්න තිබෙන චරිත ප්‍රමාණය වැඩියි. මම ඇත්තටම විවිධාකාර චරිත නිරූපණයට ආසයි. චරිතයක් අභියෝගයක් කරගෙන කරන්න මම හරි ආසයි.
ලාංකේය වේදිකාවේ අනාගත දිශානතියේ දැන් ප්‍රගමනයක් පෙනෙනවා. ඔබේ අදහස?
ඇත්තටම ලොකු ප්‍රගමනයක් තිබෙනවා. මම මේ දේ මේ කාලයේ වේදිකාවේ පමණක් නෙවෙයි සිනමාවෙත් දකිනවා. කලකට එපිටදී වේදිකාවට හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පසුව ටිකක් අඩු වුණා. මේ වෙද්දී නැවතත් බොහෝ පිරිසක් වේදිකා නාට්‍යය නැරැඹීමට යොමු වෙලා තිබෙනවා සහ වේදිකා නාට්‍ය නිර්මාණයත් වනවා. තෝරා ගත් හොඳ නිර්මාණ මේ වෙද්දී වේදිකාවට ලැබිලා තිබෙනවා. ඉතාමත් හොඳ පිටපත් ලැබිලා තිබෙනවා. කතා දෙකක් නෑ ලංකාවේ ඉතාමත් හොඳ දක්ෂයෝ ඉන්නවා. තාක්ෂණය එක්ක අපේ අයගේ දක්ෂතාවත් එකතු වුණාම කොතැනට යන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන්.
මිනිස්සු දැන් කලාව සමාජ මාධ්‍ය හරහා විචාරය මෙන්ම විවේචනය කරනවා. ඒ ගැන ඔබේ අදහස?
ඕනෑම නිර්මාණයක හොඳ සහ නරක ප්‍රතිචාර අපි පිළිගන්න ඕනෑ. ප්‍රේක්ෂකයන්ට ඒ ගැන පූර්ණ අයිතියක් තිබෙනවා. නමුත් ඒ ප්‍රතිචාර හරි විධියට දෙන්න ඕනෑ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඕනෑ දෙයක් අපට ඉතාම ඉක්මනින්ම ප්‍රචාරණය කරන්න පුළුවන්. දැනගන්න පුළුවන්. නමුත් මේ දේවල් හරි විධියට කරන්න ඕනෑ. නිර්මාණය නරඹලා ඒ නිර්මාණය ගැන හොඳ අවබෝධයකින් හොඳ සහ නරක ඉදිරිපත් කරනවා නම් වටිනවා. ඒක රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුටත් තමන්ගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ දේවල් හදාගන්න හොඳ අවස්ථාවක්. රඟපානවා කියන දේ හැමෝටම කරන්න බෑ. නමුත් ප්‍රේක්ෂකයකු විධියට ඒක බලලා ඕනෑම කෙනකුට යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ හරහා හරියට විවේචනය සහ විචාරය කරනවා නම් නිර්මාණකරුවා හැමවෙලේම උත්සාහ කරන්නේ හොඳ නිර්මාණශීලී නිර්මාණ කරන්න තමයි. රැල්ලට ගිහින් කමෙන්ට් දාන එක අපරාධයක්. අපි හැමදෙයක්ම හොඳ විධියට ගන්නවා නම් ඉතින් ඒක ගොඩක් වටිනවා.
නවක පරපුර සහ ප්‍රවීණ පරපුර අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
ඒ දේ ඒ කාලයේ වගේ මම දකින්නේ නෑ. ඉස්සර අපි ටෙලි නාට්‍යයක් කරද්දී ඒවා එපිසෝඩ් තිහ, හතළිහ වගේ. අපි ඔක්කොම එකට එකතු වෙලා ටික කාලයක් එකට ඉඳලා තමයි කරන්නේ. පවුලක් වගේ එකතු වෙලා ඒ වැඩ කටයුතු ඉවර වෙනකල් ඉන්න නිසා අපේ තිබෙන බැඳීම වැඩියි. සමහර වෙලාවට නිර්මාණය ඉවරවෙලා එනකොට අපි හරි දුකෙන් එන්නේ. ඒ කාලේ අපි අතරේ එහෙම එකමුතුවක් තිබුණා. අද වෙද්දී ඒක අඩුයි. ඉස්සරට වඩා දැන් අපි සීන් එකකට වැය කරන කාලය අඩුයි. උදේ ගිහින් හවස එනවා. ඒත් එක්ක සම්බන්ධතාව අඩුවෙලා තිබෙනවා. දැන් සමාජ මාධ්‍ය නිසාත් විවේක වෙලාවට බොහෝදෙනකු ඊට යොමු වනවා. ඉස්සර අපි ඒ කාලයත් කතාබහට තමයි වෙන් කළේ. දැන් ඒ විවේකී වෙලාව ගත කරන්නේ බොහෝ වෙලාවට දුරකථනයෙන් කුමක් හෝ බල බලා. කතාබහ කිරීම තුළින් අපේ ප්‍රවීණයන්ගෙන් අපි ලොකු අත්දැකීම් ලබනවා. දැන් ඒ බැඳීම් ඉස්සරට වඩා ටිකක් දුරස් වෙලා කියලා තමයි මට හිතෙන්නේ.
ළඟදී විවාහ වීමට අදහසක් තිබෙනවාද?
කොහොමටවත් මට හරි කෙනෙක් නොහිටියොත් විවාහ වන්නේ නෑ. විවාහ වෙන්න ඕනෑ කියලා කාලයක් හිටියා. දැන් ඇත්තටම ඒ ගැන මම හිතන්නේ නෑ. මම ආදරය කරන තරමට මට ආදරය කරන කෙනෙක් ලැබිලා නෑ. ආදරය කරද්දී මම හරිම සංවේදීයි. ඒ කෙනා මත්තේ ඒ කෙනා වෙනුවෙන්ම මම ඉන්නවා. මම ගොඩක් ආදරය කරන කෙනෙක් සහ ඒ කෙනාගෙන් සෑහෙන්න ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. මම හිතන්නේ එතරම් දුරට මට අනෙක් කෙනා පෙරළා ආදරය කරන්නේ නැතිව ඇති. එහෙම කෙනෙක් තවමත් මට ලැබිලා නෑ. මම හිතන්නේ ගැළපෙන කෙනකු නැතිව විවාහ වෙලා ජීවිතයේ දුක් විඳිනවාට වඩා තමන්ට හරි ආදරයක් නැත්නම් විවාහයකට යනවාට වඩා මෙහෙම ජීවත් වෙන එක හොඳයි කියලා.